ලබන වසරේ දේපළ බද්දක්

441

බදු ආදායම තවත් වැඩි කර ගත යුතුයි – අයි.එම්.එෆ් සමග රජය එකඟ වී ඇතැයි දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව ලබන වසරේ (2025) දී අලුතින් දේපළ බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවසීය.

මේ බද්ද මගින් දේපළ හිමියන් මත බදු අයකර ගැනීමට රජයට හැකිවනු ඇති බව ද බෲවර් මහතා කීවේය.

වර්ෂ 2022 දී සියයට 7 දක්වා පහත වැටී තිබූ බදු ආදායම වර්ෂ 2023 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 9 දක්වා වර්ධනය වී ඇති බවත් එසේම බදු ආදායම මේ වසරේ (2024) දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 දක්වා සහ ලබන වසරේදී (2025) දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14 දක්වා ද වැඩි කර ගැනීමට ඉලක්ක කර ඇති බව ද බෲවර් මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකව ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පූර්ණ සහාය ලබා දෙන බවත් රජයේ බදු ආදායම පෙර තිබූ තත්ත්වයට වර්ධනය කර ගැනීම ඉතා වැදගත් බවත් පීටර් බෲවර් මහතා සඳහන් කළේය.

එසේම ණය ප්‍රතිව්‍යුගතකරණ එකඟතාවන් සම්බන්ධයෙත් ඉතා ඉක්මනින් අවසන් ගිවිසුම්වලට එළඹීම ඉතා වැදගත් බව ද බෲවර් මහතා තවදුරටත් කියා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ සිටින මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වට් ජෙහාන් මහත්මිය ද කතා කළාය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment