නීතිය උන්ගේ හිරගේ අපෙ උන්ගේ!

182

චැනල් ෆෝ අනාවරණය පිළිබඳ සංවාදය ජනප්‍රිය දෙවන සතියේත් අති සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබේ. මේ වනවිට ඒ සම්බන්ධයෙන් දැක්වුණු අදහස් උදහස් පමණක් නොව චෝදනා හා විරෝධතාවන් එක් කළහොත් එය පිදුරුතලාගල කන්දටත් වඩා උස් විය හැකියි. චැනල් ෆෝ විසින් සමාජගත කරන ලද Dispatches නමින් හැඳින්වූ එම වැඩසටහන මාධ්‍ය සදාචාරයෙහි මූලධර්ම මෙන්ම ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ විශ්වසනීයත්වය ද කෙලෙසූ මුග්ධ ප්‍රතිචාරවල අශිෂ්ට ඵලයක් ද යන සැකය ද දැන් ප්‍රබුද්ධ පුරවැසියන් තුළ මතු වී තිබේ. රාජපක්ෂවරුන්ට හා ඔවුන් සමග දේශපාලන සබඳතාවලින් යුතු පාර්ශ්ව හා එයට එරෙහිවූ වෙනත් පාර්ශ්ව විසින් ද දක්වන ලද ප්‍රතිචාරවලට අමතරව එහි සම්පත්දායකයන් ලෙස පෙනී සිටි ඇතැම් අයගේ චෝදනා හා ප්‍රකාශ ගණනාවක්ම මේ වනවිට සමාජගත වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද සේවය කළ ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ විසින් මේ සම්බන්ධයෙන් දක්වන ලද අදහස් මාධ්‍ය සදාචාරයට පටහැනි මුග්ධ ක්‍රියාදාමයකට හසු වූ අයෙකුගේ අධිචෝදනා පත්‍රයක් වැනිය. අපට ඒ කිසිවක් පිළිබඳව නිශ්චිතව සඳහනක් කළ නොහැකි වුවත් එම වාර්තා චිත්‍රපටයේ සිදුවීම් මාලාව මෙන්ම එහි නිෂ්පාදකවරුන් සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කළ යුතු බව යෝජනා කළ හැකිය. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව නිසි විමර්ශනයක් කළහොත් ඒ මතබේදාත්මක විවේචන චෝදනා ආදියට ලක්වන අයගේ පමණක් නොව ඒ නිෂ්පාදන මඬුල්ලේ හා එහි පසුපස සිටින බොහෝ දෙනකුගේ වස්ත්‍ර ගැලවී යා හැකි බව ද අපගේ අදහසයි. ඒ ගැන ඊට වඩා වචන නාස්ති කළ යුතු නැත. එසේම ඒ සියල්ල පිරිපහදු කර සත්‍යය හෙළි කිරීමේ වගකීම ද ආණ්ඩුවට තිබෙන බව මතක් කළ යුතුය.

ඇත්ත වශයෙන්ම අප පමණක් නොව ප්‍රබුද්ධ පුරවැසියන් සියලු දෙනාගේම ප්‍රබල අවධානය යොමු විය යුතු කරුණු ගණනාවක්ම තිබේ. ආණ්ඩුව පියවරෙන් පියවර ඇදී යන්නෙ කෙබඳු දිශාන්තයට ද? පොදු ජනතා හිසමතට කඩා වැටෙන ප්‍රශ්න, අර්බුද කොපමණ තිබේ ද? සමාජ දේශපාලන අංශවල මෙන්ම ජනමාධ්‍යවල වුව ද පොදු ජන පීඩාවන් පිළිබඳ සංවාදය ඉදිරියට නොයෑම ගැන ද විවේචනයක් තිබේ. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට හා ආයතනවලට එරෙහි ජනතා ප්‍රතිචාර පෙන්වා දීමට අමතරව ඒ සඳහා බල කෙරෙන ශක්තිමත් ක්‍රියාදාමයක් අද නැත. දවසින් දවස උග්‍රවන ආර්ථික පීඩනය, ආහාර සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සේවයෙහි බිඳ වැටීමේ විපාක මදිවාට දුම්රිය වර්ජනයකුත් ජනතා හිසමතට කඩා වැටිණි. එම වර්ජනය දුම්රිය වෘත්තිය සංගමයක නොහික්මුණු හා මුග්ධ ස්වරූපය විදහා දැක්වූවක් බවට චෝදනාවක් ද විය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඇරඹුණු එම වර්ජන ක්‍රියාදාමය ජනතාවගේ පොදු ප්‍රවාහන මාර්ගයක් වූ දුම්රිය ගමන් සියල්ල අඩාල කිරීමට ද සමත් විය. දුම්රිය මගින් දෙස් දෙවොල් නඟමින් දුම්රිය ස්ථාන අසල රැස් කකා සිටි අතර ප්‍රවාහන ඇමැති වර්ජකයන් සමග සටනකට සැරසීම ද කැපී පෙනුණි.

මෙම වර්ජනයේ අනිටු ඵලයක් ලෙස දුම්රිය මහලක ගමන් කළ තරුණ සිසුවෙකු මරු වැළඳ ගත් අතර එය අතශය ආන්දෝලනාත්මක ඛේදවාචකයක් ද විය. ප්‍රවාහන ඇමැති ඍජුව ප්‍රකාශ කළේ හිතුවක්කාර වර්ජනයක නිරත වූ 84 දෙනකු එම මරණයේ වගකීම භාර ගත යුතු බවය. ඒ මරණය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අමාත්‍යාංශ හමුවක දී ශෝකය පළ කළ ඇමැතිවරයා ඒ වෙනුවෙන් ලක්ෂ පහක ප්‍රදානයක් ද කිරීමට පියවර ගෙන තිබිණි. එබඳු ශිෂ්ට ප්‍රතිචාරයක් දැක්වීම ගැන ප්‍රවාහන ඇමැතිවරයාව පැසසිය යුතුය. එහෙත් ඒ වර්ජනය විසින් කුහුඹුවකුටවත් වරදක් නොකළ තරුණ ජීවිතයක් බිලි ගත් බව ද පෙන්වා දිය යුතුය. ඇත්ත වශයෙන්ම මහජන සේවාවන් ඝාතකයන් බවට පත්ව ජන ජීවිත අනතුරට ලක් කිරීම ගැන අපට විවේචනයක් තිබේ. සෞඛ්‍ය හා පොදු ප්‍රවාහන සේවා අවශ්‍ය මැති ඇමැතිවරුන්ට නොවේ. ඔවුහු වරප්‍රසාද භුක්ති විඳිති. සැප රියවල යති එති. ඒ නිසා සුව සේවයත් පොදු ප්‍රවාහයත් අර්බුදයකට යෑම මොනම ආකාරයකින්වත් සාධාරණීකරණය කළ නොහැක. කුමක් වුවත් දුම්රිය වර්ජනය නම් මේ වනවිට නතර වී තිබේ. එහෙත් ඒ වර්ජන තර්ජනය සහමුලින් දුරු වී නැති බව ද පැහැදිලිය. අදාළ වෘත්තීය සංගම්වල අවධාරණය වූයේ ආණ්ඩුවේ මර්දනවලින් තමන් බියට පත් නොවන බවත්, තම ප්‍රශ්නවලට විසඳුම් වුවමනා බවත්ය. අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනවලට හෝ පොලිසියත් හමුදාවත් යොදවා හෝ ප්‍රවාහන සේවය පවත්වා ගෙන යා නොහැකි බව ද ආණ්ඩුවත් ඇමැතිවරයාත් තේරුම් ගත යුතුය.

වැඩ වර්ජන මෙන්ම විරෝධතා හා සත්‍යග්‍රහ වැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිචාර මේ ආණ්ඩුවට ද රුචි නොවේ. එය බොහෝ පාලකයන්ගේ නරක පිළිවෙතකි. ජයවර්ධන පාලන සමයෙහි වර්ජකයන් කනත්තට දක්වන බවට පාරම් බෑ අයුරු අපට මතකය. ඇමැතිවරුන් විසින් මෙහෙය වන ද “තග් සංස්ථාවක්” එදා විය. බයිසිකල් චේන්, කළුතෙල් ආදියෙන් වර්ජකයන්ට සංග්‍රහ ලබාදුන් අමන පාලනයක් එදා තිබිණි. එහෙත් ඒවාට වගකිව යුතු කාටත් ජනතාව කතිරයෙන් ප්‍රතිචාර දැක්වූහ.

නීතිය උන්ගේ හිරගේ අපෙ උන්ගේ!

අද සමස්තයක් ලෙස මේ රට තිබෙන්නේ යහපත් තැනක නොවේ. රාජපක්ෂලාට එල්ල වූ ජනතා විරෝධයත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් බලයට පත්වූ රනිල්ගේ ජනාධිපති භූමිකාවත් අතිශය ආන්දෝලනාත්මක එකක් වී තිබේ. ඔහුගේ ආර්ථික සැලැස්මේ පදනම වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද ජනාධිපති රනිල් සමග යම් යම් එකඟතාවන් ද ඇති කර ගෙන රට ගොඩනැංවීමට යෝජනා ද ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ සියලු ආර්ථික ක්‍රියාකාරකම්වල පීඩිතයන් බවට පත්වීමට වෘත්තිකයන්ට, ජනතාවට පමණක් නොව සුළු ව්‍යවසායකයන්ට ද සිදුව තිබේ. වෛද්‍යවරුන්, සරසවි ආචාර්යවරුන්, රාජ්‍ය සේවකයන් ආදී බොහෝ පිරිසක් අද මේ ආණ්ඩුවේ බදු බර, ජීවන වියදම් බර උසුලා ගත නොහැකිව වීදි බැස සිටිති. විනිසුරුවන්ට නම් බදු බරට එරෙහිව අධිකරණයෙන් සහනයක් ලබාගත හැකි විය.

අද භාණ්ඩ හා සේවා මිල ගණන් අහසේය. සාමාන්‍ය පවුලකට වේල් තුනෙන් එකක් අත්හැරීමට සිදුව ඇත. මන්දපෝෂණය ආහාර අනාරක්ෂිත බව සම්බන්ධ වාර්තාවලින් තහවුරු වන්නේ ද කඩා වැටුණු ජනජීවිතවල ශෝකාන්තයයි. ඇමැතිවරුන් දුසිම් ගණනක් සිටියත් ඒ කිසිවෙකුට වැඩපිළිවෙළක් නැත. බිත්තර හා කුකුළුමස් වැනි ආහාර හිඟ වෙද්දී අදාළ ඇමැතිවරයා දෙන විසඳුම වූයේ වුවමනා බිත්තර හා කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීමය. එහෙත් ඇමැතිවරයාට හෝ ඔහුට උපදෙස් දෙන කිසිවෙකුට හෝ මේ රටේ ඒ කටයුතුවලින් යැපෙන සුළු ව්‍යවසායකයන් ගැන සිහිපත් වී නැත. ඇත්තටම අද බොහෝ ප්‍රශ්නවලට විසඳුම් දීමට පැනසර ඇමැතිවරු හෝ නිලධාරීහු හෝ නොවෙති.

ජනාධිපති රනිල් ආර්ථිකය පිළිබඳ දක්වන අවධානය අනෙක් ක්‍ෂේත්‍ර කෙරෙහි දක්වන්නේ නම් ඒ බොහෝ ඇමැතිවරුන් පමණක් නොව නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් ද ගෙදර යවනු ඇත. ආර්ථිකය ප්‍රමුඛ සාධකයක් බව නිසැකය. ජනතාවට වුව ද අතේ මිටේ මුදල් ගැවසේ නම් දුෂ්කරතා අඩුය. එහෙත් ආර්ථික පීඩනයේ මුළු බරම අද ජනතාවගේ කර මතය. වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් පමණක් නොව සුළු වෙළෙඳාමක්, කර්මාන්තයක් පවත්වා ගෙන දිවි රැකගත් බොහෝ දෙනෙකු හිඟා නොකා හිඟා කන්නෝ නොවෙත් ද?

මේ තරම් පීඩනයක් ජනතාවට ලැබී ඇත්තේ ඔවුන්ගේ වරදකින් හෝ දෝෂයකින් ද නොවේ. සත්තකින්ම ජනතාව වන්දි ගෙවන්නේ රට පාලනය කළ කණ්ඩායම් විසින් ජාතික සම්පත් විනාශ කරමින්, දූෂණය, වංචාව, හොරකම යනාදියෙන් කුණු වී ගිය සමාජයක් හා ආර්ථිකයක් ඇති කරන ලද පාපයටයි. අදත් බදු හොරු ද බැංකුවලට පොලු තැබූ අය ද කළු සල්ලිකාරයෝ ද සුව පහසු ජීවිත ගෙවති. කැලෑ කපන, මැණික් ගරන, වන රක්ෂිත අල්ලා ගන්නා දේශපාලන මැරයෝ ද ඒ අතර සිටිති. නීතිය උන්ගේය. හිර ගෙවල් ජනතාවගේය යන්න අද අප දකින යථාර්ථයයි.

පසුගිය දිනක මේ වනවිට විපක්ෂයේ සිටින ප්‍රබල දේශපාලන චරිතයක් සමාජ මාධ්‍යයකට පවසා තිබුණේ ද ජනාධිපති රනිල් බුද්ධිමත් පරිණත හා අත්දැකීම් බහුල නායකයකු වුවත් ඔහුට බුද්ධිය විනා හදවතක් නැති බවය. එහි අරුත ඔහු දැඩි පාලකයකු බවය. නීතියක් – රීතියක් නැතිව පාලනයක් ගෙන යා නොහැකිය. පාලකයා දැහැමි පිළිවෙත් අනුගමනය කළත් නීති විරෝධී කටයුතුවලට මෙන්ම දූෂිතයින්ට හා හොරුන්ට ඉඩ දිය යුතු නැත. එසේම ඇති හැකි අයට වඩා නැති බැරි අයට පාලකයකුගේ දයාව, කරුණාව අවශ්‍යය. ජනාධිපති රනිල් බොහෝ විට ලිච්ඡවී පාලනය ගැන කියයි. ඒ ලිච්ඡවීන් රට පානය කළේ ජනතාවගේ දුක් තමන් වෙත පවරා ගනිමින්ය.

සක බිම පෙරළමින් – ගැලබඩු නිසල කෙරෙමින්
පවතින මෙත් නොමින් – තුටු දුක් විඳිති සතා රකිමින්

ලිච්ඡවීන් සමග අපේ පාලකයන් සසඳා වෙනස වටහා ගැනීම ඔබට භාරය. අපේ පාලකයන් අතර මේ උතුම් පැවතුම් තිබුණිදැයි ඔබටම මැන බලා දැන ගත හැකිය. ගොවි ප්‍රශ්න, සෞඛ්‍ය හා ප්‍රවාහන ප්‍රශ්න ඇතුළු විවිධ ප්‍රශ්නවලින් පීඩාවට පත් සමාජ ආර්ථික හා දේශපාලනයක අද රට හිර වී තිබේ. එයට ප්‍රධාන හේතුව පැනසර ඇමැතිවරුන් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැති වීමය. ඇමැති ධුරයක් ඉසිලීමට වුවමනා බුද්ධිය, ප්‍රායෝගික දැනුම අතින් හිස් දේශපාලන චරිත සමග ගෙන යන ඕනෑම පාලනයක් අසාර්ථක බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපති රනිල් ද ඒ ප්‍රශ්නයට මුහුණ දී සිටියි. ඔහුගේ පක්ෂයේ 77 වැනි සංවත්සරය මෙන්ම ශ්‍රී ල. නි. ප. යේ 72 වැනි සංවත්සරය ද එළැඹුණි. මේ පක්ෂ දෙක මූලික වී ගෙන ගිය පාලනයක ශේෂ පත්‍රය කෙබඳු දැයි ඔවුන්ට දැක බලා ගත හැකිය. අද ජනාධිපති රනිල්ට සහාය හා බලය ලබා දෙන පොහොට්ටුවේ ඇමැතිකම් කළ කී දෙනෙක් සිටිත්ද? එහෙත් මේ අයගේ ඇමැති ධුර විනා ඒවායින් රටට අත්වූ ප්‍රතිලාභ ගැන ඔවුන්ට සතුටු විය හැකිද? ගාලුමුවදොර විරෝධතාවෙහි තේමාව වූයේ මේ දූෂිත ක්‍රමය වෙනස් විය යුතු බවය. “සිස්ටම් චේන්ජ්” ගැන අලුත් සංවාදයක් ද ඇරඹුණි. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? හැම කෙනෙකුටම මූලික වන්නෙ බලයයි. දේශපාලනය පිරිපහදු කර ගෙන රටට හෙටක් ලබාදීමට වේදිකාවල මොර දෙන කිසිවෙක් ඒ සඳහා අවංකව කැප වූවෝ නොවෙති.

තම පක්ෂයේ අයෙක්, අනුගාමිකයෙක් සම්බන්ධයෙන් කෙබඳු චෝදනා විවේචන ඉදිරිපත් වුවත් කිසිම නායකයෙක් ඒවාට සාධනීය ප්‍රතිචාර නොදක්වයි.

පසුගියදා සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව නැඟුණු විශ්වාසභංගයට ආණ්ඩුව දැක්වූ සහාය කවුරුත් දනිති. සෞඛ්‍ය සේවයම කුප්පු වී තිබෙන පසුබිමක අවම වශයෙන් ඔහුට ඉල්ලා අස්වන ලෙසටවත් දැනුම් දුන්නේ නම් කොපමණ අගේද? ආණ්ඩුව ඔහු රැක ගත් නමුත් යළිත් ඒ විරෝධය ප්‍රකාශ වෙමින් තිබේ. සෞඛය ඇමැතිට එරෙහිව සත්‍යග්‍රහයක් ඇරඹී ඇත. ප්‍රාදේශීය වශයෙන් ද ඔහුට විරෝධතා දැක්වෙයි. එපමණක් නොව මෙරටේ සෞඛ්‍ය සේවය පිළිබඳ මාතෘකාව මේ වනවිට ජිනීවා දක්වා රැගෙන ගොස් තිබේ. විපක්ෂ මන්ත්‍රීවරයකු වන වසන්ත යාපා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අභියස ඒ සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. කුමක් වුවත් එහි විපාක මතු යම් දිනක හෝ මෙරටට අත්විඳීමට සිදුවනු ඇත.

කෙසේ හෝ ජනාධිපතිවරයාගේ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවලින් මේ වන තෙක් පැහැදිලි වෙනසක් නම් සිදු වී නැත. ආර්ථිකයට මුල් තැනක් දෙමින් දැඩි බදු ප්‍රතිපත්තියක් සමග වෘත්තිකයන් පීඩාවට පත් කිරීමට වඩා යමක් ද මෙතෙක් සිදුව නැති බව සමහරු කියති. එසේම ජනාධිපතිවරයාගේ භූමිකාව පොහොට්ටුවේ සමහරුන්ට දිරවා ගත නොහැකි බව ද පෙනේ. පසුගිය දිනක නෙළුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවක දී මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන්නේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම බවය. ඔහු පවසන මේ රාජ්‍ය ආරක්ෂාවට පටහැනි කිසිවක් සිදුවිය නොහැකි ද? එසේම එබඳු යමක් සිදුවුවහොත් තම පක්ෂයට රජය සමග ගැටුමකට යෑමට සිදු විය හැකි බවක් ද ඔහුගෙන් ප්‍රකාශ විය. මේ ප්‍රකාශ තුළ බොහෝ දේ මෙන්ම බොහෝ සංවාද ද දැක ගත හැකිය.

මේ වනවිට විශේෂයෙන් වෘත්තීය නීතිඥයන් විසින් අධිකරණයේ ස්වාධීනත්වය තේමා කර ගනිමින් පවත්වන ලද නීතිඥ හමු කීපයක්ම විය. පසුගිය දිනක ඔවුහු පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවී ලිපියක් ද භාර දුන්හ. ඔවුන්ගේ අවධාරණය වන්නේ විනිසුරුවරුන් වෙනුවෙන් කරුණු දැක්වීම බව ද ප්‍රකාශ කර ඇත. මෙය ජනාධිපතිවරයාගේ විධායක භූමිකාව සම්බන්ධයෙන් උද්ගත වූවකි. සැබැවින්ම අද ජනාධිපතිවරයා එදා පෙනී සිටි විධායක ක්‍රමයේ බලතල අඩු කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී තේමාවන් සම්බන්ධයෙන් දැඩි නිහඬතාවක් ද පළ කරයි. පොහොට්ටුව ජනතාවට පොරොන්දු වූ අලුත් ව්‍යවස්ථා සම්පාදනය අමතක කළ ජනාධිපති 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට දක්වන උනන්දුව ද පැහැදිලිය. එසේම පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ඔහු ගත් ප්‍රයත්නයට ද පොහොට්ටුවේ සමහරු එකඟ නොවෙති. පොහොට්ටුව තවමත් කල්පනා කරන්නේ තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැති ධුර අහිමි වීම ගැන බව මේ මෑතකදීත් පක්ෂ ලේකම් සාගර කළ ප්‍රකාශයකින් ද පැහැදිලි වේ. ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි මැතිවරණ සිතියම හකුළා තිබුණත් ඔහුට ජනාධිපතිවරණය කල්දැමීමට නොහැකි වන බව විපක්ෂවල අදහස වී තිබේ. එසේම දේශපාලන ආරංචි අනුව ජනාධිපති රනිල්ට පොහොට්ටුවේ සම්පූර්ණ අනුග්‍රහයෙන් එම ඡන්ද අපේක්ෂකයා විය හැකි ද යන්නත් සැක සහිතය. කුමක් වුවත් සමාජ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් ද දවසින් දවස එළැඹෙන උභතෝකෝටිකවල ද නිමක් නැති බව ද පෙනේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment