අකුරු විජිතයේ අනුලාවෝ…

252

පුවත්පත් කලාවෙහි කාන්තාවන් විරල වූ සමයක අනුල පුවත්පත් කලාවට පිවිසුණාය. ඇය කාන්තා ශක්තිය කෙරෙහි මහත් විශ්වාසයක් තැබුවාය. කාන්තාව පිළිබඳ ඇගේ දැක්මට ඇය කර්තෘත්වය දැරූ සියලුම කාන්තා පුවත්පත් සාක්‍ෂි දරයි. ඇයට කාන්තා පුවත්පත්වල වෙනසක් කිරීමට හැකි වූයේ ඇගේ නොනැමෙන සුළු ගුණය හේතුවෙනි.

මම ගහක් පැළ කළා ඒ ගහ අතු ඉති ලියලලා අද මල්ඵල දරනවා. මට ඒ ගැන බොහොම සතුටුයි.

ඒ පැළ කළ ගස අනුල ද සිල්වා ය. ගස පැළ කළ බව කීවේ කරුණාරත්න අබේසේකරයන්ය. ඒ ගස සැබැවින්ම අතු ඉති ලියලා වැඩෙන්නට විය. ඇය ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ නා නා අවධීන් පසුකරමින් පැමිණ ලේඛන වෘත්තියෙහිද, පරිවර්තනයෙහි ද නොමැකෙන නමක් තැබූ කාන්තාවකි. ඇය පුවත්පත් කලාවට අවතීර්ණ වන විට කාන්තාවන් පුවත්පත් කලාවේ දක්නට සිටියේ ඉතාම අඩුවෙනි. කාන්තා පුවත්පත් කිහිපයකම, එනම් තරුණි, සිරිකත වැනි පුවත්පත්වල කර්තෘත්වය දැරූ ඇය කාන්තාවන් පිළිබඳව නව මානයකින් සිතා බලන්නට පියවර ගත්තාය.

අකුරු විජිතයේ අනුලාවෝ…

මා ‘බුමුතුරුණු’ ලියූ අලුත ලේක්හවුසියට ගිය විටෙක සෝමවීර සේනානායකයන් ඇයට මා හඳුන්වා දුන්නේය. ඔහු වෙනත් වැඩකට පිටත්ව ගියේය. ඇය මා දෙස බලන්නේ නැත. මොනවාදෝ ලියයි. මම සිටගෙනම බලා සිටියෙමි. එහෙත් ඇය සිය කාරියෙහි යෙදී සිටියි. හදිසියේ ඇය හිස ඔසවා බැලුවාය.

‘ඔය ළමයා මොකද?’

ඇයට ඉන් පෙර හැඳින්වීම අමතකය.

“මම සුමිත්‍රා රාහුබද්ධ. ‘බුමුතුරුණු’ ලිව්වෙ මම”

මා එසේ කීවද ඒ වනවිට මා ලියා තිබුණේ ‘බුමුතුරුණු’ම පමණකි. මගේ නම කීවිට දන්නා අය සිටියේ අතලොස්සකි.

“ආ ඉඳගන්න. මං මේ බර වැඩක හිටියේ” එවර සිනා මුව ඇතිව ඈ කීවාය.

අනතුරුව ඇය බොහෝ දේ කතා කළාය. ‘තරුණි පුවත්පත ගැන තරුණි පුවත්පතෙහි සංයුතිය ගැන, අනෙකුත් කාන්තා පුවත්පත් ගැන කතා කළාය.

‘ඔය ඇඳුම් පතරොම් උගන්නන්න නම් ඇඳුම් මහන අයට බැරියැ? මං උත්සහ කරන්නෙ අපේ ගෑනුන්ගෙ ඔළුගෙඩි ටික වෙනස් කරන්න පුළුවන්ද බලන්න.’

‘ගෑනුන්ට අපි ඇඳුම් මහලා රස කෑම හදලා කාට කාටත් ආවතේව කරගෙන ඉන්නට ඉගැන්නුවොත් කවදාවත් ගොඩ ඒමක් නෑ.’

ඒ අනුලක්කාය.

මතක තබා ගන්න. අනුල ද සිල්වාය. ඔබ ඇයට වැරදීමකින් හෝ අනුලා යැයි ආමන්ත්‍රණය කළහොත් ඇය වහා එය නිවැරදි කරයි.

‘ගම්පෙරළියේ හිටියේ අනුලා ඒ වුණාට ලේක්හවුසියේ ඉන්නෙ අනුල. අනුල ද සිල්වා.

කාන්තාවන් පිළිබඳ ඇගේ දෘෂ්ටිය ඇස තරුණි හෝ වෙනත් පුවත්පතකින් පමණක් නොව තමාගේ ක්‍රියාවෙන්ද පෙන්වා දුන් බව මතකය. නොනැමෙන ගැහැනියක වූ අනුල ද සිල්වා පුවත්පත් කලාවේදී හොඳ තීරණ රැසක් ගෙන තිබේ. ඇය අනාගත ලේඛිකාවන් රැසක් බිහි කළාය. කිසි දිනෙක ගුරු මුෂ්ටිය තබා ගත්තේ නැත. ඇය ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනකුට උත්තම මාතාවක වූවාය. කුඩා කල සිට ම පොතපත කියැවීමේ හොඳ පුරුද්ද ඇයට තිබිණි. කවර නෑසිය මිතුරෙක් ආවත් ඔවුන් දකින්නේ පොතක් අතැතිව මුල්ලකට වී සිටින අනුලය.

ඔච්චර කියවන්නෙ ලියන මහත්තයෙක් වෙන්නද? වරක් ඥාතියෙක් ඇසුවේය. ඔහුගේ මුවෙහි සරදම් සිනාවක්ද විය.

‘නෑ ලියන නෝනා කෙනෙක් වෙන්න’ ඇය කීවේ අනෙකුන් ගොලු කරවමිනි.

සැබෑය.

ලියන මහත්තුරු පමණක්? ලියන නෝනලා ද සිටිය යුතුය. ඥාතියා හඬනඟා සිනාසුනේය.

‘ඇයි නෝනලට ලියන්න බැරිද?’

ඥාතියා පිළිතුරු දුන්නේ නැත. ඇය තව තවත් කියැවීමෙහි යෙදුණාය. ඇයට වුවමනා වූයේ බ්‍රොජටේ සහෝදරියන්ගෙන් කෙනකු වන්නටය.

ඔය මොනවා කළත් හොඳට ඉගෙන ගන්න ඕනෑ යි අම්මා නිතර මතුරන්නට වූවාය.

‘මට ඕන හැම දේම කරන්න නම් මම ඉගෙන ගන්න ඕන තමයි. මං හිතුවෙ එහෙමයි’ ඇය කීවාය.

පේරාදෙණිය සරසවිය ඇයට මහා සාහිත්‍යයක දොර හැර දුන්නාය. ඇගේ නිර්මාණාත්මක ජීවිතය පේරාදෙණිය සරසවියේ පොහොසත් පුස්තකාලයෙන් තවදුරටත් පන්නරය ලැබීය.

මම කාටත් කියන්නෙ නිර්මාණ ශක්තිය අවදි කරගන්න නම් හොඳට කියවන්න ඕන. විශ්ව සාහිත්‍යය, අපේ ජන සාහිත්‍යය, නූතන සාහිත්‍යය. මම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත්වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ අපේ ගම. ඊට පස්සෙ එතුමගෙ සියලුම පොත් කියවීමේ උමතුවක් ඇති වුණා. ථෙරි ගීවලට මං හුඟක් ආකර්ශනය වුණා.

අකුරු විජිතයේ අනුලාවෝ…

ඇය කියා සිටියේ ඇය අනුල ද සිල්වා නම් ලේඛිකාව ලෙස පුවත්පත් කලාවේදිනිය ලෙස නිර්මාණය කළේ ඇගේ කියවීම බවයි. පුවත්පත් කලාවෙහි කාන්තාවන් විරල වූ සමයක අනුල පුවත්පත් කලාවට පිවිසුණාය. ඇය කාන්තා ශක්තිය කෙරෙහි මහත් විශ්වාසයක් තැබුවාය. කාන්තාව පිළිබඳ ඇගේ දැක්මට ඇය කර්තෘත්වය දැරූ සියලුම කාන්තා පුවත්පත් සාක්‍ෂි දරයි. ඇයට කාන්තා පුවත්පත්වල වෙනසක් කිරීමට හැකි වූයේ ඇගේ නොනැමෙන සුළු ගුණය හේතුවෙනි. කාන්තා පුවත්පත් පිටු අතරෙහි ඇඳුම් පතරොම්, කෑම වට්ටෝරු හා විලාසිතා අඩුකොට ඇය ගැහැනියක සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සිය පුවත්පතෙන් ආරම්භ කළාය. ගැහැනුන් හඬමින් සිටිය යුතු පිරිසක් නොවන බවට සිය පත්තර පිටු අතරින් කාන්තාව දැනුවත් කළාය. ඇය තරුණි පුවත්පත හා සිරිකත පුවත්පත මගින් කළ ඒ වෙනස තුළින් නව ලේඛක, ලේඛිකා පරපුරක් බිහිවිය. ඒ නවක ලේඛක ලේඛිකාවන්ගේ වැරදි නොව නිර්මාණ ශක්තිය සොයන්නට දිරි දෙන්නට ඇය වෙහෙසුණාය.

පුවත්පත් කලාවේදිනියක වූ ඇය ඊවා රණවීර, සුමනා සපරමාදු , සිබිල් වෙත්තසිංහ වැනි පුවත්පත් කලාවේදිනියන් ඇවිද ගිය රතු පලස් මත්තෙහි හෙමි හෙමින් ඇවිද ගියාය. අනුල සිය පුවත්පත් කලාවෙන් හා සාහිත්‍යය ජීවිතයෙන් කළ මෙහෙය අපමණය.

● ඇය කාන්තාවන් සවිබල ගැන්වීමේ පුරෝගාමි පුවත්පත් කලාවේදිනියක වූවාය.

● මතිමතාන්තර වෙනස් කරමින් කාන්තාව මුළුතැන්ගෙය නම් වූ මැදිරියෙන් ඉවතට ගන්නට වෙහෙසුණාය.

● සීමා මායිම් නොතකා ස්ත්‍රිය වෙනුවෙන් පෙනී සිටියාය.

● කාරුණික හා ආදරණීය පුරෝගාමි මෙහෙවරක නිරත වූවාය.

ඇය මෙරට සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුපිපි සුවඳැති කුසුමකි. ඈ ලියූ පොතපත ඉල්ලාගෙන පොත්හල් කරා ඇදී එන, ඉදිරියේ පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශන කරා ඇදී එන පාඨක ජනතාවගේ හදවත් තුළ ඇය අමරණීය චරිතයකි. ආදරණීය සෙනෙහෙබර හා ඒ චාම් ගැහැනියට, අනුලක්කාට ලේඛක පාඨක සියලුම දෙනා ලෙස අප ඔබට ඔබගේ සාහිත්‍යයට, ඔබගේ චාම් ජීවිතයට ආදරය කළා යැයි ලියා තබමි.

● සුමිත්‍රා රාහුබද්ධ

advertistmentadvertistment
advertistmentadvertistment