නෝබට් අයගමගේ ඉතිහාසයේ දේශීය වර්ණ පින්තාරුව

238
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 17 වන වරටත් සංවිධානය කරන ලද සිංහල නවකතාව උදෙසා පිරිනමන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී 2022 වසර ප්‍රකාශිත නවකතා අතුරින් වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමිවූවේ නෝබට් අයගමගේ විසින් රචිත “කුරහඬෙකි වියැකෙන” කෘතිය සඳහාය. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් සම්මානනීය ලේඛක නෝබට් අයගමගේ සමග සිදුකළ කතාබහකි.

● මෙවර නිමාවට පත්වූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ඔබ විසින් රචිත “කුර හඬෙකි වියැකෙන” හොඳම නවකතාවට හිමි සම්මානය හිමි කර ගන්නවා. නිර්මාණකරුවකු සම්මානයට පාත්‍ර වීම ඔබ දකින්නෙ මොන ආකාරයෙන්ද…

කුමන හෝ සාහිත්‍යාංගයක නිරත නිර්මාණකරුවකුට තමන්ගේ නිර්මාණයක් නිසි ඇගයීමකට, විචාරයකට ලක්වීම සතුටට කාරණයක්. ඒ වගේම එය ලේඛකයාට විශාල අත්දැකීමක්. තව පැත්තකින් නිර්මාණකරණයෙහි යෙදීම පිණිස ලොකු ශක්තියක් බවටත් එය පත් කරගන්න පුළුවන්. ඒ උත්ප්‍රේරණය තුළ තව තවත් ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අර්ථයෙන් ගත් කල සම්මාන සහතික ආදිය ක්ෂේත්‍රයේ රැඳී සිටීම පිණිස ප්‍රදානය කරන බලපත්‍රයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

● ඉතිහාසයේ සඳහන් කරුණු මත පදනම් වෙමින් මෙවැනි නවකතාවක් රචනා කිරීම භාරදූර කාර්යයක් බවට පත් වුණේ නැද්ද…

ඉතිහාසය අධ්‍යයනය නොකර ඒ වගේම විධිමත් හැදෑරීමකින් තොරව මෙවැනි කටයුත්තක නිරතවීම නොකළ යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. මොකද ඉතිහාසය මත පදනම්ව යම් නිර්මාණ කටයුත්තක් කවුරුන් විසින් හෝ සිදු කරනවා නම් එතැන සුළු හෝ අතපසුවීමක් වරදක් සිද්ද වෙන්න බැහැ. මොකද ඒ සුළු වරද හෝ අතපසු වීම ඉතිහාසයට කරන ලද බරපතළ අසාධාරණයක් බවට පත්වෙන්න පුළුවන්. මේ කෘතිය රචනා කිරීමේදී මම ඒ පිළිබඳව බොහෝ සේ විමසිලිමත් වුණා පමණක් නොවෙයි අපේ ඉතිහාසය පිළිබඳව සඳහන් දෙස් විදෙස් කෘතීන් පවා පරිශීලනය කළා. ඉතිහාසය පිළිබඳ යම් අවබෝධයක් සහිත බොහෝ දෙනා මුණ ගැසෙමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එවැනි දීර්ඝ අභ්‍යාස සමයකින් අනතුරුව තමයි මේ කෘතිය රචනා කිරීම පිණිස පෑන අතට ගත්තේ.

● “කුරහඬෙකි වියැකෙන” මේ නම තුළම යම් අව්‍යාජ බවක් පවතිනවා. කෘතිය සඳහා එවැනි නමක් යෝජනා වුණේ කොහොමද…

“මම නව කතාවක් ලිවීම ආරම්භ කළොත් එහි අවසානය දක්වා ඒ තුළ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක මගේ හැටියක්. එහෙමයි කියලා මම මහලොකු පොත් ප්‍රමාණයක් ලියලා නැහැ. නවකතා තුනක් පමණයි දැනට මා විසින් රචනා කොට තිබෙන්නේ. කොහොම වුණත් නවකතාවකට අදාළ සිද්ධීන් මාලාව පෙළගැස්වීම සහ කතා ශරීරය සකස් කරනවා සේම පොතට ගැළපෙන නමක් පිළිබඳවත් මා නිරන්තරයෙන් සිතන්න ගන්නවා. මේ කතාව රචනා කිරීම තුළත් කටයුතු කළේ එහෙමයි. පොතට ගැළපෙන නමක් පිළිබඳව කල්පනා කරද්දි ඒ සඳහා යොදා ගත යුතු නම් රාශියක් මා තුළම යෝජනා වුණා. ඇතැම් අවස්ථාවලදී ගවයකුගේ සොකඩ හඬ ඊට අමතරව කුර ගැටෙන හඬ ඔය ආදී විවිධ හඬවල් පවා මා තුළ නින්නාද වෙන්න ගත්තා. ඒ ඔස්සේ වැඩිදුරටත් කල්පනා කරද්දි තමයි ගවයෙකුගේ කුර ගැටෙන හඬ පදනම් කරගෙන මේ පොත කුරහඬෙකි වියැකෙන” නමින් නම් කරන්න මා විසින් තීරණය කළේ.

● මේ නවකතාව සඳහා පාදක කරගත් තවලම් සංස්කෘතිය පිළිබඳව වැඩිදුරටත් යමක් සඳහන් කරනවා නම්.

කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසි ජාතිකයන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව ආරම්භ වන මේ තවලම් සංස්කෘතිය ලුණු කර්මාන්තයත් එක්ක අවියෝජනීය සම්බන්ධයක් පත්වනවා. ඒ මොකක්ද. ලුණු නැති මහනුවර රාජධානියට මේ කියන තවලම්කරුවන් විසින් තමයි හම්බන්තොට සිට ලුණු රැගෙන එන්නේ. තවලම් සංස්කෘතිය අපේ අය බැහැර කළාට ඒක අපේ ගමන් මගේ සලකුණක්. ඇයි අපි ඒක අමතක කළේ. අසංවිධිත ආකාරයට කරගෙන ආව කර්මාන්තයක් එදා තවලම් කර්මාන්තයේ නිරත අපේම මිනිසුන් පිරිසක් විසින් තමයි ප්‍රවර්ධනය කළේ. ඒ අය පිළිබඳව අපේ ඉතිහාසයේ නිවැරදිව සටහන් වෙලා නැහැ. මේක ප්‍රශ්න කළ යුතු තත්ත්වයක්. එහෙම නම් අපි මේ ඉතිහාසය අලුත් විදියට අරුත් ගන්වන්න ඕනා. අලුතින් පින්තාරු කරන්න ඕන. මම මේ නවකතාව හරහා උත්සාහ ගත්තේ අන්න ඒ ඉතිහාසය දේශීය වර්ණවලින් පින්තාරු කිරීම සඳහායි. තව දෙයක් සඳහන් කළ යුතුයි. එදා උඩරට රාජධානියේ සිදු වූ ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වෙනත් රූපක ඇසුරෙන් අදත් සිද්ධ වෙනවා. මහනුවරට කඩා වදින සුළඟ තහනම් කරන්න කාටවත් බෑ. අව්ව වැස්ස තහනම් කරන්න බෑ. එතනදි සුදු ජාතිකයා මොකද කළේ. ඔවුන් විසින්ම අපේ දිවට හුරු කළ ලුණු කැටය අපෙන් ඉවත් කළා. තහනම් භාණ්ඩයක් බවට පත් කළා. එතැන් සිට තමයි ලුණු සම්බන්ධ ගැටලුවක් මුල් කර ගෙන අපේ ජන සමාජය ඇවිළෙන්න ගත්තේ. අන්තිමේදී මොකද වුණේ. අපි යටත් ජාතියක් බවට පත්වුණා. ඒකයි මම කිව්වේ වෙනත් රූපක මගින් මේ දේ අදත් සිද්ධ වෙනවා කියලා.

පහුගිය දවස්වල තෙල් හොයාගෙන ගිහින් පෝලිම්වල මිනිස්සු මැරුණේ නැද්ද. ඇනකොටා ගත්තෙ නැද්ද. මේවා ප්‍රශ්න කළ යුතු තැන් නොවේද.

● නවකතාවක භාෂා භාවිතයේදී, ඔබ කොතෙක් දුරට ඒ පිළිබඳ විමසිලිමත් වෙනවාද…

නවකතාවක් බණ පොතක් ආකාරයෙන් රචනා කළොත් ඒක නවකතාවක් වෙන්නේ නැහැ. ඒ නිසා පාඨකයාව නවකතාව තුළ රඳවා ගන්න සමත් භාෂා භාවිතයක යෙදෙන්න මම නිතරම උත්සාහ ගන්නවා. අපිට තිබෙන්නේ මනරම් භාෂාවක්. මම විශ්වාස කරනවා මා විසින් රචිත නවකතා ත්‍රිත්වය තුළම ඒ මනරම් බව අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙනවා ඇති කියලා. යම් තැනකට අනුත්ප්‍රාස රසය අවශ්‍ය නම් ඊට උචිත අයුරින් ඒ රසය පාවිච්චි කළ යුතුයි. ඒ වගේම මට අවශ්‍ය තැනදී ඒ ඒ රසය මතු කිරීම පිණිස භාෂාව මේ මේ ආකාරයට යොදා ගත යුතුයි කියලා මම ඒ සඳහා පසුබට වන්නේ නෑ. නමුත් මේ හැම තැනකදීම භාෂාව තුළ පවත්නා ඒ ඒ රීතීන්ට අනුගතව කටයුතු කිරීමත් ලේඛකයා සතු වගකීමක් බවට පත්වෙනවා.

● නවකතාවකදී එහෙමත් නැත්නම් වෙනත් නිර්මාණාත්මක රචනාවකදි ලේඛකයා විසින් මුල් තැනක් දිය යුත්තේ භාෂාත්මක අලංකාරය පිණිස ද. එසේත් නැත්නම් ඊට අදාළ සමාජ සංසිද්ධීන් විග්‍රහ කිරීම පිණිස ද…

සාර්ථක නිර්මාණයක් පිණිස නම් ඔබ විසින් සඳහන් කළ අංග දෙක පිළිබඳවම සැලකිලිමත් විය යුතුයි. භාෂාව කියල පල් හෑල්ලක් ලියූ පමණින් එය සාරවත් ප්‍රකාශනයක් බවට පත් වන්නේ නෑ. එහි ප්‍රමාණය රචකයා විසින් දැන ගත යුතුයි. විනයක් සහිත රචකයෙක් නම් ඒ පිළිබඳව ඔහුට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ව්‍යුත්පන්න ගුණය ඒ වගේම සතතාභ්‍යාසය සහ ලේඛකයකු වශයෙන් තමන් ලද අත්දැකීම් ඇසුරින් ඉහත සඳහන් කාරණා දෙක සමපාත කර ගන්න එහෙමත් නැත්නම් ජය ගන්න ලේඛකයකුට පුළුවන්කමක් තිබෙන්න ඕන.

● මෑතකාලීන සිංහල නවකතාවේ ගමන් මග පිළිබඳව ඔබ විමසිලිමත්ද…

ලෝක සාහිත්‍යය තුළ පවා නවකතාව විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩකඩ අභිබවා යන්න වෙනත් සාහිත්‍ය ශානරයක් තවමත් සමත් වෙලා නැහැ. සෝවියට් විප්ලවය පිණිස ලොකු ජවයක් නවකතා විසින් ලබා දුන්නා. අපේ රටේ ඇති වූ තරුණ නැගිටීම් තුළ පවා ගෝර්කි විසින් රචනා කරන ලද පසුව සිංහලට පරිවර්තනය වූ “අම්මා” නවකතාව තරමක් දුරට හෝ බලපෑමක් කළා. එම බලපෑම කොතෙක්ද යත් අම්මා නවකතාව ළඟ තබාගැනීම පවා මරණ වරෙන්තුවක් සේ සලකන ලද යුගයක් අපේ රටේ තිබුණ. ඒ කෙසේ වෙතත් මානව ප්‍රගමනය පිණිස ඉහළින්ම බලපෑම් කරන ලද සාහිත්‍යාංගය නවකතාව බව මම විශ්වාස කරනවා. ඒ තත්ත්වය තවදුරටත් රැක ගත යුතුයි.

අපේ රට ගත්තත් අනිකුත් සාහිත්‍යාංග අතරින් නවකතාව කාලයක් තිස්සේ ඉදිරියෙන්ම සිටියා. නමුත් ඒ තත්ත්වය නවකතාව අරබයා දිගටම පැවැත්වුණේ නැති ගතියකුත් දකින්නට ලැබුණා. නවකතාව යම් යම් කඩාවැටීම්වලට ලක්වුණා. නමුත් මේ වන විට මට දැනෙන දෙයක් තමයි සිංහල නවකතාව කෙමෙන් කෙමෙන් ඉදිරියට එනවා. ඒක හොඳ තත්ත්වයක් ලෙස සලකන්න පුළුවන්. අර අතරමග සිදු වූ කඩාවැටීම් එක්ක තමයි නවකතාව මේ ගමන එන්නේ. අනිකුත් සාහිත්‍යාංග අතරින් තමන්ට හිමි ස්ථානය වෙත හෙමින් හෙමින් නවකතාව ගමන් කරන ආකාරයක් දැකගන්න පුළුවන්කම ලැබෙනවා.

● නිර්මාණ ජීවිතය තුළ ඔබ තෘප්තිමත්ද…

ඔව්… නිර්මාණාත්මක පොහොසත්කමින් මම තෘප්තිමත්. එහෙම නැත්නම් මෙවැනි ඇගයීම්වලට ලක් වෙන්න බැහැනේ. නමුත් ඉදිරි අනාගතයේදී සාහිත්‍ය ඇතුළු අනෙකුත් කලාංගයන් මෙන්ම සියලු දේ අලුත් සංස්කෘතියකට ඇතුල් වෙනවා. එතනදි මේ සෑම දෙයක්ම වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ කොයි හැටි වෙතත් ඊට පෙර කරුණාසේන ජයලත් විසින් ආරම්භ කළ සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා වැනි විශිෂ්ටයින් විසින් තවදුරටත් පෝෂණය කිරීම තුළ උත්ප්‍රේරණය වූ සාහිත්‍ය මෙවලමක කොටස්කාරයකු බවට පත්වීමේ තෘප්තිය මා ළඟ පවතිනවා.

● පුවත්පත් කලාවේදියකු ලෙසත් ඹබ කලක් කටයුතු කරනවා. අවසන් වශයෙන් ඒ පිළිබඳව යමක් සඳහන් කළොත්…

එහෙම කාලයක් තිබුණා තමයි. නමුත් පුවත්පත් ක්ෂේත්‍රය තුළ මට වැඩි කලක් රැඳී සිටින්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ පිළිබඳ කතා කිරීම නිරර්ථකයි කියන තැන තමයි අද මම ඉන්නේ. නමුත් ‘දිවයින’ පුවත්පත හරහා “ලියන්නකු” වශයෙන් මම නමක් හදා ගත්තා. එසේම දයාසේන ගුණසිංහ වැනි ප්‍රතාපවත් පුවත්පත් කලාවේදීන්ගේ ඇසුර ලබන්න ගුරුහරුකම් ලබා ගන්න භාග්‍ය හිමිකර ගත්තා. ඒ බව කෘතවේදීව මතක් කර සිටීම පිණිස මෙය අවස්ථාවක් කර ගන්නවා.

advertistmentadvertistment
advertistmentadvertistment