ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ චීන වැඩපිළිවෙළ

581

පසුගිය අප්‍රේල් මාසයේ වොෂින්ටනයේදී පැවැති ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රැස්වීමට චීනය නොපැමිණීම ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් මුහුණ දෙන ණය අර්බුදය පිළිබඳ චීනයේ ආකල්පය මනා ලෙසට ලොවට හෙළි කරන එක් අවස්ථාවකි.

වොෂින්ටනයේ පැවති රැස්වීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ආරම්භය සනිටුහන් කළේය. එහිදී පැරිස් සමාජය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ණය හිමි පාර්ශ්වයන් එම සාකච්ඡාවට සහභාගි විය.

ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කර, ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුදයෙන් මුදාගැනීමට ණය හිමියන් අතර එකඟතාවකට පැමිණි බව ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි මහතා මෙහිදී පවසා ඇත. ශ්‍රී ලංකාවේ අර්බුදයට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව පවසමින් සියලුම පාර්ශ්වවලට ඒ වෙනුවෙන් සහභාගී වන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් ගොඩ ඒම සඳහා කඩිනම් ණය විසඳුමක් අවශ්‍ය බව මේ අවස්ථාවට එක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසීය.

“මෙම සාකච්ඡා දියත් කිරීම ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා හොඳ සලකුණකි. ශ්‍රී ලංකාව තවමත් ඉතා ගැඹුරු ණය අර්බුදයක ගිලී සිටියි. මෙම අර්බුදයෙන් ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් ගොඩ ඒම සඳහා කඩිනම් ණය විසඳුමක් ඉක්මනින් අවශ්‍ය වේ” යැයි ඔහු මෙහිදී පැවසීය. කෙන්ජි ඔකමුරා මහතා තවදුරටත් සඳහන් කළේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ණයහිමියන්ගේ සහාය අත්‍යවශ්‍ය බවයි.

මෙම සාකච්ඡා දියත් කිරීම සිදු වූයේ චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් කැඳවූ වටමේස සාකච්ඡාවකින් දිනකට පසු තම ස්ථාවරයේ යම් ලිහිල් බවක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවය. මෙම සාකච්ඡා වටයේදී අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබා දීම සඳහා පුළුල් මාර්ගෝපදේශ සැකසීම අරමුණු බවට පත් විය.

ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුවේ සහ G20 කණ්ඩායමේ වත්මන් සභාපතිවරයා ලෙස ඉන්දියාව ඇතුළු පාර්ශව රැසක්, වොෂින්ටනයේ පැවැත්වෙන මූල්‍ය අරමුදලේ රැස්වීම් අතරතුර සංවිධානය කර තිබූ නව ගෝලීය ස්වෛරී ණය වටමේස හමුවේ පළමු රැස්වීමෙන් පසුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම එකඟතාවන් ප්‍රකාශයට පත් කළේ ය.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ලොව විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ කිසිදු කැපවීමක් පිළිබඳ සඳහනක් මෙම ඒකාබද්ධ ප්‍රකාශයේ ඇතුළත් කර නැත.

මෑතකදී ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පදනම් කරගනිමින් චීනය ප්‍රකාශ කර තිබුණේ, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලීන්හි දී සිදුවන පාඩුවල කොටස්කරුවන් විය යුතු බවයි. චීනය අන්තර්ජාතික ණය පාර්ශවකරුවන්ට එවැනි කොන්දේසියක් පැනවීම ද ප්‍රශ්නකාරී විය හැකිය.

කෙසේ වෙතත්, චීනය තවමත් එම කොන්දේසිය මත රැඳී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව ද වොෂිංටනයේ දී නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අදහසක් ලබාගත නොහැකි ය.

මෙම රැස්වීම පැවැත්වුණේ, G20 පොදු රාමුව යටතේ සැම්බියාව, ඝානාව සහ ඉතියෝපියාව සඳහා ණය සහන ගිවිසුම් අවසන් කිරීමේ අඛණ්ඩ ප්‍රමාදයන් හමුවේය.

එක්සත් ජනපදය සහ අනෙකුත් පාර්ශ්වය බොහෝදුරට මෙම ප්‍රමාදයන්ට දොස් පවරන්නේ, මේ වන විට ලෝකයේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලීන් දිගින් දිගටම ඇදගෙන යෑම සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් මෙම ක්‍රියාවලීන්ට සම්බන්ධවීමට දක්වන අකැමැත්ත සම්බන්ධයෙනි.

ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව මෙම ක්‍රියාවලියේ විවිධ අදියරවල පවතින නමුත්, G20 රාමුව යටතේ සුදුසුකම් නොලබන මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව පසුවන්නේ වෙනම ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් යටතේ ය. එමනිසා, මූල්‍ය සහතිකයක් ලබාදීමට චීනය විසින් මෑතක දී ඇතිකරගත් එකඟතාව ධනාත්මක පියවරක් ලෙස වොෂිංටනයේ රැස්ව සිටින ඇතැම් පාර්ශ්වයන් විසින් සලකා ඇත. එහෙත් පාර්ශ්ව බහුතරය මතුකර ඇති ගැටලුව වන්නේ එම මූල්‍ය සහතිකයේ ප්‍රමාණවත්භාවය පිළිබඳව ය.

කෙසේ වෙතත් නොවිසඳුණු කාරණා සැලකිල්ලට ගෙන එම සාකච්ඡා ඉදිරි මාස කිහිපය තුළ ද දිගටම පැවැත්වෙනු ඇති බවට අනුමාන කළ හැකිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ නම්‍යශීලී බව තවමත් ප්‍රශ්නකාරී බව ඊට හේතුවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් දිග්ගැසෙන සාකච්ඡා මත පදනම් වීමට ප්‍රධාන හේතුව එම වැඩපිළිවෙළ සඳහා දක්වන චීනයේ මන්දගාමී ප්‍රතිචාරයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දරන ප්‍රයත්නයේ මූලික අවධියේ තවමත් පසු කරයි.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් ණය හිමියන්ට චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සහභාගී වීමේ අවශ්‍යතාවය දැඩිව හඳුනා ගෙන ඇත. කෙසේවෙතත් ශ්‍රී ලංකාවට චීනය සමග වෙන් වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබිය යුතුය. ඊට හේතුව, අනෙකුත් ණය හිමියන් ද වෙන් වූ එවැනි වැඩපිළිවෙළක් යෝජනා කළහොත් එය වැරැදි පූර්වාදර්ශයක් වී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අර්බුදකාරී තත්ත්වයට පත් වීමට ඉඩ ඇති බැවිනි. ණය හිමියන් අතර පොදු වැඩපිළිවෙළක් නොමැතිව එය තවදුරටත් කල් යෑමට එය හේතුවක් වනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එවැන්නක් පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත.

ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් හුවමාරු කරගැනීම යනු, මූල්‍ය අර්බුදයන්ට ලක්ව ඇති රටවල දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන ස්වාභාවික සම්පත් සහ ජෛව විවිධත්වයෙන් යුතු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට අදාළ රටවලට ණය ලබාදී ඇති පාර්ශ්වයන් මැදිහත්වීම යි.

එම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට ණයහිමියන් මූල්‍යාධාර ලබාදෙනු ලැබේ. ඒ වෙනුවෙන් ණය ලබාගෙන ඇති රාජ්‍යයන් ‘යම් කැපවීමක්’ සිදු කළ යුතු ය. මේ වන විටත් බාබඩෝස්, බෙනින් සහ සීෂෙල්ස් ආදී රාජ්‍යයන් කිහිපයක් එවැනි හුවමාරු වැඩසටහන් සඳහා සිය ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමිකරුවා වන චීනය ඩොලර් බිලියන 7.4ක ණයක් ලංකාවට ලබා දී තිබේ. ඉන් ඩොලර් බිලියන 4කට වඩා ප්‍රමාණයක ණය ලබා ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සීම් බැංකුව විසිනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව අර්බුදකාරී තත්ත්වයක පසුවන තම අසල්වැසි රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජනවාරි මස නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ චීනයේ හැසිරීම චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක දී ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන බවයි.

සැම්බියාව 2020 නොවැම්බරයේ ණය පැහැර හරින ලද අතර 2021 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු කරන ලදි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට අනුමැතිය ලබා දුන්නේ මෑතකදී සමස්ත ණය ප්‍රමාණයෙන් කොටසක් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟතාව පළකිරීමත් සමඟ ය.

ශ්‍රී ලංකාවේ මුළු ජාත්‍යන්තර ණයවලින් 10% ක් පමණ ලබා ගෙන ඇත්තෙ චීනය මගිනි. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් පමණ වේ. ජපානය ඩොලර් බිලියන 2.7 ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ක් ණය ලබා දී ඇත. ශ්‍රී ලංකා රජයේ වාර්තා අනුව ජූනි මස අවසානයේදී රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 46.6 ක් හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණයවලින් සියයට 10 ක් පමණ චීනයෙන් ලබා ගෙන ඇත. එය මුළු ණය ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිශතයක් ලෙසට පෙන්නුම් කළත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ අනුමැතිය තීරණාත්මක විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා චීනයේ යහපත් ප්‍රතිචාර මුල සිට සුබවාදීව නොලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම කල් යෑමට එක් හේතුවක් වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

● ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment