මාළු සැපයුම පහළට  මිල 100% කින් ඉහළට – ඉන්ධන නැති නිසා මුහුදු යෑම අඩුවෙලා

415

ඉන්ධන නොමැතිවීම නිසා මේ වනවිට බහුදින ධීවර බෝට්ටු ඇතුළු ධීවරයන් මුහුදු යෑම සියයට හැටකින් පමණ පහළයෑම නිසා මාළු සැපයුම අඩුවී මාළු මිල ගණන් සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගම් ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ ට පැවැසීය.

ධීවරයන්ට ප්‍රධාන වශයෙන්ම ඩීසල් හා භූමිතෙල් අවශ්‍ය අතර බහුදින ධීවර යාත්‍රා සඳහා ගෑස් සිලින්ඩර් නොමැතිවීම නිසා ධීවරයන් අන්ත අසරණ වී සිටිති.

මාළු අස්වැන්න අඩුවීමත් ඒවා ප්‍රවාහනය කිරීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් නිසා මාළු මිල ගණන් සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග මාළු කිලෝවක මිලද ඉතා ඉහළ ගොස් තිබේ.

සාලයා මාළු කිලෝවක තොග මිලද රුපියල් 700 ට වැඩිවී ඇත. මීට අමතරව තලපත් කිලෝවක් රුපියල් 1800 ක්, හුරුල්ලා කිලෝව රුපියල් 800ක්, තෝරා මාළු කිලෝවක් රුපියල් 2800 ක්, බලයා කිලෝව රුපියල් 800 ක්, කෙළවල්ලා කිලෝව රුපියල් 1500 ක් ආදී ලෙස තොග මිල ගණන් විශාල ලෙස වැඩිවී ඇත.

ධීවරයන්ට ඉන්ධන ලබාදීමට වැඩපිළිවෙළක් සකසන බව කීවත් ධීවර සංගම් කියා සිටින්නේ තව සති දෙක තුනක් යනවිට මාළු කූරියෙක්වත් සොයාගැනීමට නොහැකි ලෙස ධීවර කර්මාන්තය කඩා වැටීමට ලක්විය හැකි බවයි.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment