මගේ ප්‍රාර්ථනය ආර්ථික  විපතින් රට ගොඩගැනීමයි – දළදා සමිඳුන් ඇතුළු සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ඊට විශාල ශක්තියක්

151

දළදා පෙරහැර සමාප්ති උත්සවයේදී ජනපති කියයි

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණපා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවැසීය.

සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදාකරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලුදෙනා අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට ගමන් කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ පසුගිය 12 දා පස්වරුවේ පැවැති උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අබියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේතුමා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පෙරහැරේ ගමන්කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පලතුරු සංග්‍රහයක් කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවය.

පෙරහැරට සහභාගි වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07 ක් ඇතුළු සම්මාන 162 ක් ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහැර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදුකරයි.

අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහැර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපතිතුමා ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

“ඇසළ පෙරහැර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදුකරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි. අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ උතුම් වගකීම ඉෂ්ට කිරීම ගැන මම පළමුවෙන්ම දියවඩන නිලමේතුමාට ප්‍රංශසා කරනවා. මේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට හැකි වූයේ වසර කිහිපයකට පසුවයි. පසුගිය වසර දෙකේ එය උත්කර්ෂවත්ව පවත්වන්නට අපට අවස්ථාව ලැබුණේ නැහැ.

මෙවර ඉතා අලංකාරවත් සහ සංවිධානාත්මකව පෙරහැර පැවැත්වුණා. ඒ වගේම විශාල ජනතාවක් ඊට එක්වුණා. ඒ කටයුතු සංවිධානය කළ දියවඩන නිලමේතුමා, බස්නායක නිලමේතුමන්ලා ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

රටට අලංකාරවත් පෙරහැරක් නරඹන්න අවස්ථාව ලැබුණා. මේ සමගම දෙවිනුවර සිට නල්ලූර් දක්වා පෙරහැර පැවැත්වූවා. සතර මහා දෙවිවරුන්ට පමණක් නොව “ශිව” දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරු වෙනුවෙන් පෙරහැර පැවැත්වුණා. ඒ හැම පෙරහැරකටම විශාල ජනතාවක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ පෙරහැර පැවැත්වීම අපේ රටේ සම්ප්‍රදායේ කොටසක්. ඒ වගේම අපේ රටේ පැවැත්මේ කොටසක්. හැම ප්‍රදේශයකම ජනතාව නුවරට එකතු වෙන්නේත් දන්ත ධාතූන් වහන්සේ මහනුවර නගරය වටා පෙරහැරින් වැඩම කරවන්නේත්, උන්වහන්සේගෙන් අපේ රටට ආරක්‍ෂාව ඉල්ලලා, දෙවියන්ගේ ආරක්‍ෂාව ඉල්ලලා, මේ රට විපතින් බේරගන්න කියලා කරන ඉල්ලීම කරමින්. ඒක අපේ රටේ සම්ප්‍රදායට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා ඉතා වැදගත් මාසයක් ලෙස ඇසළ මාසය අපි සලකනවා.

මෙවර පෙරහැර මංගල්‍යය වැදගත් වන්නේ එය ඉතා අසීරු කාලයකදී පැවැත්වීම නිසයි. අනෙක් අතට මේ රටේ විශාල ආර්ථික

කඩාවැටීමක් තිබෙන කාලයක්. මේ අසීරුතාව අපි හැමදෙනාටම බලපාලා තිබෙනවා. අපි මෙතැනින් මේ කාලය අවසන් කළ යුතුයි. මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි ගොඩඑන්න ඕන. අපි සූදානම් වෙන්න ඕන ඉදිරියට ඇවිල්ලා අපේ රටට අලුත් ආර්ථිකයක් ගොඩනඟා ගන්න.

මට කිසිම සැකයක් නැහැ දළදා වහන්සේ උදෙසා මහනුවර පැවැත්වූ මේ ඇසළ මහා පෙරහැර, රටේ පැවැත්වූ අනෙකුත් පෙරහැර ඇතුළු ආගමික උත්සව නිසා අපට විශාල ආශිර්වාදයක් ලැබෙනවා. එය අපට විශාල ශක්තියක්, ආරක්‍ෂාවක්. මගේ ප්‍රාර්ථනාව මේ විපතින් රටේ ආර්ථිකය ගොඩගැනීම. මේ ආගමික උත්සවවලින් ලැබෙන ආශිර්වාදය ඊට විශාල ශක්තියක්.

ඒ ශක්තිය සමඟ අපි ඉදිරියට යමු. රටට හොද අනාගතයක් ඇති කරමු. දන්ත ධාතූන් වහන්සේගේ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසර වන විට අපේ රට ගොඩනඟන්න ශක්තිය ලැබෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ “නා” පැළයක් රෝපණය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, විජයදාස රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගුණතිලක රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන් ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාල හා පිටිසර දේවාල නියෝජනය කරන බස්නායක නිලමේවරු හා සෙසු නිලමේවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර, පුන්සිත් අත්තනායක

advertistmentadvertistment
advertistmentadvertistment