ගෙඩිය මෙරට ලෙල්ල පිටරට

1349

දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආනයන සීමා පෙරේදා සිට ඉවත් කරන ලදී. මේ අනුව වාහන හැර සෙසු සියලු භාණ්ඩ මෙරටට ගෙන්වීමට පුළුවන. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවකි. ලංකාවට ණය නිකුත් කරන්නේ නම් අප ජාත්‍යන්තර වෙළඳාමෙහිද නියුක්ත වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවකි. එයින් හැඟෙන්නේ ඔවුන් අපට ලබාදෙන ණය මුදලින් කොටසක් ඔවුන්ගේම යුරෝපයට ආපසු යා යුතු බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඩොලර් බිලියන තුනක ණය මුදල වාරික වශයෙන් ලබාදෙන්නේද මේ කාරණාව නිසාය. අප ඩොලර් බිලියන තුනම එකවර ලබාගෙන අපට අවශ්‍ය ලෙස ඒවා වැය කළොත් එම ණය මුදලින් ඩොලර් සතයක්වත් යුරෝපයට නොයෑමට ඉඩ තිබේ. සාමාන්‍යයෙන් IMF වැනි සංවිධානයක් පමණක් නොව ධනවත් රටවල් පවා තවත් රටකට ණයක් නිකුත් කරන්නේ එසේ දුන් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් තම රටට ආපසු එන පරිදිය. මේ සඳහා හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ චීනය ලංකාවේ සංවර්ධන ව්‍යාපාරයට ණය දීමේ ක්‍රමවේදයයි. දැනට කොළඹ තිබෙන ගුවන් පාලම් මාර්ග පද්ධතිය සඳහා සම්පූර්ණයෙන්ම ණය ලබාදුන්නේ චීනය විසිනි. මේ ණය අවුරුදු 30න් පොලියත් සමග ගෙවා නිමකළ යුතුය. ගුවන් පාලම් ඉදිකිරීමේ ණය කොන්දේසි වලට අනුව එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 80% ක්ම අප චීනයනේ මිලට ගත යුතුය. එසේම ගුවන් පාලම් පද්ධතියේ සියලුම ඉංජිනේරුමය කාර්යයන් චීන ඉංජිනේරුවන් විසින් සිදුකරනු ලැබේ. ඒ සඳහා අප ඔවුන්ට වැටුප් ගෙවිය යුතුය. ලංකාවට ලැබෙන්නේ ගුවන් පාලම් පද්ධතියට අදාළ උප කොන්ත්‍රාත් කිහිපයක් පමණි. මේ ක්‍රියාවලිය හේතුවෙන් චීනයේ නිෂ්පාදනය කරන යකඩ සහ සිමෙන්ති වලට වෙළඳ පොළක් හැදේ. ඊට අමතරව චීන ඉංජිනේරුවන්ටද අපේ රටේ රැකියා අවස්ථා හටගනී. අදාළ ණය මුදල ඉතා සුළු පොලියක් යටතේ අවුරුදු 30 න් ගෙවිය යුතු නිසා අපටත් ඒ තරම් ලොකු පාඩුවක් දැනෙන්නේ නැත. මීට අමතරව මෙබඳු ව්‍යාපෘති ලංකාවට පැමිණීමෙන් අතිවිශාල කොමිස් මුදලක් ගසා කෑමට අවස්ථාව ලැබේ. මේ කොමිස දේශපාලනඥයෝද, නිලධාරීහුද, අතරමැදියෝද බෙදා ගනිති. කොමිස් සහ ජරාව දීම ශූන්‍ය කළොත් මේ ව්‍යාපෘති වඩාත් අඩු පිරිවැයක් යටතේ ඉදිකළ හැකිය. ලෝකය පුරාම මේ වන විට කොමිස් කර්මාන්තය යටි ආර්ථිකයක් සේ දිවෙන බැවින් විදේශ ආයෝජකයන් මෙරට ව්‍යාපෘති සඳහා මුදල් යොදවන විට කොමිස් එකටද ගානක් වෙන් කරයි. සාමාන්‍ය පිළිගැනීමට අනුව ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් විදේශ ව්‍යාපෘති සඳහා ඉල්ලන කොමිස් මුදල දරා ගැනීමට නොහැකි තරම්ය. මේ නිසා කළු පාට කොමිස් ආර්ථිකය පාලනය කිරීම සඳහා කළු පාට නීති ගෙන ඒමට රජයට සිදුවනවා ඇත.

ආනයන බාධක නොතිබුණු කාලයේ අවශ්‍ය මෙන්ම අනවශ්‍ය සෑම දෙයක්මද පිට රටින් මෙරටට ගෙන්වන ලදී. ඒ අතර චීන සරුංගල්ද, චීන වෙසක් කූඩුද, චීන කැටපෝලද ගෙන්වා තිබිණ. මෙහිදී නැගෙන ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් සියලු දෑ ලංකාවේ තිබියදී චීනයෙන් ගෙන්වන්නේ කුමකටද යන්නය. චීන සරුංගල්වල කොලිටිය ඉතා උසස්ය. වැස්සට අහුවුණොත් ඉරෙන සව් කොළ වෙනුවට ඒවාහි යොදා ඇත්තේ ඉතා ලස්සන මෝස්තර මුද්‍රණය කෙරුණු ප්ලාස්ටික් පටලයකි. මේ නිසා සරුංගලය අහසට නැග්ග විට ඉතා වර්ණවත්ව පෙනේ. ලංකාවේ සරුංගලයකුත් චීන සරුංගලයකුත් අතර විකුණුම් මිලෙහි එතරම් වෙනසක් නැත. ඒ නිසා තම දරුවාට සරුංගලයක් හෝ වෙසක් කූඩුවක් මිලදී ගැනීමේදී වැඩිහිටියෝ ජාතික චින්තනය පැත්තකට දමා දරුවා ලබන සතුට කෙරෙහි වැඩි අවදානයක් යොමුකරයි. චීන මාර්කට් එක බිම දැමීමට නම් අපද චීන මට්ටමේ කොලිටි නිෂ්පාදන කළ යුතුය. කොලිටිය පිළිබඳ කිසිදු හැඟීමක් නැති නිසා අපේ නිෂ්පාදනවල මාර්කට් එක ඇහිරීම වැළැක්වීමට බැරිය. ඒ අතර තවත් කාරණයක් සාකච්ඡා කළ යුතුව තිබේ. බොහෝ සුපර් මාර්කට්කරුවෝ වට්ටක්කා, බණ්ඩක්කා, පතෝල, කොහිල වැනි දේවල් ඇරුණුකොට එළවළු වර්ග ද, පලතුරු වර්ග ද පිටරටින් ගෙන්වති. යාපනේ කොතරම් මිදි හැදුනත් පිටරටින් මිදි ගෙන්වනු ලැබේ. නුවරඑළියේ පෙයාර්ස් කොපමණ හැදුනත් නවසීලන්තයෙන් පෙයාර්ස් ගෙන්වනු ලැබේ. ලංකාව තුළ වාණිජ්‍ය වගාවක් ලෙස දෙළුම් වැවීම පැත්තකට දමා ඔස්ටේ්‍රලියාවෙන් දෙළුම් ගෙන්වනු ලැබේ. එසේම ආනයන පාලනය නොතිබුණු කාලයේදී ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන කලින් පිසින ලද මිශ්‍ර එළවළු පැකට් ඕනෑ තරම් වෙළඳ පොළේ තිබිණි. ඉතා කුඩා ඝනක ලෙස කපන ලද කැරට් ද, බඩඉරිඟු ද, ග්‍රීන් පීස් ද මේ පැකට් තුළ තිබේ. මෙවැනි කිලෝ එකක් බර පැකට් එකක් මීට අවුරුදු 5 කට පෙර විකුණන ලද්දේත් රුපියල් 1500 කටය. මෙහි ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ මෙවැනි බඩුවලට හොඳ අලෙවියක් තිබීමය. මෙයට කලකට පෙර පිට රටින් අඹ ගෙන්වන ලදී. ඒ අඹ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙන බැවින් නැවත නැවතත් ගෙන්වන විට ආණ්ඩුව එසේ අඹ ගෙන්වීම තහනම් කළේය.

අප වැඩ අල කරගන්නේ ඔන්න ඔහොමය. ලංකාවෙන් පොල් මිලට ගෙන පිට රටින් පොල් ලෙල්ල මිලට ගැනීමේ ගොන් ආසාවක් අපේ ජන මනස තුළ තිබේ. මෙය යටත් විජිතවාදයේ එක් ප්‍රතිපලයකි. ලංකාව නිදහස ලැබ පරම්පරා හතරක් පමණ ගොස් ඇති නමුදු ඒ ගතිය අපෙන් මගහැරී ගොස් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment