මැයි දින පණිවුඩ

70

රට දිනවීමේ සම්මුතියකට මැයි දින සැමරුම අවස්ථාවක් කරගනිමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මැයි දින පණිවුඩ

සම්ප්‍රදායික කම්කරු සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවනතා හා අභියෝග හඳුනාගෙන රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළඹීමකට මැයි දින සැමරුම අවස්ථාවක් කරගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ මැයි දින පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යෑමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලු‍දෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලු‍දෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේද මෙරට කම්කරු ජනතාවයි. නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තුතිය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

අප සියලු‍දෙනා එක්ව සිදු කරන එම අසීමිත කැපවීමේ ප්‍රතිඵල අද රට හමුවේ දක්නට තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට ගෙන ඒමටත්, රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවීමරජය ලැබූ ජයග්‍රහණයන්ය.

කම්කරු ජනතාව තවදුරටත් දිළිඳු ජනතාව ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන අතර අරගලයකින් තොරවම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් ඔවුන් නගාසිටුවීම වෙනුවෙන්ද පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවත් සිහිපත් කළ යුතුය. එමෙන්ම ආර්ථික ගැටළු හමුවේ වුවද රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ හා සමගාමීව පෞද්ගලික අංශයද සිය උපරිම දායකත්වය ලබාදී තිබේ.

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගනිමුයි සියලු‍ දේශපාලන පක්ෂවලට ඇරයුම් කරමින් රට ඉහළට ඔසවා තැබීමට සියලු‍දෙනා එක්වන, ස්වකීය අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයකට සුභාශිංසන එක් කරමි.

රට ගොඩනගන්නට එකාවන්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු – අගමැති දිනේෂ් ගුණවර්ධන

මැයි දින පණිවුඩ

දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමුයැයි මහජන එක්සත් පෙරමුණේ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

අගමැතිවරයාගෙපණිවුඩයේ මෙසේද සඳහන් වේ.

වැඩකරන ජනතා ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරමු.

මෙවර අප එය සමරනුයේ වැඩබිමද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මතය. එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට අප කටයුතු නොකළෙමු. වැඩකරන ජනතා කතිකාවතකින් ගන්නා තීන්දු තීරණ මත වැඩබිම තීරණය කරන්නෙමු. මෙවැනි අර්බුදයන්ට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැගුනේ වැඩ කරන ජනතා ශක්තියෙනි.

එලෙස නැවත ආර්ථිකය ගොඩනැගීමට වැඩ කරන ජනතාව අඛණ්ඩව දුන් ආරම්භය පරිත්‍යාගය හා ඉටුකළ දායාදයට විශේෂ ගෞරවය පළ කරමි. එමඟින් සෑම ක්ෂේත්‍රයක් තුළම නව පිබිදීමක් ඇතිවීමට ඉවහල් විය.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, ස්වයං රැකියා ආර්ථික බලවේගයන් ලෙස ශක්තිමත් කිරීමට කටයුතු කරමු. එලෙස අප රට තුළද ගොවි ජනතාව රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම ඇති කළ පිබිදීම ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. වැඩ කරන ජනතාව රජයටද, රජය වැඩ කරන ජනතාවටද ලබා දුන් ජයග්‍රහණ බොහෝය. පසුකළ දුක්වේදනා බෝහෝය. එකී ජයග්‍රහණ දුෂ්කර අභියෝග ජය ගැනීමට වැඩ කරන ජනයා අධිෂ්ඨානයෙන් අද සිටින තත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමු. එමඟින් අනාගතය වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ළඟා කර ගැනීමට එක්ව කැපවෙමු. ඒ සඳහා වැඩකරන ජනතාව, හාම්පුතුන්ගේ සම්මේලන හා රජය ත්‍රෛපාර්ශවික අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇත. දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනතාවාදී රජයක් ගොඩ නැඟීමට පෙළ ගැසෙමු – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

මැයි දින පණිවුඩ

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනතාවාදී රජයක් ගොඩ නැඟීම වෙනුවෙන් පෙළ ගැසෙමු යැයි මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

ඒ මහතා එවා ඇති මැයි දින පණිවුඩයේ මෙසේ ද සඳහන්වේ.

වසර කිහිපයක සිට අපේ රටේ සමස්ත ජනතාව මැයි දිනය සමරමින් සිටින්නේ අතිශය බරපතළ ඛේදවාචකයන් රැසකට මුහුණ දෙමිනි. මෙවර මැයි දිනය ද අපේ රටේ කම්කරුවන් ප්‍රමුඛ සමස්ත ජනතාව සමරන්නේ ඒ බිහිසුණු ඛේදවාචකයේ ම වෙනසක් නැතිව ය.

ඊනියා රැල්ලක් විසින් අපරිණත ජනාධිපතිවරයකු පත් කොට රට බංකොලොත් බව වෙත තල්ලු කර ගෙන යාමට සැලැස් වූ අතර එහි ඉතිරි කොටස ජනබලය අහිමි සෙවනැලි ආණ්ඩුවක් විසින් සිදුකරමින් සිටී. එවන් තත්ත්වයක් තුළ මෙවර මැයි දිනය පවත්වන මොහොතේ පවා අප රටේ වැඩ කරන ජනතාව දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් හමුවේ පවතින ජීවන වියදමට කිසිසේත්ම නොගැලපෙන, වැටුපකින් වැඩ කරන ජනතාවට අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුව තිබේ. එවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී සුපිරි ධනපතියන්, ගජමිතුරන් මඟහැර වැඩ කරන ජනතාවගේ අරමුදල්වලට සිදු කළ බලපෑම මෙතෙකැයි කියා නිමකළ නොහැක.

එසේ ම රටේ ආර්ථික එන්ජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනින් වැසී ගොස් ඇති අතර ඒ නිසා විරැකියාව ද දිනෙන් දින ඉහළ යමින් පවතියි. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන නායකයන් පවා නිහඬ මුනිවතක් රකින මේ මොහොතේ රටේ විකල්ප ආණ්ඩුව වන අප නිරන්තරයෙන් වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නඟමින් සිටියි.

මේ බිහිසුණු තත්ත්වයට ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන බව අප එදා සිට ම නිරන්තරයෙන් අනතුරු හැඟවූ අතර ඒ සියල්ල අද වන විට යථාර්ථයක් බවට පත්ව තිබේ. මේ වන විට අප මැතිවරණ වසරකට පැමිණ ඇත.මෙවරද ඊනියා රැලිවලට නොරැවටී මේ රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අප සතුය. ඒ අනුව මේ වසරේ අප සියලු දෙනාම එකතු වී ජනතාව පීඩාවට පත් කරන මේ දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනහිතකාමී, ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් සහ නායකයෙක් පත් කර රටක් ලෙස නැවතත් නැඟී සිටීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු දෙනාම රට වෙනුවෙන් එකට එක්වන ලෙස ඉල්ලා සිටිමු. වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරාම සුරැකීමට එක් වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment