දනෝ නොදන්නා නෝ නාට්‍ය කලාව

215

ජපානය එරටටම අනන්‍ය වූ සුවිශේෂී සංස්කෘතියකට හිමිකම් කියන ආසියාතික බෞද්ධ රටකි. ලංකාවේ සිංහල බෞද්ධ සාහිත්‍යය ස්පර්ශ නොකළ තරම් ගැඹුරින් අන්තර් දෘෂ්ටි හෙළන බෞද්ධ සාහිත්‍ය කලාවක් ජපානය සතුව ඇත. “ඔවුන්ගේ දැඩි විශ්වාස හා ඇදහීම, පදනම් කොට ගෙන ව්‍යාප්තය වූ එම බෞද්ධ පිළිගැනීම් කෙසේ දැයි ෂින්ශොන්, අමිත (අමිතාභ) ශෙන්, නිචිරෙන් යනුවෙන් වර්ග කළ හැකිය. මේ විවිධ බෞද්ධ ආගම් ප්‍රභේද අතුරෙන් ජපන් ජාතිකයන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැඹුරින් පිළිබිඹු කරන්නා වූ නෝ නාට්‍ය කලාව කෙරෙහි මහත්සේ බලපෑවේ අමිත බුදුදහම හා ශෙන් බුදුදහමය. අමිතාභ බෞද්ධ සංකල්පය ඉස්මතු වනුයේ ජනප්‍රිය මහායානික අදහස් ප්‍රචලිත වීමට පටන් ගැනීමෙන් පසුව විය යුතුය.

ජපානයේ සාහිත්‍ය කලාව මුළුමනින්ම ගොඩනැඟුණේ මේ බෞද්ධ සංස්කෘතික උරුමය හා ශෙන් බුදුදහමේ හරය කැටිකොට ගෙනය. ජපානයේ ජන ජීවිතය හා සංස්කෘතිය සාහිත්‍ය කලාව අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය ගැඹුරින් විවරණය වන සාහිත්‍ය කලා නිර්මාණ අපට කියවන්නට ලැබෙන්නේ හතළිහ දශකයෙන් පසුවය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ජපානය නැරඹීමට ගොස් ලැබූ අත්දැකීම් පදනම් කොටගෙන 1959 දී මළගිය ඇත්තෝ නමැති රමණීය වූ චම්පු කාව්‍යය රචනා කර ඇත. ජපානයේ සෞන්දර්ය හා සංස්කෘතිය පිළිබඳ ලාලසා ඇති කරන මළගිය ඇත්තෝ රචනා කොට අවුරුදු හයකට පසුව ඔහු මළවුන්ගේ අවුරුදු දා නවකතාව ද රචනා කිරීම සිංහල පාඨකයා ජපානය දෙසට නැඹුරු වීමට තුඩු දුන්නේය.

මහාචාර්ය සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහ කලක් සුහද මිතුරෝ වූහ. එහෙත් පසු කලෙක සාහිතය ලෝකයේ මත ගැටුම් හේතුකොට ගෙන ඔවුහු විරසක වූහ. ‘මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා’ යන කෘති තියුණු විවේචනයට ලක් කරමින් මාර්ටින් වික්‍රමසිංහ 1969 දී සිංහල නව කතාව හා ජපන් කාම කතා හෙවණැල්ල” නමින් පොතක්ම පළ කළේය. ඒ පොතෙහි දී ඔහු අමරසේකරගේ ‘යළි උපන්නෙමි, හෙවණැල්ල’ යන කතා ඔසමු දශයි ගේ ‘සැටිං සන්, නෝ ලෝංගර් හියුමන් තහිශකිගේ’ සම් ප්‍රිපර් නැටල්ස් හා යුකියෝ මිෂිමාගේ ‘කින්කකුජී’ යන නව කතාවල චරිත හා ජීවන දෘෂ්ටිය විසින් පුබුදන ලද කල්පනාව ඇත්තන්ගේ රචනා දෙකකි.

දනෝ නොදන්නා නෝ නාට්‍ය කලාව

සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ යසුනරි කවධකගේ The Snow Country Thousand Cranes යන කතාවල වස්තු චරිත, ඇසුරින් රචිත කතාවකි. මේ සිංහල කතා ජපන් කතාවල අනුවාද හෝ අනුවර්තන හෝ නොවේ. ඒවා ස්වාධීන සිංහල රචනා වෙයි. (සිං. න. ජ. කා. හෙ. 27 පිටුව)

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ජපානයේ නිර්මල ජන සංස්කෘතිය විපර්යාසයට පත්වූ අතර ගෞතම බුදුන්ගේ ඉගැන්වීම්වලට ප්‍රතිපක්ෂ වූයේය. ඉන්ද්‍රියන් පිනවීම හා කායික සැප විඳීම් ප්‍රවර්ධනය කළ යුතු යැයි ජපන්නු සිතන්නට වූහ. කාම සැප විඳීම පිළිබඳ තහංචි ඔවුහු නොසලකා හැරියහ. කාම ක්ෂේත්‍රයෙහිදී ඔවුහු බෞද්ධ ඉගැන්වීම් උල්ලංඝනය කළහ. පසු කලෙක ජපන් නවකතාව වස්තු විෂයය කරගෙන ඇත්තේ මේ කාමාචාර හා කුලාචාර ඉඳුරා බැහැර කළ සමාජ අත්දැකීම් බැව් ප්‍රචණ්ඩ සමය, දඬුවම් කාමරය, දඩයම් තුවක්කුව වැනි නවකතා පඨනය කිරීමේදී පෙනෙයි. මාර්ටින් වික්‍රමසිංහ මේ නවකතා අතළොස්සක් කියවා ‘ජපන් කාමකථා” යනුවෙන් අර්ථ නිරූපණය කිරීම ද්වේශසහගතය.

මාර්ටින් වික්‍රමසිංහ “සිංහල නවකතාව හා ජපන් කාම කාථා හෙවණැල්ල” කෘතිය මගින් හුදෙක්ම ජපන් නවකතා විවේචනයට ලක් කළේ සරච්චන්ද්‍ර ගුරු කුලයට වූ අරුචිය නිසාය. වික්‍රමසිංහ මෙයින් සරච්චන්ද්‍රට පමණක් නොව, අදත් ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින මහාචාර්ය විමල් දිසානායකට ද එළව එළවා ද්වේශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ලාංකික සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් නවකතාවක් සිංහලයට පරිවර්තනය කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පයුර්පාශනය ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විශේෂවේදී ගෞරව උපාධි ලද ජපන් ජාතික තදෂිනොගුචිය. ඔහු 1979 වසරේදී ජපානයේ සුප්‍රකට ලේඛකයෙකු වන, තත්සුමේ සෝසෙකිගේ කොකොරො නවකතාව සිංහලයට පරිවර්තනය කරමින්, එහි පෙරවදනෙහිලා පැවසුවේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ජපන් නවකතාව දැඩි විවේචනයට ලක් කළත් “එතුමන් ජපන් සාහිත්‍යයේ උසස් නවකතා ද ඇති බව පිළිගෙන” තිබීම අගේ කළේය. ඒ නිසා සිංහල පාඨක ලෝකයා වෙනුවෙන් ජපන් නවකතා හඳුන්වාදීම පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහටත් ජපන් නවකතාවක් සිංහලයට පරිවර්තනය කිරීම පිළිබඳව තදෂි නොගුචිටත් අපගේ ගෞරවය හිමි විය යුතුමය.

ජපන් භාෂාව ඉගෙන ගත් සිංහල මහාචාර්යවරු ඕනෑ තරම් අදත් විශ්වවිද්‍යාලවල සිටිති. එහෙත් ඔවුන්ගෙන් සිංහල සාහිත්‍යයට ලැබුණු මෙහෙවර අල්පය. මහාචාර්ය ආර්ය රාජකරුණා නම් පනහ දශකයේ ආරම්භයේදී සිටම ජපන් සාහිත්‍ය කලාව මෙරටට හඳුන්වා දීමේ උත්සාහයක නියළී සිටියේය. ඔහු 1986 දී “ ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට කතා” නමින් කළ පරිවර්තනයේදී ජපන්කම (Japanesemess) ඉස්මතු කළ ඔ‘සු යසුජිරෝගේ හා කුරොසව අකිර ගේ චිත්‍රපටි පිළිබඳ විග්‍රහයක් ද කර තිබේ. කුරොසොව ජාත්‍යන්තර අවධානයට ලක් වූ රෂෝමෝන් ගැන සිංහල පාඨක ලෝකයාගේ අවධානයට ලක් වූයේ මේ කෘතියෙනි. ඔහු පසු කලෙක රෂෝමොන් චිත්‍රපට කතාව වෙනම පරිවර්තනයකට ලක් කළේය. ඒ 1989 දීය. ඔහු නැවත 199 දී ‘හෝල්මන් කතා වස්තුවක්’ නමින් තවත් චිත්‍රපට එකතුවක් සිංහලයට පරිවර්තනය කළේය. ජපන් චිත්‍රපට කලාව පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණය කෙරෙන මේ කෘතිය ද සිංහල පාඨකයාගේ අවධානයට ලක් වූවකි.

චිත්‍රපට කලාවට සීමා නොවුණු රාජකරුණා ජපන් කෙටිකතා ද සිංහලයට පරිවර්තනය කළේය. ඔහු 1983දී කවබත යසුනරිගේ කෙටිකතා නමින් කළ පරිවර්තනයේදී කවබත යසුනරි (1899-1972) පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කර ඇත. ජපන් නවකතාකරුවන් අතරින් ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින තනි‘සකි ජුන්ඉචිරෝ (Tanizaki Juniciro) (1886 – 1935) විසින් රචිත ෂුන්කින්ෂෝ (1933) නම් සම්භාව්‍ය නවකතාව සිංහලයට නැඟීම මහාචාර්ය රාජකරුණා කළ තවත් විශිෂ්ට මෙහෙයකි. ‘ගැහනියකගේ චරිතාපදානය’ යනුවෙන් සිංහලයට පරිවර්තනය කිරීම නිසා සිංහල පාඨකයාට ජපන් ජීවන රටාව හා සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙයි.

මහාචාර්ය රාජකරුණා ජපන් කවිය ද සිංහල පාඨක ලෝකයාට ප්‍රදානය කළ විද්වතෙකි. ඔහු පැරණි ජපන් කවීන් පනස් දෙනකුගේ හා නුතන කවීන් පනස්හය දෙනකුගේ හයිකු කාව්‍ය රචනා පරිවර්තනයක් 2002 වර්ෂයේ දී ‘ජපන් හයිකු කාව්‍යය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත. ජපන් නාට්‍ය තුනක් 1980 දී සිංහලයට නැගූ රාජකරුණා 1981 දී ‘ජපන් නාට්‍ය සංග්‍රහය’ නමින් කළ ග්‍රන්ථය සිංහල පාඨක ලෝකයා වෙත ජපන් නාට්‍ය කලාව හඳුන්වාදීමට ගත් උත්සාහයකි. ඒ ප්‍රයත්නය සුළු කොට තැකීමට සිදුවන්නේ පසු කලකදී ජපන් භාෂාව මැනවින් ඉගෙන ගෙන ජපන් නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා ජපානයට ගිය මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ සේවාව ප්‍රමාණ කරන සඳය. ඔහු 1985 දී ජපන් රජයේ ශිෂ්‍යත්වයක් ලබා ඔසාකා විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී ජපන් නෝ නාට්‍යය අධ්‍යයනයට පෙළඹුණු අතර මුල් මාස හයම ගෙවා දැමුවේ ජපන් භාෂාව තවදුරටත් පොහොණි කර ගැනීමටය. ඉන්පසුව නෝ-ක්යෝගෙන් වැනි නාට්‍ය හදාරමින්, නරඹමින් ඒ පිළිබඳව පුළුල්ව පර්යේෂණ කිරීමට පෙළඹුණේය. ඒ අතරතුර ලැබුණු විවේකයේදී “ෆුෂිකදෙන්” කෘතිය සිංහලයට පරිවර්තනය කිරීමේදී කෙයි අත්සුකෝ නමැති ජපන් ශිෂ්‍යාව උපකාර වී ඇත. ෆුෂිකදෙන් කෘතිය භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයටත් ඇරිස් ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයටත් (Poetics) බොහෝ සේ සමාන වෙයි. එය නෝ නාට්‍ය කලාව ගැඹුරින් අවබෝධ කර ගැනීමට තුඩු දෙන සිද්ධාන්තමය කෘතියකි. මෙය අද නාට්‍ය කලාව හදාරන විද්‍යාර්ථින්ගේ නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවට පත්ව ඇත.

මහාචාර්ය කුමාරසිංහ අසූව දශකයේ මැද භාගයේදී ජපානයේ ඔසාකා විදේශ භාෂා සරසවියේදී ජපන් භාෂාව අධ්‍යයනය කර සම්භාව්‍ය නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණ කරමින් සිටියදී ඔසාකා විදේශ භාෂා සරසවියේ පශ්චාත් උපාධි පීඨයෙහි දේශනවලට සහභාගි වූයේය. ජපන් සාහිතය පිළිබඳ දේශන මාලාවේ එක් දිනක සාකච්ඡාවට ගෙන තිබුණේ, ජපානයේ සෙසු ලේඛකයන්ට වඩා අමුතු මඟක ගමන් කළ තනිශකි ජුන් ඉචිරෝ ගේ” කගී (යතුර) නවකතාවයි. මේ නවකතාව එකල සමීප පඨනයකට ලක්කළ මහාචාර්ය කුමාරසිංහ කගී පරිවර්තනයට දිගු කාලයක් ගෙවා ඇත. ඔහු 2002 වර්ෂයේ මැයි මාසයේදී ජපන් පදනමෙන් ලද අධි ශිෂ්‍යත්වයක් මත ජපානයේ තෝක්යෝහි සයිකමවල දයිතෝ බුන්ක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නියැළී සිටියදී ලද විරාමයේ තනි ශකි ජුන්ඉච්රෝ ගේ කගි (යතුර) පිටුවෙන් පිටුව සිංහලට නඟා ඇත. තනිශකි ජපානයේ ප්‍රකට වූයේ ලිංගික ජීවිතය කුහක සදාචාරයෙන් බැහැරව විවරණය කළ ලේඛකයෙකු ලෙස” යැයි මහාචාර්ය කුමාරසිංහ අවධාරණය කර ඇත. ඔකි ඔක සහෝදරියෝ (සසමෙයුකි) නමැති නවකතාව මෙයට මනා නිදසුනකි. තනිශකි ගැහැනිය උසස් තත්ත්වයෙහිලා සැලකූ ලේඛකයෙකි. ඔහු ස්ත්‍රී සමානාත්මතාවාදියෙකි.

ජපානයේ ක්යෝතෝ නගරයෙහි පිහිටි ජපන් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ‘ජපානයෙහි සාම්ප්‍රදායික නාට්‍ය කලාව’ පිළිබඳ පර්යේෂණයෙහි යෙදී සිටින අතරතුර ලද විරාමයේදී මහාචාර්ය කුමාරසිංහ, වර්තමාන ජපානයේ වඩාත් ප්‍රකට ලේඛකයා ලෙස සැලකෙන හරුකි මුරකමීගේ මුල්ම නවකතාව වන කශෙනොඋතඔකිතෙ හෙවත් Hear the wind sing “සුළගේ ගීතයට සවන් දෙනු” මැයින් සිංහලට පරිවර්තනය කළේය. ඉන් සිංහල පාඨක ලෝකයාට ගැඹුරු ගෝලීය සමාජ අත්දැකීමක් ස්පර්ශ කිරීමට අවස්ථාව ලැබුණේය.

මහාචාර්ය කුමාරසිංහ ජපන් පදනමෙන් ලද අධි ශිෂ්‍යත්වයක් මත 2011 ජුලි මස සිට නැවත අධ්‍යයන හා පර්යේෂණයන්හි නිරත වූයේ ජපානයේ ක්යුෂු දූපතේ කුම මොතො නගරයේ ඉකෙද උප නගරයෙහි තිබෙන සෝජෝ විශ්වවිද්‍යාලයේය. විලියම් ෂේක්ස් පියර්ගේ හැම්ලට් නාට්‍යය සිංහලයට පරිවර්තනය කළේ එහිදීය.

“2012 වසරේ ජුනි මාසයේ සිට 2013 අප්‍රේල් මාසය දක්වා කාලයෙහි මහාචාර්ය කුමාරසිංහ ක්යෝතෝ නගරයෙහි පිහිටි ජපන් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙහි නේවාසිකව ජපානයේ සම්භාව්‍ය නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණයන්හි නිරතව සිටියේය. ඒ අතරතුර හෝ, ක්යෝගෙන්, බුන්රකු හා කබුකි නාට්‍ය හා බැඳුනු පාදක වූ කතා පුවත්, රංග ශෛලිය යන අංශ සිංහල පාඨකයන්ට හඳුන්වාදී අරමුණු කරගෙන ජපන් නාට්‍ය කලාව පිළිබඳව ලිපි ලේඛන හා පොත පත ලියන්නට පෙළඹුණේය.

මහාචාර්ය ආරිය රාජකරුණාගේ “ජපන් නාට්‍ය තුනක්”, “ජපන් නාට්‍ය සංග්‍රහය’ යන ග්‍රන්ථ ද්විත්වය හැරුණු කල, ජපන් නාට්‍ය කලාව මෙරට ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කළේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහය. ඔහු ජපන් නාට්‍ය කලාව මෙරට ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාම කළ ග්‍රන්ථ අතර නෝ නාට්‍ය කලාව (1987) නෝ නාට්‍ය ඉතිහාසය (1991), නෝ කබුකි නාට්‍ය කලාව (1995), නාට්‍ය ලේඛන මාලා (1997), ජපන් නාට්‍ය කලාව (2001), ජපන් ජන නාට්‍ය කලාව (2003), ජපන් සම්භාව්‍ය සාහිත්‍ය සංකල්ප හා නාට්‍ය කලාව (2007), සම්භාව්‍ය ජපන් නාට්‍ය ඉතිහාසය (2008) යන ග්‍රන්ථ ඉතාම වැදගත් වෙයි. මේ ග්‍රන්ථ මගින් මහාචාර්ය කුමාරසිංහ ජපානයේ ජන නාට්‍ය කලාවේ මෙන්ම සම්භාව්‍ය නාට්‍ය කලාවේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ අන්තර් දෘෂ්ටි සපයා ඇත. ජපන් නාට්‍ය කලාවේ සිද්ධාන්ත හා මූලධර්ම ගැඹුරින් සාකච්ඡා කර ඇති මේ ග්‍රන්ථ සමුහය ජපන් නාට්‍ය කලාව හදාරන විද්‍යාර්ථින්ට ඉතාම ප්‍රයෝජනවත් වෙයි. ඔහු ජපානයේ ජන නාට්‍ය හා ‘නෝ’ නාට්‍ය කලාව පිළිබඳ දක්වා ඇති නිරීක්ෂණ ප්‍රබලය. ක්යෝගෙන් නාට්‍ය කලාව අතැඹුලක් සේ පැහැදිලි කරන මහාචාර්ය කුමාරසිංහ රූකඩ බුන්රකු නාට්‍ය කලාවේ ප්‍රභවය හා විකාශනය ඉදිරිපත් කර ඇති අදහස් ඉතාම නිරවුල්ය. කබුකි නාට්‍ය කලාව පිළිබඳ සාකච්ඡා කරන මහාචාර්ය කුමාරසිංහ ඊට දෙන අර්ථ නිරූපණය ප්‍රබලය. ඔහු මෙම පර්යේෂණ හිදී නෝ සහ ක්යෝගෙන් නාට්‍ය කලාව පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක යෙදී ඇත. නෝ වේදිකා උපකරණ, සංගීතය, චරිත නිරූපණය පිළිබඳ දක්වා ඇති අදහස් වැදගත්ය. නෝ නාට්‍ය කතා පුවත් සරාංශ කරමින් නෝ නාට්‍ය කලාවේ කලාත්මක හරය පිළිබඳ දක්වා ඇති නිරීක්ෂණ සිංහල පාඨකයා ජපන් නාට්‍ය කලාව අභිනවයෙන් අධ්‍යනය කිරීමට උපස්තම්භක වෙයි. ජපන් සම්ප්‍රදායික නාට්‍ය සිංහල නාට්‍ය කලාව පෝෂණය කිරීමට බලපා ඇති ආකාරය නිදර්ශන සහිතව පෙන්වා දෙන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, ජපන් බස මැනවින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලවල ජනතා මුදල් ලක්ෂ ගණනින් කාබසිනියා කරමින් සිටින ජපන් භාෂා ආචාර්ය මහාචාර්යවරුනට පරමාදර්ශයකි. ඔහු අදත් කායිකව දුබල වෙමින් සිටිය ද මානසික ශක්තියෙන් පොහොසත්ව සැත්තෑපස් වන වියෙහිදීත් සිංහල සාහිත්‍යය උත්කර්ෂයට නංවනු වස් ග්‍රන්ථකරණයෙහි අඛණ්ඩව නියැළීම සතුටට කරුණකි.

ආචාර්ය
මහේෂ් ක්‍රිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment