ගිය පුටුවට ආයෙ එන්නෙ නැහැ – ඉල්ලා අස්වූ රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස්

138

ආසියානු තරගාවලියට රග්බි කණ්ඩායම යනවා

ඇමැතිවරු දෙන්නම මාව එළවන්න හැදුවා

මට කළ කෙනෙහෙලිකම්වලින් ලෝකය ඉදිරියේ අපේ රග්බි එක හෑල්ලු වුණා

ශ්‍රී ලංකා රග්බි මේ වනවිට ජාත්‍යන්තරය ඉදිරියේ තහනම්ය. ලෝක රග්බි පාලනාධිකාරිය පසුගිය මැයි 17 වැනිදා එම තීරණය මෙරටට දැනුම් දුන්නේය. එහෙත් ඊට පෙර ක්‍රීඩා ඇමැති බලතල මත ද ශ්‍රී ලංකා රග්බි දේශීයව තහනම් වී තිබුණි. ආසියානු රග්බි ආයතනයද ඒ මගම යමින් ශ්‍රී ලංකා රග්බි තහනම් කළේය. ඊටත් අමතරව ශ්‍රී ලංකා රග්බි ආයතනයට මුද්‍රා තැබීමට ද මෙරට බලධාරීහු ක්‍රියා කළහ. මෙසේ ශ්‍රී ලංකා රග්බි වෙත දෙන්න පුළුවන් සියලු වධ හිංසා ජාතිකව සහ ජාත්‍යන්තරව දෙන අතරමැද එහි සභාපති රිස්ලි ඉල්ලියාස් ගේ තනතුරද ආසියානු බලධාරීහු තහනම් කළහ. මේ සියල්ල අවසානයේ සිදුවූයේ වසර හතරකට බලයට පත් රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් තවත් වසරක කාලයක් තිබියදී සිය ධුරයට සමු දීමය. පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකා රග්බි සභාපති ධුරයට සමු දුන් හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සිදුකළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – වසර හතරකට බලයට පත් ඔබ වසර තුනකින් සභාපති ධුරයට ආයුබෝවන් කියනවා. ඇයි එවැනි හදිසි තීරණයක් ගත්තෙ?

පිළිතුර – හදිසියක් නොවේ. අදිසි හස්ත රග්බි එකට වැඩ කර ගෙන යන්න දෙන්නෙ නැහැ. නොයෙක් බාධා එල්ල කරනවා. මම රග්බි එක්ක අවුරුදු තිස් අටක් හිටපු කෙනෙක්. ඒ නිසා මට මේ ක්‍රීඩාව එක්ක කැළලක් ඇතිකර ගන්න බැහැ. අපි වැඩ කරගෙන යනකොට කකුලෙන්ම අදිනවා. ඒ මදිවට බෙල්ල හිර කරනවා. ඉතින් එහෙම තැනක ඉන්නවට වඩා හොඳයි යන එක කියලා මම තීරණය කළා. හැබැයි මට පුටුවේ ඉඳගෙන සටන් කරන්න තිබුණ. අවුරුදු දහයක් වුණත් මේක ඇදගෙන යන්න තිබුණා. මම සභාපති පුටුවෙන් ඉවත් වුණහම අනෙක් සාමාජිකයොත් ඉවත් වෙන්න ද කියලා මගෙන් ඇහුවා. මම ඒ අයට කිව්වා එහෙම කරන්න එපා කියලා.

ප්‍රශ්නය – ඔබට වංචා දූෂණ චෝදනා තිබුණද?

පිළිතුර – කවුද එහෙම කියන්නේ? මම මුදල් හම්බ කරන්න ආව කෙනෙක් නොවෙයි. මට ඕන තරම් සල්ලි තියෙනවා. මගේ පෞද්ගලික මුදල් මම මේ ක්‍රීඩාවට විශාල ලෙස වියදම් කර තියෙනවා. මගේ අතේ ලේ තැවරිලා නැහැ. මගේ චරිතයේ “බ්ලැක් ඩොට්ස්” නැහැ. පිරිසිදුව පැමිණි මම පිරිසිදුව සමුගත්තා.

ප්‍රශ්නය – රග්බි සම්මේලනයේ සභාපති ලෙස ඔබ පත් වන විට කොපමණ මුදල් සංචිතයක් තිබුණද?

පිළිතුර – සංචිතයක් තිබුණෙ නැහැ. රුපියල් මිලියන 54 ක ණය කන්දක් නම් තිබුණා. මම ඒකෙන් මිලියන 34 ක් ගෙවලා ඒ ණය බර රුපියල් මිලියන 21 කට අඩු කළා. එහෙම කරලා තමයි මං එළියට බැස්සේ.

ප්‍රශ්නය – කවුද එතරම් මුදලක් ණය කළේ?

පිළිතුර – මට කලින් හිටපු ආසන්නතම සභාපතිවරු දෙන්න තමයි. එක් අයෙක් මිලියන 35ක් ණය කරලා තිබුණා. ඊට පසුව පැමිණි කෙනා මිලියන 20 ක් ණය කරලා තිබුණා. ණයට තරගාවලි පවත්වලා ඒ තත්ත්වය උදා වෙලා තිබුණා. හැබැයි මං නම් කාටවත් ණයත් නැහැ. බයත් නැහැ.

ප්‍රශ්නය – ඔබගේ කාලයේ තරගාවලි කොපමණ පැවැත්වුවද?

පිළිතුර – කොවිඩ් තත්ත්වයන් සහ නොයෙක් තහනම් කිරීමේ බාධා මධ්‍යයේ වුවද අපි තරගාවලි 13 ක් කළා. ප්‍රධාන අනුග්‍රහකයා අපෙන් අයින් වුණා. ඒත් අපි සැලුණේ නැහැ. අලුත් අනුග්‍රාහකයන් හොයා ගෙන තරගාවලි කළා. හැබැයි ඊට පෙර මගේ සභාපතිත්වය යටතේ අනුග්‍රාහකයන් නැතුවත් 2021 සහ 2022 ලීග් තරගාවලි දෙකක් කළා.

ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා ඇමැතිවරු දෙදෙනෙක් යටතේ සභාපති ලෙස කටයුතු කළා. ආසියානු සහ ජාත්‍යන්තර රග්බි සම්මේලන යටතේ කටයුතු කළා. ඒත් මේ කිසිම පාලන අධිකාරියක් හෝ ඇමැතිවරු යටතේ හෝ ඔබ හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නැහැ. මොකද එහෙම වුණේ?

පිළිතුර – සභාපතිකම් දරලා ගිය අය තමන්ගේ පාඩුවේ ඉන්නෙ නැහැ. ඔවුන් එන එන ඇමැතිව හිතවත් කරගෙන තමන්ගෙ වුවමනා එපාකම් ඉටු කර ගන්න හදනවා. ඇමැතිව තමන්ගෙ පදයට නටවන්න යනවා. එහෙම වුණහම ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මම හිතුවේ නැහැ රග්බි ක්‍රීඩාව දේවත්වයෙන් සලකපු, ජාතික කණ්ඩායමේ නායකත්වය දරපු නාමල් රාජපක්ෂ වගේ ක්‍රීඩා ඇමැති කෙනෙක් කවදාවත් රග්බි තහනම් කරල ගැසට් ගහයි කියලා.

ප්‍රශ්නය – ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අබ්දුල්ලාට විරුද්ධව ඔබ කටයුතු කරන බවට චෝදනාවක් තිබෙනවා. කලාපීය රග්බි ප්‍රධානියා සමග මත ගැටුමක් ඇතිකර ගැනීම ඔබගේ පැවැත්ම සඳහා අහිතකරව බලපෑවා නේද?

පිළිතුර – මම නොවෙයි මත ගැටුම් ඇති කර ගත්තේ. ඔහු තමයි ඒකට මුල වුණේ. පළමුව ඔහු ඇවිත් අපේ අනුග්‍රාහකයාගෙන් අපිට එන්න තිබුණු මිලියන 10ක් අරගෙන ගියා. දෙවනුව අපේ රග්බි එකට උපදේශන කමිටුවක් දාන්න යෝජනා කළා. මේ පිළිබඳව මම ඔහුගෙන් ප්‍රශ්න කළා. අවසානයේ මම ඔහුට යැවූ පෞද්ගලික දුරකථන පණිවිඩයක් රාජකාරි ලියවිල්ලක් ලෙස යොදාගෙන මාව තහනම් කරන්න කටයුතු කළා. හැබැයි මාව තහනම් කරන්න හේතු වුණු කාරණා ඔවුන් මට තවම ලිඛිතව දන්වලා නැහැ. කොටින්ම ආසියානු රග්බි සංගමයත් මෙරට ක්‍රීඩා ඇමැතිවරුන්ට අවශ්‍ය විදිහට නැටවෙනවා.

ප්‍රශ්නය – ඔබ කොහොමද එහෙම චෝදනා කරන්නේ?

පිළිතුර – ඇමැතිවරයා අපේ රග්බි තහනම් කියලා ගැසට් එක ගහනකොටම ආසියානු රග්බි එකත් අපිව තහනම් කියලා ලියුමක් එවනවා. අපෙන් හේතු අහන්නෙත් නැහැ. කලාපීය ප්‍රධානියා ලෙස ඒ සම්බන්ධයෙන් ඔවුන් අපගෙන් විමසීමක් කළ යුතුව තිබුණා. ඒත් කවදාවත් එහෙම වෙලා නැහැ. ඇමැති ගැසට් එක ගහන සුනංගුවෙන් ආසියානු රග්බිත් අපිව තහනම් කරනවා. ඒ වගේම රග්බි සඳහා උපදේශක කමිටුවක් පත්කිරීමත් ආසියානු සම්මේලනය සහ එවකට මෙරට හිටි ක්‍රීඩා ඇමැතිවරයා යන දෙපාර්ශ්වය එකතු වී කළ කුමන්ත්‍රණයක්. හේතුවක් නැතුව උපදේශක කමිටු පත් කළහොත් ක්‍රීඩා ඇමැතිගෙ නම කැත වෙන නිසා ආසියානු රග්බි සංගමය උපදේශක කමිටුවක් අවශ්‍ය බවට ලියවිල්ලක් මෙරටට එව්වා. එහෙම තමයි මේ කටයුතු සිද්ධ වුණේ. වත්මන් ඇමැතිවරයාත් ආපු දවසේ ඉඳන් මට කියනවා අයින් වෙන්න කියලා. හැබැයි හේතුවක් ගැහුවේ නැහැ.

ප්‍රශ්නය – මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගි කරවීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු පැන නැගුණා. එහෙම තත්ත්වයක් තිබියදී තමයි ඔබ මේ තනතුරෙන් අයින් වෙන්නෙ?

පිළිතුර- කිසියම් රටක රග්බි පරිපාලනය තහනම් වී තිබියදී ඒ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග සඳහා සඳහා සහභාගි වීමට ඔලිම්පික් කමිටුව අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ තමයි ඔලිම්පික් ධජය යටතේ තරගාවලියට සහභාගි වීම. මීට පෙරත් අපේ ක්‍රීඩා කණ්ඩායම් එසේ තරග සඳහා ඉදිරිපත් වුණා. මෙවරත් ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. ජාතික කොඩිය යටතේ තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලැබුණා නම් ක්‍රීඩකයන්ට අභිමානයක්. හැබැයි කොඩිය මොකක්ද කියන එක නොවෙයි වැදගත් වෙන්නේ. අපේ සහභාගිත්වය සහ අපි ලබා ගන්නා ජයග්‍රහණයයි.

ප්‍රශ්නය – රග්බි වෙනුවෙන් ස්ථාවරකරණ කමිටුවක් පත් කළා. ඒ කමිටුව සාර්ථක වුණාද?

පිළිතුර – ස්ථාවරකරණ කමිටුව පත් කළේ රග්බි ක්‍රීඩාව අරගෙන යන්න. ඒත් ඒ අය කරේ විවිධ කාරණාවලට උසාවි යන එක. ඒකෙනුත් අන්තිමට වුණේ රග්බි වළපල්ලට යන එක තමයි.

ප්‍රශ්නය – ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුවට ඔබේ නම ඇතුළත් කිරීම වෙනුවට වෙනත් අයගෙ නම් ඒ සඳහා ඇතුළත් කරන්න මෙරට බලධාරීන් කටයුතු කළාද?

පිළිතුර – ශ්‍රී ලංකා රග්බි සභාපති විදිහට මගේ නම තමයි එතැන තිබිය යුත්තේ. ඒත් හිටපු සභාපතිවරයකු ගේ නමක් තමයි එතැන තියෙන්නේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද පසුගිය කාලයේ මඟ හැරී තිබුණා. ඔබ ඒවාට වගකිව යුතුයි නේද?

පිළිතුර – අපිට ජාත්‍යන්තර තරග කිහිපයක් මඟ හැරුණා තමයි. හැබැයි මම නොවේ අපේ රග්බි තහනම් කළේ. එහෙම තත්ත්වයක් තිබියදීත් අපි ඔලිම්පික් ධජය යටතේ ඇතැම් ජාත්‍යන්තර තරගවලට සහභාගි වුණා. ඒ තරගවල යම් පරාජයක් අත් වූවත් ඒ වරදත් මගේ පිටින් යවන්න ඇතැමුන් කටයුතු කළා. තරග පරාජයේ වගකීම ගන්න ඕන සභාපතිද? නැත්නම් තේරීම් කමිටුව හෝ පුහුණුකරු ද? මේ පිළිබඳව මං ඔවුන් සමග ඕනෑ තරම් තර්ක කර තිබෙනවා. මම කෙළින් කතා කරන මිනිහෙක්. කොහොම වුණත් අපේ ක්‍රීඩා ඇමැතිවරු මට කළ කෙනහිලිකම් වලින් සිදු වුණේ ශ්‍රී ලංකා රග්බි එක ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීමයි.

ප්‍රශ්නය – ආසියානු රග්බි සංගමය හෝ ඇමැතිවරයා හෝ ඔබ සමග නොසිටියත් ජාතික ඔලිම්පික් කමිටුව ඔබ වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පවා ලිපි ලියලා තියෙනවා. ක්‍රීඩා බලධාරීන් පසුව ප්‍රකාශ කළේ රට ට ජාත්‍යන්තර රග්බි තහනමක් පැනවීමටත් එම ලිපි හේතු වුණා කියලයි?

පිළිතුර – රග්බි කියන්නේ ඔලිම්පික් එකෙන් පිළිගත් ක්‍රීඩාවක්. මට ඇමැතිවරයාගෙන් සහයක් නොලැබෙද්දී, ආසියානු සංගමයෙන් සහයක් නොලැබෙද්දී ජාතික ඔලිම්පික් කමිටුවට ගිහින් මගේ අවනඩුව කිව්වා. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුව ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන ඡන්ද බලයෙන් නිලතලවලට පැමිණි පිරිස පමණක් පිළිගන්නා බවට ලිපියක් නිකුත් කළා. ඒ හැරෙන්න ඔලිම්පික් කමිටු සභාපති එක්ක මගේ පෞද්ගලික සම්බන්ධයක් නැහැ.

ප්‍රශ්නය – යළි රග්බි සභාපති වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

පිළිතුර – කොහෙත්ම නැහැ. මේ ඇති. හැබැයි මගේ ජීවිතේ අංක දෙකට තිබෙන රග්බි ක්‍රීඩාව මං අත්හරින්නේ නැහැ. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තිරය පිටුපස සිට ඉටු කරනවා.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment