රන් පදක්කමක් ගෙනා ශ්‍රී මාලි ගැන පසු වදනක්

307

ලංකා මාතාව රනින් සරසන්නට උපන් හපන්කම් ඇති දිරිය දූ පුතුන් තවමත් මේ රටේ සිටින බවට සාක්ෂි අවශ්‍ය නැත. පිටිසරබද ගම් පළාත්වල සිට දුෂ්කරත්වයත් දිළිඳුකමත් කරපින්නාගෙන වුවද අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව ලෝකයම ජයගනිමින් ශ‍්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ වීර දූ පුතුන් මේ බිමේ ඕනෑ තරම් ය.

මේ කතාව එවැනි එක් දියණියක් පිළිබඳ කතාවක් පමණක්ම නොවේ. දුෂ්කරත්වය, කටුකත්වය මැදින් ජාත්‍යන්තරයට ගොස් ලංකාදීපයට රන් පදක්කමක් ගෙන ආ ක‍්‍රීඩිකාවක් පිළිබඳව කතාවක් ද නොවේ. කාෂ්ටක පොළවේ හැපෙමින් දහදිය මුගුරු හෙළමින් තම දියණියගේ අනාගතය වෙනුවෙන් ඕනෑම කැප කැපකිරීමක් කරන්නට සූදානම් වන දෙමාපියන් පිළිබඳ කතාවක් ද නොවේ.

ඉහතින් කී සියල්ල කැටි කළ මනුෂ්‍යත්වයෙන් පිරි කෘතගුණ දත් මිනිසුන් පිළිබඳ වන කතාවක් ලෙසින් මේ කතාව නම් කිරීමට කැමැත්තෙමි.

පසුගිය දිනෙක උස්බෙකිස්තානයේ පැවැත්වූ ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගයේදී කාන්තා අංශයෙන් කිලෝ ග‍්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ‍්‍රීමාලි සමරකෝන් ක‍්‍රීඩිකාවට හැකිවිය. ඇය එක් අතකින් රටට ආඩම්බරයකි. තවත් අතකින් ඇයගේ දෙමාපියන් ට මහත් ගෞරවයකි.

දඹුල්ල තිඹලව නමැති ග‍්‍රාමයේ පදිංචි ශ‍්‍රිමාලි සමරකෝන්ගේ ජයග‍්‍රහණය පිටුපස තිබුණේ එතරම්ම සුන්දර කතාවක් නොවේ. එදා වේල සරිකර ගන්නට වෙර දරන අතරතුරම ශ‍්‍රීමාලිගේ දෙමාපියන් තම දරුවන්ගේ තිදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම්ව සිටිති.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වූ ශ‍්‍රීමාලි හබරණ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර එම පාසලේදී බර ඉසිලීමේ ක‍්‍රීඩාවට යොමුව, පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර මහාමායා බාලිකා පාසලට ඇතුළත් වී තිබේ. මේ වනවිට ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබමින් සිටින විද්‍යාර්ථියෙකි.

මෙතෙක් ආ කටුක ගමන් මඟ පිළිබඳ ශ‍්‍රීමාලි ගේ මව මෙලෙස අලූත් අදහස් දැක්වූවාය.

‘‘අපිට දරුවන්ට උගන්වන්න දරුවන් කැමති දේවල් කරන්න මහා ලොකු වත්කමක් නෑ. අපිට තිබුණු කුඹුරක් පවා උගස් තියලා තමයි කිරි ගවයන්ව මිලදී ගත්තේ. මොනතරම් ප‍්‍රශ්න ආවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කරන්න බෑ. ඒ හින්ද ණය වෙලා හරි අපි දරුවන්ට උගන්වනවා. මේ කිරි ගවයෝ තමයි අපේ ජීවිත ආරක්ෂා කරන දෙවිවරු”.

කුඹුරක් පවා උගසට තබා කිරි ගවයන් දෙදෙනකු මිලදීගෙන තම දියණියටත් කුඩා දියණියටත් ඉගැන්වීම් කටයුතු සිදු කරන බව ද දියණිය රන් පදක්කම ලබාගත්තේ කිරි දෙනුන්ට පින්සිදුවන්නට බවද ශ‍්‍රීමාලිගේ මව සිහිපත් කළේ කිරි ගවයන්ට දහස් වරක් පින් දෙමිනි.

කුඩා කල සිටම ක‍්‍රීඩාවට උපන් හපන්කම් දක්වා ඇති ශ‍්‍රීමාලි 2019 දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙලේදීත් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද සමඟින් රිදී පදක්කමක් දිනාගෙන තිබුණි. 2015 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ද රිදී පදක්කමක් දිනාගන්නට ඇය සමත් වූවාය.

මෙතරම් දක්ෂ ක‍්‍රීඩිකාවක් මුළුමහත් රටටම ආඩම්බරයකි. ක‍්‍රීඩාව සඳහා අවශ්‍ය වන ඇඳුම් පැළඳුම් පවා ඇය සපයාගෙන තිබුණේ ඇගේ දෙමාපියන් දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලිනි. ඇයට අත හිත දෙන්නට ඇය පිළිබඳව සොයා බලන්නට කිසිවකු නොවූ අවස්ථාවේ වුවද ශ‍්‍රීමාලි ගේ දෙමාපියන් ඇයගේ හැකියාවන්ට අකාලයේ මිය යන්නට ඉඩ දී නැත. ඔවුන්ට පින්සිදුවන්නට අද ශ‍්‍රීමාලි ලංකාව රනින් සැරසූ වීර දියණියකි.

‘‘මේ කිරි ගවයන්ට කතා කරන්න පුළුවන් නම් කියයි අපි මොන තරම් දුක් වින්දද කියලා. ඒ වගේම මගේ දරුවො වෙනුවෙන් කීයක් හරි හොයා ගත්තා නම්, දරුවන්ගේ බඩ පිරෙව්වා නම් ඒ හැමදේම මේ කිරි ගවයෝ දෙන්නට පින්සිද්ද වෙන්න කරගත්ත දේවල්. ඒ හින්දා අපි මේ සතුන් දෙන්නට හැමදාමත් ණයයි.” ලෙසින් ශ‍්‍රීමාලිගේ පියා පවසයි.

කිරි ගවයින් දෙදෙනාට මෙන්ම තම දියණිය ක‍්‍රීඩාව සඳහා යොමු කරමින් ඇයට කුඩා කල සිට ක‍්‍රීඩාව සම්බන්ධව ඉගැන්වූ නදීක බණ්ඩාර මහතාටත්, ශ‍්‍රීමාලිගේ සියලූම ගුරු මව්පියවරුන්ට ස්තුති කිරීමට ද ඇගේ දෙමාපියන් අමතක කළේ නැත.

තම දියණියගේ ජයග‍්‍රහණය රූපවාහිනියෙන් දුටු මොහොතේ සිට සතුටු කඳුළු සඟවාගන්නට උත්සාහ දරන ශ‍්‍රීමාලි ගේ දෙමාපියන්, සහෝදරයන් සහ අසල්වාසී සියලූ දෙනාම ඇය දුෂ්කරත්වය මැදින් ආ ගමන පිළිබඳව කතා කළේ මහත් ආඩම්බරයකිනි.

‘‘මගේ දරුවා පොඩි කාලේ ඉඳලම ක‍්‍රීඩාවට දක්ෂයි. දුෂ්කරතා මැද වුණත් මමත් දුවගේ තාත්තත් දරුවන් වෙනුවෙන් උපරිමයෙන් කැප වුණා. දුව ජයග‍්‍රහණය කරා කිව්වහම වත් සමහරුන්ට වටිනාකමක් තිබුණෙ නෑ. අපේ දුව වගේම ආර්ථික අතින් දුප්පත් ඒ වුණත් දක්ෂ දරුවෝ ඕන තරම් ඉන්නවා. මම කියන්නේ ඒ දරුවන්ට අතහිත දුන්නොත්, මගේ දුව වගේම මේ රටට ගෞරවයක් ගේන්න ඔවුන්ටත් හැකියාව තියෙනවා.”

ශ‍්‍රීමාලි වැනි දක්ෂ දුවා දරුවන්ට මේ රටේ නිසි බලධාරීන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය යුතුය. දුෂ්කරත්වය හමුවේ දක්ෂතා උපන්ගෙයිම වළලා දමා ඔහේ බලා සිටින්නට මේ රටේ දක්ෂයන්ට සිදුවුවහොත් එය ඔවුන්ගේ පමණක් නොව මුළු මුළු මහත් රටේම අභාග්‍යයකි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment