ඉන්දියාවෙන් පාකිස්තානයෙන් බිත්තර ආනයනයට අවසර දෙන්නේ නෑ

105

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල

ඉන්දියාවේ සහ පකිස්තානයේ කුරුලු උණ රෝගය පැවැති බැවින් එම රටවලින් බිත්තර ආනයනය කිරීමට කිසිදු ලෙසකින් අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

පසුගිය මාස හයක කාලයේ දී එම රටවල කුරුලු උණ පැවැති බවට තොරතුරු ලැබී තිබෙන බව ද ඇය කීවාය.

අවශ්‍ය නම් කුරුලු උණෙන් තොර ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව, ඇමරිකාව වැනි රටවලින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු බාධාවක් නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය.

මහනුවර ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව පැවසුවාය.

පසුගිය කාලය තුළ කුකුළු කර්මාන්තය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය කිරීමට අවසර ලබා දුන්නේ ද කුරුලු උණෙන් තොර බවට සහතික කරගත් රටවලින් පමණක් යැයි ද කොතලාවල මහත්මිය කීවාය.

මෙතෙක් මාසිකව ගණනය කළ කුකුළු බිත්තරයක් සඳහා වන නිෂ්පාදන වියදම සතිපතා ගණනය කර ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව ද ඇය කියා සිටියාය.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment