ඩයනාගේ කතාව උසාවියට අපහාසයක්

850

තීරණයක් ගන්න අභියාචනාධිකරණයට යොමු කරනවා-කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

තම අධිකරණය විසින් ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය සම්බන්ධයෙන් ලබා දෙන ලද නියෝගයක් විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට පෙර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට ඇය විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය අනුව අධිකරණයට අපහාස කිරීමක් සිදුවී ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට ඉල්ලීමක් යොමු කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22දා) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් 24 වැනිදා තම අධිකරණය විසින් ලබා දෙනු ලැබූ නියෝගයක් එකී නියෝගය නිකුත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට එම රාජ්‍ය ඇමැතිනිය එක්තරා විද්‍යුත් නාලිකාවක් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිනිය කර ඇතැයි කියන එම ප්‍රකාශය මගින් ඇය අධිකරණය විවේචනයට ලක් කිරීමෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට දැඩි අපහාසයක් කර ඇති බවත් එමගින් රාජ්‍ය ඇමැතිනිය අධිකරණය බියගැන්වීමට හා නොමඟ යැවීමට උත්සාහ දරා ඇති බවත් නීතිඥ හෆීල් ෆායිස් මහතා කරුණු දක්වනු ලැබීය.

රාජ්‍ය ඇමැතිනිය කර ඇතැයි කියන එම ප්‍රකාශය සත්‍ය නම් ඇයට එරෙහිව තම අධිකරණය විසින් දඬුවම් ලබාදීම ප්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳ ඉහළ අධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

රාජ්‍ය ඇමැතිනිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් ඇති තැනැත්තියක වන බැවින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඔසඳ හේරත් මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ රාජ්‍ය ඇමැතිනිය පවසන පරිදි අධිකරණ නියෝගයක් ඊට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment