තිදරු පියාට ගිනි බින්ද නාරම්මල SI සිවිල් ඇඳුමින්ම අපරාධය කරලා

400

23දා තෙක් රිමාන්ඩ්

● සිද්ධිය දුටු ජනතාව ඔහුට යන්න නොදී වට කරලා

● තෝ එහෙම ගියේ ඇයි? කියමින් පිස්තෝලය වනලා

● පොලිසියෙන් ලක්ෂ 10ක වන්දියක්

මෙවැනි අපරාධ පොලිසියට කැළලක් – වැ.බ. පොලිස්පති

නිලධාරියාගේ වැඩ තහනම්: අපරාධ නීතිය යටතේ නඩු

පොලිසිය ළඟ කලබල කළ අය ගැනත් විමර්ශන

සිවිල් ඇඳුමින් වාහන පරීක්ෂා කරන්න පොලිස් නිලධාරීන්ට අයිතියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව

නාරම්මල සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ දැඩි නොසැලකිලිමත්කම නිසා තිදරු පියා වෙඩි වැදී මියගොස් ඇති බවත් සැකකාර නිලධාරියාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ (19 වැනිදා) කියා සිටියේය.

සිවිල් ඇඳුමින් සිට වාහන නවතා පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් නැති බව පවසන තල්දුව මහතා මෙම සැකකාර නිලධාරියා කටයුතු කර ඇත්තේ සම්පූර්ණයෙන්ම පොලිස් ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් බව වැඩි දුරටත් පවසයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට වැඩ තහනමට ලක් කර ඇති අතර දෙපාර්තමේන්තු මට්ටමින් ද ඔහුට එරෙහිව වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නාරම්මල අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (18 වැනිදා) සවස 6.30 ට පමණ වැටලීමක් සඳහා යෑමට නාරම්මල නගරයට පැමිණ ඇත.

ඒ අවස්ථාවේ මෙම නිලධාරීන් දෙදෙනාම සිවිල් ඇඳුමින් සිට ඇති අතර ඔවුන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් නතර කිරීමට උත්සාහ කර ඇත.

එහෙත් මෙම නිලධාරින් සිවිල් ඇඳුමින් සිටි නිසා ඔවුන් පොලිස් නිලධාරීන් බව නොදැන ලොරි රියැදුරු සිය රථය නොනවත්වා ධාවනය කර තිබේ.

ඒ අවස්ථාවේ කෝපයට පත් වී ඇති පොලිස් නිලධාරීන් යතුරුපැදියක කිලෝමීටර් 1 1/2 ක් පමණ දුරක් ලොරිය පසුපස ලුහුබැඳ ගොස් එය දම්පෑලැස්ස ප්‍රදේශයේදී නතර කරගෙන ඇත.

යතුරපැදිය පිටුපස ගමන් ගත් ආධුනික කොස්තාපල්වරයා ලොරි රියැදුරුට තර්ජනය කර බැන වැදී ඇති අතර පසුව උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරි ගිනිඅවිය රියැදුරුගේ හිසට එල්ල කර “තෝ මොකද ලොරිය නතර නොකර ගියේ” යැයි කියමින් බැන වැදී ඇත.

ඒ අවස්ථාවේ ගිනිඅවිය ක්‍රියාත්මක වී රියැදුරුගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබේ.

මෙම සිද්ධිය වන අවස්ථාවේ ප්‍රධාන මාර්ගයේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ඇතැම් පුද්ගලයන් එම සිද්ධිය ජංගම දුරකථනවලින් වීඩියෝගත කර ගෙන ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල කළ උප පොලිස් පරීක්ෂක සිද්ධියෙන් පසු රැස්ව සිටි පිරිස කියා සිටියේ “ලොරිය නතර නොකරපු නිසයි පන්නගෙන ආවෙ. මිනිහව බය කරන්න තමයි මෙහෙම කළෙ. කවුද හිතුවෙ මෙහෙම වෙයි කියලා. වෙඩි තියන්න හිතාගෙන ආවෙ නැහැ” යනුවෙන්ය.

මෙම සිද්ධියෙන් පසු කෝපයට පත්වූ තිදරු පියාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් නාරම්මල පොලිසිය වටකරගෙන ඊට ප්‍රහාර එල්ල කරමින් කලහකාරි ලෙස හැසිරී ඇත.

ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අමතර පොලිස් කණ්ඩායම් කැඳවීමට ද පියවර ගෙන තිබිණි. පොලිසියට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

පොලිස් වෙඩි පහරින් මියගිය 41 හැවිරිදි තිදරු පියා ගස් කපා ඉරීමේ වෘත්තිය රැකියාව ලෙස කරගෙන ගිය අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලිසිය අපකීර්තියට ලක්වන මෙවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවිය යුතු බව ද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ අතර පොලිස් වෙඩි පහරින් මියගිය තිදරු පියාගේ පවුල වෙනුවෙන් වන්දියක් ගෙවීම පිළිබඳව ද පොලිස් මූලස්ථානය අවධානය යොමු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකරවරයා 59 වැනි වියේ පසු වන අතර ඔහු මේ වසරේ විශ්‍රාම යෑමට නියමිතව සිටි නිලධාරියෙකි.
මෙම සිද්ධියෙන් මියගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත රුපියල් ලක්ෂ දහයක් ප්‍රදානය කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද එහි යෑමට නියමිතය. ශ්‍රී ලංකා පොලිසියෙන් මෙම මුදල් පරිත්‍යාග කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment