රියැදුරුට පහර දුන් පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ් – වෘෂණ කෝෂයක් ඉවත් කරන්න වීමේ සිද්ධිය:

200

පෙරට්ටුවේදී හඳුනා ගැනෙති

මැදවච්චිය පොලිස් වසමේදී රථවාහන පරීක්ෂාවකදී ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට අමානුෂික ලෙස පහරදී, සැත්කමකින් පසුව ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා, ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් යළි ප්‍රතික්ෂේප කළ මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනවිය, එම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් ලබන මැයි මස 8 වැනිදා දක්වා රක්ෂිත

බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (24දා) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව තබන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (24දා) මැදවච්චිය අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සැකකාර පොලිස් නිලධාරීහු දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබූහ.

එහිදී පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන දිලීෂ සංගීත් සහ දෙවන සාක්ෂිකරු වන මලීෂ පියසිරි යන දෙදෙනා විසින් සැකකාර පොලිස් නිලධාරීහු දෙදෙනා පහසුවෙන් හඳුනා ගනු ලැබූහ. මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මැදවච්චිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ මැදවච්චිය පූනෑව පළුගොල්ලෑව පදිංචි සැරයන්වරයකු සහ මැදවච්චිය ඇටවීරගොල්ලෑව, ඇතාකඩ පදිංචි කොස්තාපල්වරයෙකි.

එම සැකකාර නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, පහරදී සුළු හා බරපතල තුවාල සිදු කිරීම සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා යටතේය.

මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් පොලිස් නිලධාරීන් වීම හේතුවෙන් විමර්ශනවලට අදාළ පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කර ගැනීමට යම් බාධාවක් මෙන්ම ප්‍රකාශ ලබා දීමට ඇතැමුන් මැලිකමක් දක්වන බවයි.

නිරීක්ෂණ පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දැක්වූ කරුණු කෙරෙහි විමර්ශනවලදී අවධානය යොමු කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළාය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ තරංග සංජීව සහ නීතිඥ නදීෂා ජයසේන යන මහත්ම, මහත්මීහු පෙනී සිටියහ.

නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, අනුරාධපුර නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ චතුර ධනංජය රණතුංග සහ නීතිඥ නදුනි ජයතිලක යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පෙනී සිටි අතර, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙනුවෙන් නීතිඥ අනුෂ්කා දන්ත නාරායන මහත්මිය පෙනී සිටියාය.

මෙම පහර දීම සිදු කර ඇති බව කියනුයේ ඉකුත් 7දා මැදවච්චිය, මන්නාරම මාර්ගයේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාල ඉදිරිපිටදීය. පහර කෑමට ලක් වූ දිලීෂ සංගීත් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කර ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළහ. මෙම පහර කෑමට ලක් වූ තරුණයාගේ පියා මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත සැරයන්වරයෙකි.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment