පොලිසියත් දඩයම් කරමින් පාතාලය නිදැල්ලේ

385

මාස 9ට ඝාතන 49ක්

කොස්ගොඩ සුජීගේ රත්ගම විදුරගේ කල්ලි තරගෙට මරා ගනිති

සන්නද්ධ පාතාල කණ්ඩායම් විසින් ගතවූ මාස 09 ක කාලසීමාව තුළදී පුද්ගලයන් 49 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් දිනපතාම පාහේ සිදු කරන මෙම මිනිස් ඝාතන නිසා දකුණු සහ බස්නාහිර පළාත්වල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති.

මෙතෙක් වාර්තා වී ඇති පාතාල මිනිස් ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු හා බස්නාහිර පළාත්වලින් වාර්තා වී ඇති අතර මේ වන විට ගාල්ල, මාතර, ඇල්පිටිය, රත්ගම යන ප්‍රදේශ ගණනාවක ජනතාව රාත්‍රී කාලයේ නිවෙස්වලින් පිටතට නොයන තත්ත්වයකට පත්ව ඇත.

කොස්ගොඩ සුජීගේ සහ රත්ගම විදුරගේ පාතාල කණ්ඩායම් දෙක එකිනෙකා මරා ගැනීම ආරම්භ කිරීමත් සමගම දකුණු පළාත පාතාල භීතියෙන් සලිත වී ඇත.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන ගණනාවක් කොස්ගොඩ සුජීගේ කල්ලිය විසින් සිදුකර ඇති අතර ඊට පලිගැනීමක් ලෙස රත්ගම විදුරගේ කල්ලියේ සාමාජිකයන් මේ වනවිට මිනිස් ඝාතන රැසක් සිදුකර ඇත. කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සිය පාතාල කල්ලිය මෙහෙයවන අතර රත්ගම විදුර ඉතාලියේ සැඟවී සිට සිය කල්ලිය මෙහෙයවයි.

දකුණේ ප්‍රබල පතාල අපරාධකරුවන් දෙදෙනකු වන කරන්දෙනිය සුද්දා සහ පොඩි ලැසී අත්අඩංගුවට ගනිමින් ඔවුන්ගේ කල්ලි අඩපණ කිරීමට ක්‍රියාකළ අම්බලංගොඩ පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්‍ෂක බාලේන්ද්‍ර, රත්ගමදී පෙරේදා (9 දා) යතුරු පැදියකින් ආ සන්නද්ධ පුද්ගලයන් අතින් ඝාතනයට ලක්වන්නේ ද මෙම පාතාල කල්ලි දෙකෙන් එක් කල්ලියක් අතින් බව හෙළිවී තිබේ.

එහිදී ඔහුගේ සහෝදරයාට ද වෙඩි වැදී තුවාල සිදුව තිබේ. ඔහු නඩුවකට ගොස් ආපසු එමින් සිටියදී ඝාතනයට ලක්විය. පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ගතවූ මාස 9 තුළ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධීන් 95 ක් වාර්තා වී ඇත. එම සිද්ධීන්වලදී පුද්ගලයන් 46 දෙනකු බරපතළ තුවාල ලබා ඇත.

එම ඝාතනවලින් දකුණු පළාත තුළ පුද්ගලයන් 17 දෙනකු ද, බස්නාහිර පළාත තුළ පුද්ගලයන් 18 දෙනකු ද සබරගමුව පළාතේ 3 දෙනකු ද උතුරු මැද පළාතේ 3 දෙනකු ද වාර්තා වී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment