ගමේ ජනප්‍රිය පාසල් තියෙද්දී ටියුෂන් ගන්න කුරුණෑගලට එන ත්‍රීකුණාමලේ ළමයි

795

දේශපාලනඥයන් මාර්ගයෙන් ගුරුවරු මාරුවීම් හදාගන්නවා…
නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්

කාලයක සිට ත්‍රිකුණාමලය කලාප අධ්‍යාපන කාර්යාලයේ සිංහල අංශයේ නිලධාරීන් නෑ…

ගුරුවරු නැතිව උසස් බාලිකාවේ වාණිජ අංශය අඩපණයි…

දුර පළාත්වලට ටියුෂන් යන සමහර ළමයි අයාලේ යයි…

සංවිධානාත්මක වැඩපිළිවෙළක් හරහා දෙමළ මාධ්‍ය ටියුෂන් ගුරුවරු ත්‍රිකුණාමලයට…

මේ කතාව නැගෙනහිර පළාතේ වන්නි හත්පත්තුවේ සිංහල පාසල් ගැන නොවේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සිංහල පාසල් ගැනය. නගරයේ ජනප්‍රිය පාසල් ගැනය.

වාර්තාවන ආකාරයට ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් හැටතුනක් සහ සිංහල මාධ්‍ය පාසල් පහළොවක් ක්‍රියාත්කම වේ. ත්‍රිකුණාමලය වරායට මුහුණලා පිහිටි සිංහල මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ ක්‍රියාත්මක තිස්ස මහා විද්‍යාලය, රාජකීය විද්‍යාලෝක ජාතික පාසල, අභයපුර මහා විද්‍යාලය, අභයපුර ප්‍රාථමික විද්‍යාලය සහ අභයපුර උසස් බාලිකා විද්‍යාලය යන සියලුම පාසල් ත්‍රිකුණමලය නගර මධ්‍යයේ ක්‍රියාත්මක පාසල්ය. ත්‍රිකුණාමලය නගරයට කිලෝ මීටර් තුනක් පමණ දුරින් මිහිඳුපුර විද්‍යාලය පිහිටා තිබේ. නගරයට කිලෝ මීටර් හතරක් ඈතින් ශ්‍රී සුමේධංකර විද්‍යාලය පිහිටා තිබෙන අතර කිලෝ මීටර් අටක්, නවයක් පමණ දුරින් ශ්‍රී ධර්මරාජ විද්‍යාලය සහ ශ්‍රී නාලන්දා මහා විද්‍යාලය පිහිටා තිබේ. ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය, විල්ගම්මුල විද්‍යාලය, එරක්කණ්ඩි සිංහල විද්‍යාලය, සාගරපුර විද්‍යාලය සහ කල්ලරාව ප්‍රාථමික විද්‍යාල ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝ මීටර් 10 සිට 30 ක දුර ප්‍රමාණයක් තුළ පිහිටා තිබේ. එම සිංහල මාධ්‍ය පාසල් පහළොව තුළ කාලයක සිට දැඩි ගුරු හිඟයක් පවතින බව ද වාර්තා වේ.

ළමයි 1543 ක් අධ්‍යාපනය ලබන ත්‍රිකුණාමලයේ ප්‍රධාන ජාතික පාසල වන සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ භෞතික විද්‍යා විෂය සඳහා වසර විසිතුනක සිට ගුරුවරයෙක් නැත. සංයුක්ත ගණිත විෂය සඳහා ද කාලයක සිට ගුරුවරු නොමැත. එමෙන්ම එම පාසලේ උසස් පෙළ වාණිජ අංශයේ ගුරු පුරප්පාඩු තිබේ. තොරතුරු තාක්‍ෂණ විෂයට සහ පාසල් විෂය මාලාවට අලුතින් හඳුන්වා දී තිබෙන ජපන්, කොරියන් භාෂාව ඉගැන්වීමට සිංහල මධ්‍ය මහා විද්‍යාලයට පමණක් නොව ත්‍රිකුණාමලය කලාපයේ එකදු සිංහල පාසලක හෝ ගුරුවරු නැත. එමෙන්ම ළමයි 832 ක් අධ්‍යාපනය ලබන තිස්ස මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ඉංග්‍රීසි ගුරුවරයෙක් නොමැත. 2017 වර්ෂයේ සිට තොරතුරු තාක්‍ෂණ විෂය සඳහා ගුරුවරයෙක් නොමැත. ළමයි 260 ක් අධ්‍යාපනය ලබන උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයේ ගුරුවරු වෙනත් පාසල්වලට මාරුවී යෑම නිසා එම අංශය සම්පූර්ණයෙන්ම අක්‍රීය වී තිබේ. එම පාසලේ වාණිජ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි ළමයින් ද වෙනත් පාසල්වලට මාරු වී සිටින අතර දැනට පාසලේ ඉතිරි වී සිටින එකම ශිෂ්‍යයාවට වාණිජ විෂයන් හැදෑරීමට අවස්ථාවක් නොමැතිව දැඩි සේ අසරණ වී සිටිති. එවැනි අවාසනාවන්ත පසුබිමක උසස් බාලිකා විද්‍යාලයෙන් මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටි ශිෂ්‍යාවන්ගෙන් හතරදෙනෙක් උසස් ලෙස සමත් වී සිටිති.

ගමේ ජනප්‍රිය පාසල් තියෙද්දී ටියුෂන් ගන්න කුරුණෑගලට එන ත්‍රීකුණාමලේ ළමයි

එමෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් අසමත් වී ඇත්තේ එක් ළමයෙක් පමණි. 2020 වර්ෂයේදී එම පාසලේ ළමයි අටදෙනෙක් විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන තිබේ. 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවැනි ස්ථානයට වැඩිම ලකුණු හිමිකරගෙන ඇත්තේ ද උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකි. එමෙන්ම ළමයි 488 ක් අධ්‍යාපනය ලබන උසස් පෙළ සියලු විෂය ධාරාවන් සඳහා පන්ති පැවැත්වෙන අභයපුර මහා විද්‍යාලයේ ඉතිහාසය, චිත්‍ර සහ මාධ්‍ය විෂයන් සඳහා ගුරුවරු නොමැත. කාලයක සිට රසායනික විද්‍යාව විෂයට ගුරුවරුයෙක් නැත. ඉංජිනේරු තාක්‍ෂණ විෂයට ගුරුවරුයෙක් නැත. ශාරීරික අධ්‍යාපනය සඳහා ගුරුවරුයෙක් නොමැත. ළමයි 802 ක් අධ්‍යාපන ලබන ශ්‍රී සුමේධංකර විද්‍යාලයේ ගණිත, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන් සඳහා ගුරුවරු නොමැත. එමෙන්ම මෑතක ජාතික පාසලක් බවට පත් කරන ලද ශ්‍රී සුමේධංකර පාසලට තවම මුරකරුවෙක් හෝ නොමැත. ළමයි 502 ක් අධ්‍යාපනය ලබන නාලන්දා විද්‍යාලයේ ද කාලයක සිට දේශපාලන විද්‍යාව සහ නැටුම් විෂය සඳහා ගුරුවරු නොමැත. ළමයි 318 ක් අධ්‍යාපනය ලබන මිහිඳුපුර විද්‍යාලයේ ඉතිහාසයට, සංගීතය විෂයන් සඳහා ස්ථිර ගුරුවරු නොමැත. විද්‍යා විෂය සඳහා ගුරුවරුයෙක් හිඟය. වසර 12 ට පසු මෑතක ගණිත ගුරුවරුයෙක් ලැබීම එම පාසලේ දරුවන්ගේ වාසනාවකි.

කාලයක් තිස්සේ සිට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඇතුළු ප්‍රධාන විෂයන් සඳහා පැවැති ගුරු පුරප්පාඩු හේතුවෙන් දහය වසර දක්වා පන්ති පැවැත්වුණු විල්ගම්මුල සිංහල පාසල මේ වන විට වැසී යන තත්ත්වයට පත්ව තිබේ. එමෙන්ම ළමයි 115 ක් අධ්‍යාපනය ලබන ධර්මරාජ විද්‍යාලයේ වසර අටක සිට ගණිත විෂයට ගුරුවරයෙක් නැත. සිංහල, විද්‍යාව, බුද්ධ ධර්මය, සෞඛ්‍යය, සංගීතය, නැටුම් සහ තොරතුරු තාක්‍ෂණ විෂය සඳහා ස්ථිර ගුරුවරු නොමැත. දැනට එම පාසල පවත්වාගෙන යනු ලබන්නේ ස්වෙච්ඡා ගුරුවරුන්ගේ දායකත්වයෙනි. එරක්කණ්ඩිය සහ කල්ලරාව සිංහල පාසල්වලට ද එම ඉරණම ම අත් වී ඇති බව වාර්තා වේ. එමෙන්ම කාලයක සිට ත්‍රිකුණාමලය කලාප අධ්‍යාපන කාර්යාලයේ සිංහල අංශයේ කිසිදු නිලධාරියෙක් නොමැත. එහෙයින් ත්‍රිකුණාමලය කලාපයේ සිංහල පාසල් සහ එම පාසල්හි ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්‍ෂණයක් සිදු නොවෙති. කණ්ඩායම් පරීක්‍ෂණ නොකිරීම හේතුවෙන් ඇතැම් ගුරුවරුවරු ඔවුන්ගේ වැඩපළ කරගෙන ළමයින්ට ඉගැන්වීම අතුරු රාජකාරියක් කරගෙන සිටින බව ද වාර්තා වේ. නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නොමැති සිංහල පාසල්වලට පොදු වූ ගුරු පුරප්පාඩු සහ පාසල්වල පවතින වෙනත් ගැටලු සොයාබැලීමට ත්‍රිකුණාමලයට ගිය අවස්ථාවේ සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සුගත් ගලප්පත්ති මහතා සමඟ පෙළගැසෙන ගැටලුව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළෙමු. ත්‍රිකුණාමලයේ පවතින අධ්‍යාපන ගැටලුවේ දැවෙනම පැතිකඩ හේ මෙසේ පැහැදිලි කළේය.

ගමේ ජනප්‍රිය පාසල් තියෙද්දී ටියුෂන් ගන්න කුරුණෑගලට එන ත්‍රීකුණාමලේ ළමයි
සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සුගත් ගලප්පත්ති
ගමේ ජනප්‍රිය පාසල් තියෙද්දී ටියුෂන් ගන්න කුරුණෑගලට එන ත්‍රීකුණාමලේ ළමයි
මිහිඳුපුර විද්‍යාලයේ විදුහල්පති සමන් මල්ලවආරච්චි

“මේ කලාපයේ පවතින ගුරු පුරප්පාඩුව නිසා උසස් පෙළ හදාරන ළමයි විශාල පිරිසක් කුරුණෑගල, දඹුල්ල වගේ ඈත ප්‍රදේශවල අමතර පන්තිවලට සහභාගි වෙනවා. ඒ ළමයි ත්‍රිකුණාමලයෙන් පිටත් වෙන්නෙ පාන්දර 2 ට 3 ට. නැවත නිවසට එනකොට රාත්‍රී 10, 11 වෙනවා. ඒ වගේම දුර ගමනක් ටියුෂන් යන ළමයි බොහෝ දෙනෙක් රැල්ලට ගිහින් නාස්ති වෙනවා. විශේෂයෙන්ම මගතොටේදී ගැහැනු ළමයින්ට නොයෙක් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ටියුෂන් යන ඇතැම් පිරිමි ළමයි රැවුල්, කොණ්ඩ වවාගෙන බාහිර පෙනුම පවා වෙනස් කරගෙන සිටිනවා. එවැනි විලාසිතා කරගෙන පැමිණෙන ළමයින්ව පාසල්වලට භාර නොගැනීම නිසා ටියුෂන් පන්තිවලට සහභාගි වෙන ගොඩක්ම ළමයින්ගේ පාසල් පැමිණීම අඩු වෙලා තියෙනවා. දෙමවුපියො දරුවන්ව ටියුෂන් යවන්නෙ සල්ලි තියෙනවට නෙමෙයි. දරුවන්ට උගන්වන්න වෙන කරන්න දෙයක් නැතිකමට. දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගන්න දරුවන්ට මේ ප්‍රශ්නය නෑ. යාපනයේ, වව්නියාවේ ප්‍රසිද්ධ දෙමළ ගුරුවරු ත්‍රිකුණාමලයට ඇවිත් උපකාරක පන්ති පවත්වනවා. ඒක සංවිධානාත්මකව සිද්ධ වෙනවා. මේ සියලු ප්‍රශ්න සිංහල ළමයින්ට විතරයි. ඔය ගැටලුව අද, ඊයේ මතු වෙච්ච දෙයක් නෙමෙයි. කාලයක සිට පවතින ගැටලුවක්. ඒත් විසඳුම් සොයන්න ක්‍රමයක් නැතිව හිටියේ. අන්තිමේ අපි කිහිපදෙනෙක් සම්බන්ධ වෙලා පිළියන්දල අමිත ඝෝෂ හාමුදුරුවොත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. ගුරු පුරප්පාඩු තිබෙන පාසල්වලට උපධිධාරී ස්වෙච්ඡා ගුරුවරු සම්බන්ධ කරගැනීමට උන්වහන්සේ යෝජනා කළා. එක් ගුරුවරයෙක්ට රුපියල් 20,000 ක වේතනයක් ලබාදීමටත් උන්වහන්සේ එකඟ වුණා. දෙවැනි අදියර විදිහට අපේ පාසල කේන්ද්‍රගත කොට, ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරු සම්බන්ධ කරගෙන මාර්ගගත ක්‍රමයට උසස් පෙළ ළමයින්ට පන්ති පැවැත්වීමට වැඩ කටයුතු සූදානම් කළා. පන්ති කාමරයක උගන්වන ආකාරයටම අපි එම පන්ති මෙහෙයවනවා. දේශන පවත්වාගෙන යන ගුරුවරුන්ගේ සියලු ගෙවීම් අමිත ඝෝෂ හාමුදුරුවන්ට හිතවත් සම්පත් දායකයන් විසින් ගෙවනවා. ත්‍රිකුණාමලය කලාපයෙන් බැහැර සිංහල පාසල්වල උසස් පෙළ හදාරන දරුවන්ටත් මේ පන්තිවලට සම්බන්ධ වෙන්න කියා අපි දැනුම් දීලා තියෙනවා…” සුගත් ගලප්පත්ති විදුහල්පතිවරයා විසින් අමිත ඝෝෂ හාමුදුරුවන්ට දුරකථන ඇමැතුමක් ලබාගෙන අපව ද සම්බන්ධ කළේය. අඳුරු පටලයකින් වෙළාගෙන තිබෙන නැගෙනහිර සිංහල සමාජයේ නැණපහන් දැල්වීමට අමිල මෙහෙවරක නිරත වී සිටින උන්වහන්සේ අප සමඟ ද සුහද කතාබහක නිරත වූහ.

“නැගෙනහිර පළාත දියුණු කිරීමට නම් ප්‍රථමයෙන් අධ්‍යාපනය දියුණු කරන්න ඕනෑ. දෙමළ මාධ්‍ය පාසල්වල ඒක හරියටම සිද්ධ වෙනවා. සිංහල මාධ්‍ය පාසල් දිනෙන් දින පරිහානියට පත් වෙනවා. ඒවා අන්තවාදී කුමන්ත්‍රණ.) ඒ කුමන්ත්‍රණ හඳුනාගෙන අපට කළ හැකි උපරිමය කරන්න ඕනෑ. මෙරට වගේම ලෝකය පුරා සිටින හිතවත් පරිත්‍යාගශීලී දායක පිරිසක් සම්බන්ධ කරගෙන ත්‍රිකුණාමලය කලාපය තුළ ගුරු හිඟයට විසඳුමක් විදිහට ස්වෙච්ඡා ගුරුවරු 27 දෙනෙක් පාසල් කිහිපයකට සම්බන්ධ කරලා තියෙනවා. එරක්කණ්ඩිය විද්‍යාලයට ස්වෙච්ඡා ගුරුවරු 07 දෙනෙක් යොදවල තියෙනවා. ධර්මරාජ විද්‍යාලයට ගුරුවරු 05 දෙනෙක් යොදවලා තියෙනවා. ඒ ගුරුවරු නොසිටින්න එම පාසල් දෙක මේ වෙනකොටත් වැහිලා. අපේ දායකත්වයෙන් මේ වෙන තෙක් එම පාසල් පවත්වාගෙන යෑම ගැන මම සතුටට පත් වෙනවා. ඒ වගේම ස්වෙච්ඡා ගුරුවරු 27 දෙනකුට මාසික වේතන ගෙවාගෙන, පාසල්වල අනෙකුත් නඩත්තු කටයුතු සඳහා මාසෙකට සැලකිය යුතු මුදලක් වියදම් වෙනවා. ඒ සියලු මුදල් පරිත්‍යාග කරන්නෙ අපේ දායකයන්…” දුරකථනය ඔස්සේ ගලාගෙන එන අමිත ඝෝෂ හාමුදුරුවන්ගේ වචන දෙසවනේ රැව්පිළිරැව් දෙන විට මෙවර උසස් පෙළ විභාගයේ නැගෙනහිර පළාතේ ප්‍රතිඵල මගේ මතකයට නැඟිණි.

නැගෙනහිර පළාතේ මුතූර් අධ්‍යාපන කලාපයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමයි සංඛ්‍යාව 617 කි. සමත් පිරිස 512 කි. ප්‍රතිශතයක් ලෙස 83.% කි. කින්නියා අධ්‍යාපන කලාපයේ ළමයි 763 ක් විභාගයට ඉදිරිපත් වී 601 ක් සමත් වී ඇත. ප්‍රතිශතයක් ලෙස 78.8% කි. මඩකලපුව බටහිර අධ්‍යාපන කලාපයෙන් ළමයි 507 ක් විභාගයට පෙනී සිට 394 ක් සමත් වී ඇත. ප්‍රතිශතයක් ලෙස 77.7.% කි. එක, දෙක, තුන එසේ පෙළගැසෙන නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 17 තුළ අන්තිම ස්ථාන දෙක ලබාගෙන ඇත්තේ පිළිවෙළට සිංහල ජනගහනය වැඩි අම්පාර සහ කන්තලේ අධ්‍යාපන කලාප දෙකය. නැගෙනහිර පළාතේ මෙවර උසස් පෙළ ප්‍රතිඵල සටහන දකිනවිට දෑස් තෙත් විය. එහෙත් මේ දැවෙන ගැටලුවට විසඳුම් ඇත්තේ අධ්‍යාපන බලධාරීන් සහ නිලධාරීන් ළඟය. එහෙයින් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් දිසානායක මහතාව ද අපි හමු වීමු. පහතින් පෙළගැසෙනුයේ එම පළාතේ අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් ඔහු දැක් වූ අදහස්ය.

“2011 අවුරුද්දෙ ඉඳලා නැගෙනහිර පළාතට ගුරුවරු නවදහසකට ආසන්න පිරිසක් අනුයුක්ත කරලා තියෙනවා. ඒත් තවම ගුරු හිඟයක් තියෙනවා. ඒකට ගුරුවරුන්ගේ ගැටලුත් තියෙනවා. බොහෝ සිංහල ගුරුවරු දුෂ්කර පාසල්වල සේවය කරන්න කැමැති නෑ. විද්‍යාව, ගණිත, ඉංග්‍රීසි ගුරුවරු දුෂ්කර පළාත්වලට එන්න කැමැති ම නෑ. නැගෙනහිර පළාතේ සිංහල පාසල්වලට අනුයුක්ත කරන ගුරුවරුත් මොනයම් ක්‍රමයකින් හරි මාරුවක් හදාගෙන යනවා. අලුතින් අනුයුක්ත කරපු විද්‍යා පීඨ ගුරුවරු පහළොවක්, විස්සක් විතර මේ මෑතක කන්තලේට මාරු වෙලා ගියා. දැන් දේශපාලඥයන් මාර්ගයෙන් ගුරුවරු මාරුවීම් හදාගන්නවා. අපිට කරන්න දෙයක් නෑ. මේ පළාත තුළ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන් සඳහා දැඩි ගුරු හිඟයක් තියෙනවා. ඒක සිංහල මාධ්‍යයට විතරක් නෙමෙයි දෙමළ මාධ්‍යයටත් පොදු ගැටලුවක්. ඒත් නගරයේ දෙමළ පාසල්වල කිසිම ගුරු හිඟයක් නෑ. පවතින ගුරු හිඟය නැති කරන්න නම් මේ පාසල්වලට අනුයුක්ත කරන ගුරුවරු දීර්ඝ කාලීනව සේවයේ නිරත වෙන්න ඕනෑ. මේ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුම් විදිහට මේ ප්‍රදේශවලින් ගුරුවරු නිර්මාණය කරන්න ඕනෑ. ඒ වගේම අපිට නිදහසේ රාජකාරිය කරගෙන යන්න අවස්ථාව ලබාදෙනවා නම් මේ ගැටලුවට සෑහෙන්න දුරකට විසඳුම් සොයන්නත් පුළුවන්…” නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ කතාවට අනුව දේශපාලන බලය ඉදිරියේ ඔවුන් ද අසරණ වී සිටින බව හැඟේ.

ත්‍රිකුණාමලය කලාපයේ සිංහල මාධ්‍ය පාසල්වලට අනුයුක්ත කරන ගුරුවරු ද ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට වඩා උනන්දු වනුයේ ස්ථාන මාරුවක් හදාගෙන ගමට යෑමටය. ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පමණක් නොව නැගෙනහිර පළාතේ සියලු සිංහල පාසල්වලට මේ තත්ත්වය පොදුය.

නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ නියුක්තව සිටින සිංහල නිලධාරීන් ද සීමිතය. පරිපාලන සේවයේ නියුක්ත බහුතරයක් වූ දෙමළ නිලධාරීන්ට සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව නොමැති බව ද වාර්තා වේ. එවැනි තත්ත්වයක් තුළ එම පළාතේ සිංහල පාසල්වල ගුරු හිඟයක් නිර්මාණයවීම අරුමයක් නොවේ. එමෙන්ම ජන අනුපාතයෙන් තෙවැනි තැනට වැටී තිබෙන නැගෙනහිර සිංහල ජනතාවගේ ගැටලු ගැන පාර්ලිමේන්තුවේ ද හඬක් නොනැගෙන තරම්ය. මිනිස් අයිතිවාසිකම් ගැන කිඹුල් කඳුළු හලන මෙරට සහ ජාත්‍යන්තර සංවිධාන ද, ජන දුක බඩවියත කරගත් දේශපාලනඥයන් ද නැගෙනහිර සිංහල මිනිසුන් විඳවන වේදනාව නොදැකීම ඒ මිනිසුන්ගේ කරුමයක් නොවේ, ජාතියේ ප්‍රශ්නයකි. නැගෙනහිර පළාතේ පාසල්වල ගුරු හිඟය ගැන පමණක් නොව, එම පළාතේ සිංහල ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ද ගිහි, පැවිදි පින්වතුන් විසින් අදාළ සිංහල බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කර ඇති වාර අනන්තය. අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ දෑස් විවර කරවීමට මාධ්‍යයෙන් සිදු කරන ලද හෙළිදරව් ද එමටය. එහෙත් අන්තවාදී සංවිධානවල දෝල පිදේණිවලින් සන්තර්පනය වන එම නිලධාරීන්ට ජාතියේ දුක නොදැනේ. අසරණ මිනිසුන්ගේ විලාපය නොඇසේ.

පෙළගැසෙන සටහන නැගෙනහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයේ, ප්‍රධාන නගරය තුළ තිබෙන පාසල්වල පවතින අධ්‍යාපන ගැටලු පමණි. එතැනින් එහාට එම පළාතේ සිංහල පාසල් ගැන කතා කිරීම හද දවන කම්පනයක් බව මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. එමෙන්ම නැගෙනහිර පළාතේ වැඩසිටින, සෙසු පළාත්වල මෙන්ම ලොව පුරා වැඩ සිටින ජාතියට හිතැති භික්‍ෂූන්වහන්සේ සහ පරිත්‍යාගශීලී ගිහි පින්වතුන්ගේ උපකාර නොලැබෙන්න මේ වන විටත් නැගෙනහිර සිංහල පාසල් බොහෝමයක් වැසී ගොස් අවසාන බව කනගාටුවෙන් වුවද මතක් කර තැබිය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment