විජයදාසට මිත්‍රපාලට වාරණ – ශ්‍රී ල.නි.ප. වැ.බ. සභාපති-ලේකම් වැඩ බෑ

108

පසුගිය 21 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක කමිටු රැස්වීමක් ලෙසින් හඳුන්වාගත් රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පත්කිරීමට ගත් තීරණය හා ඊට ආනුෂංගික තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24 දා) පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙතද විනිසුරුවරයා තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය. ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන මහත්වරුන් නීතිඥ සවනා පෙරේරා මහත්මිය මගින් ගොනු කර තිබූ පැමිණිලි සලකා බැලූ විනිසුරුවරයා එම පැමිණිලි විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බළපැවැත්වෙන පරිදි එකී වාරණ නියෝග නිකුත් කළේය. එම පැමිණිලිවල වගඋත්තරකරුවන් ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්‍ෂ හා තිලංග සුමතිපාල යන මහත්වරුන් නම් කර තිබිණි. එදින මොනාච් ඉම්පීරියල් උත්සව ශාලාවේදී එකී රැස්වීම පවත්වා ඇත්තේ හා රැස්වීම කැඳවා ඇත්තේ පළමුවන විත්තිකාර වැඩ බලන සභාපතිවරයා විසින් නිත්‍යානුකූල බලයකින් තොරව අත්තනෝමතිකව තෝරාගත් සීමිත පිරිසක් පමණක් කැඳවා යැයි පැමිණිලිකරුවන් සිය පැමිණිලි මගින් කියා තිබිණි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ සවනා පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ අමිල දිසානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment