පාතාලය මර්දනය කළ නොහැකිද?

750

පැය දොළහක් ඇතුළත එකම පන්නයේ පාතාල වෙඩි තැබීම් තුනක් හෝමාගම, කොට්ටාව සහ කොස්ගොඩින් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි. පසුගිය 20 වැනිදා රාත්‍රි 9.00 ත් 21 වැනිදා පෙරවරු 9.00 ත් අතර වෙඩි තැබීම් සිදුව ඇත. මෙම වෙඩි තැබීම්වලින් ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ පෞද්ගලික රසායනාගාරයක සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියකු ඝාතනය වී තිබේ.

මෙය බරපතළ නරක තත්ත්වයකි. කාලයක් අප රටේ පාතාලය නිහඬව සිටියද අද යළිත් පාතාලය හිස ඔසවන ලකුණු ඉහත පුවතින් පැහැදිලිය. පසුගිය කාලය පුරාවට විවිධ ප්‍රදේශවලින් ගිනි අවි හමුවීම, විවිධාකාරයෙන් සිදුවන ඝාතනවලට සෘජුව හෝ වක්‍රව පාතාලය සම්බන්ධ වී ඇති බව එම ඝාතන සිදුවූ ආකාරය අනුව නිරීක්‍ෂණය කළ හැකිය. පාතාලය යනු හුදෙකලාව වර්ධනය වන කණ්ඩායමක් නොවේ. පාතාලය වර්ධනයට ඔවුන්ට කිරි පොවන දේශපාලන මෝල්ලු සහ ඇතැම් පොලිස් නිලධාරීන්ද මෙම තත්ත්වයට වගකිව යුතුය.

විශේෂයෙන් පසුගිය කාලයේදී දකුණේ සහ බස්නාහිර පළාතේ මනුෂ්‍ය ඝාතන බොහෝ සෙයින් වාර්තා විය. මෙම ඝාතනවලට පාතාලය සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බව පැහැදිලිය. අද අප රටේ අනවසර ගිනි අවි ගබඩා අයිතිකරුවන් වන්නේ පාතාල සාමාජිකයෝය. එනිසා රටේ කොතැනක හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුවුවහොත් ඊට පාතාලය සම්බන්ධ වන අවස්ථා බහුලය. පසුගිය (2022) වසරේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීම් සිද්ධි 60 ක් වාර්තා වී තිබිණි. මෙම වසරේදී (2023) මේ මොහොත වන විට පමණක් වෙඩි තැබීම් සිද්ධි 34 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට ප්‍රකාශ කර තිබිණි. මෙම දත්ත හමුවේ පැවසෙන්නේ අප රටේ ගිනි අවි ගිනි කෙළි ක්‍රියාකාරකම් වැඩිවී ඇති බවයි. මෙම නරක ප්‍රචණ්ඩත්වයෙන් රට සහ රටේ ජනතාව ආරක්‍ෂා කිරීම ආරක්‍ෂක අංශවල වගකීමකි. මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරන්නේ ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා මනුෂ්‍ය ඝාතන ක්‍රියාකාරකම් වැඩිවී ඇති බවයි. විශේෂයෙන් දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බවද ඇමැතිවරයා සඳහන් කර ඇත.

සමස්තයක් වශයෙන් අප රටේ සිදුවන අපරාධ මෙන්ම පාතාලයේ ක්‍රියාකාරකම් නිසා සිදුවන අපරාධ රැල්ල නතර කිරීමේ වගකීමෙන් අදාළ බලධාරීන්ට කිසිසේත් ගැළවීමට නොහැක. විශේෂයෙන් පාතාලය නැසීමට සුදුසු ව්‍යාපෘති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශ පසුබට නොවිය යුතුය. පාතාලයන් විසින් සඟවා ඇති ගිනි අවි පෙන්වීමට ඔවුන් ගෙන යෑම කිසි සේත් වරදක් නොවේ. එම අවස්ථාවලදී පාතාලයන් දඩබ්බර වේ නම් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම ආරක්‍ෂක අංශ සතු වගකීමකි.

පාතාලය වැඩෙන්නේ නීති විරෝධී ගිනි අවි සහ අනෙකුත් සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලින් ලැබෙන ප්‍රතිලාභ විසිනි. මත් කුඩු ගෙන්වීම සහ බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා වන්නේ පාතාලයය. ඊට අනුබල දෙන දේශපාලන ධාරාවේ ඇතැම් චරිත සිටින බව නොරහසකි. පාතාලය පරාජය කිරීමට සමගාමීව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමටද එකවර මෙහෙයුමක් ක්‍රියාත්මක වීම වඩා යෝග්‍යය. පාතාලය පෝෂණය වන්නේත්, පාතාලයන් මෙහෙයවන බලවේග සැපවත් ජීවිත ගත කරන්නේත් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන කෝටි ගණන් මුදල්වලිනි. පාතාලයත්, මත්කුඩු ජාවාරමත් අතර ඇති මෙම සමීප සම්බන්ධතාව විනාශ කිරීමෙන් තොරව අපට යහපත් රටක් අපේක්‍ෂා කළ නොහැක.

පාතාලය මර්දනය කළ යුතු බව අප පමණක් නොව බොහෝ පාර්ශ්ව කලක් තිස්සේ හඬ නඟන කාරණයකි. එම හඬ නැඟීම නතර වී නැති සේය. පාතාලයද මර්දනය වී නැති බව අප සමාජයේ පවතින කටුක යථාර්ථය බව කිව යුතුමය. එහෙත් ඇත්තට අප රටේ ආරක්‍ෂක අංශවලට මෙම පාතාලය මර්දනය කළ නොහැකිද? අපගේ විශ්වාසය නම් එය කළ හැකි බවයි. අප රටේ සිටින්නේ ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදීන් මර්දනය කළ ආරක්‍ෂක අංශයකි. ඊට අමතරව බලගතුම බුද්ධි සේවාවක්ද අප සතුය. මෙම සියලු සම්පත් එකවර කළමනාකරණය කරමින් සැබෑ ඉලක්කයක් ඔස්සේ ක්‍රියාත්මක වුවහොත් මෙරටින් පාතාලය අතුගා දැමීම මහා කජ්ජක් නොවනු ඇත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ අප සඳහන් කළ මෙකී අරමුණින් සැබෑ ලෙසම එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වේද යන්නය. ඇත්තටම එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ හැකි නම් ආණ්ඩුවට ද ලකුණු ගොඩක් දමා ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment