අධිකරණයට එරෙහිව විධායකය…නීතීඥ ප්‍රජාව අතර ගැටුම නරක අතට

620

‘නීතිඥ සාමුහිකය’ පිටුපස කිසිදු හදිසි හස්තයක් නොමැත. කිසිදු රහස් ‘දේශපාලන’ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැත. නීතිඥ ප්‍රජාවේ සැලකිය යුතු කණ්ඩායමක් වසර 10 පමණ අකර්මන්‍ය වී තිබූ ‘නීතිඥ සාමුහිකය’ සමඟ එක්වී ඇත්තේ වර්ධනය වෙමින් පවතින ආඥදායක පාලනයට එරෙහිවයි. විනිසුරුවරුන්ට දේශපාලන අතපෙවීම්, බලපෑම් සහ අධිකරණ තීන්දු තීරණවලට ප්‍රසිද්ධියේ විරෝධය පල කිරීමට අවස්ථාවක් නැත. එවැනි වාතාවරණයක් තුළ විනිසුරුවරුන් බලාපොරොත්තු වන ශක්තිය දිය හැක්කේ නීතිඥ ප්‍රජාවට බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගිය සතියේ අවධාරණය කළේය.

යුද සමයේ සහ ඊට පසුව අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමසීම් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීම තුළ පත්කළ කොමිසමේ පළමුවන සභාපතිවරයා ලෙස ක්‍රියා කළ පීරිස් ‘නීතිඥ සාමුහිකය’ ගත් ක්‍රියාමාර්ගය කිසිසේත් කිසිදු පාර්ශ්වයක සැකයට භාජනය විය යුතු නැති බව පැවසීය. කෙසේ වෙතත් තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික -දේශපාලනික – සමාජීය අර්බුදය වඩාත් තීව්‍ර කිරීමට නීතිඥවරුන් අතර ගැටුම හේතු වෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ භූමිකාව පිළිබිඹු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවශ්‍යතාවය පමණක්ද?

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් හරහා ඉවත් කිරීමට එරෙහි සටනට නායකත්වය දුන් ‘නීතිඥ සාමුහිකය’ අධිකරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අන්තනෝමතික ප්‍රතිචාරයට එරෙහිව පසුගියදා යුද්ධ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය 2013 ජනවාරි මාසයේදී ඉවත් කළේ එදා විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වුවමනාවටය.

ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය තිව්‍ර ලෙස සාකච්ඡාවට ලක්වූ සැප්තැම්බර් 04 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී නීතිඥවරු කණ්ඩායමක් නැවතත් ‘නීතිඥ සාමුහිකය’ ලෙස නව සටනකට පණ පෙවීය. ඒ වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිවය. එදා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කළ සටනට දශකයකට පසුවය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් හරහා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරු 155 දෙනකු තම ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරු 49 දෙනකු ඊට එරෙහි විය. දින දෙකක පාර්ලිමේන්තු විවාදයකින් පසුව 2013 ජනවාරි 11 දින පාර්ලිමේන්තුව ඇයට එරෙහි යෝජනාව සම්මත කළේය. ජනවාරි 13 වැනි දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරියව ඉවත් කළේය.

එදා එම අයුක්තිසහගත ක්‍රියාවලියට අත එසවූ කිසිදු මන්ත්‍රීවරයකුට ‘නීතිඥ සාමුහිකය’ දියත් කළ දෙවන මෙහෙයුමට එක්විය නොහැක. වර්තමාන ක්‍රියාවලිය දියත් කර ඇත්තේ එදා අග විනිසුරුවරිය ඉවත් කිරීමට එරෙහිව ඡන්දය දුන් එදා විපක්ෂ නායක වර්තමාන ජනාධිපති වික්‍රමසිංහට එරෙහිවයි. එජාප නායක වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුව තුළ ඡන්දයකින් පත්කර ගත් ජනාධිපතිවරයායි. ඒ ජනතා විරෝධතා හේතුවෙන් ඉවත්වූ ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේදී ලබාගත් වසර පහක ජනවරමේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමටයි.

‘නීතිඥ සාමුහිකය’ ගත් ක්‍රියාමාර්ගය තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අර්බුදයට ලක්වීම වැළක්විය නොහැකිය. භූමියේ තත්ත්වය එයයි. එම සංගමයේ සභාපතිවරුන් ලෙස ඉතාමත් අර්බුදකාරී තත්ත්වයන් යටතේ කටයුතු කිරීමට ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය (2013-2015) සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් (2021-2023) වර්තමාන ආණ්ඩුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කර ඇති තර්ජනය හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය අභියෝගයට ලක්කළේය. නීතිඥ පීරිස් අවධාරණය කළේ තම සංගමය තව දුරටත් කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

අධිකරණ ක්‍රියාවලියට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා (පොහොට්ටු පක්ෂයෙන් පත්කරන ලද) ලෙස නොනවත්වා කරන බලපෑම සහ ඊට ‘නීතිඥ සාමුහිකය’ ලෙස තමන්ගේ ප්‍රතිචාරය සම්මන්ත්‍රණය ආරම්භයේ කෙටි අදහස් දැක්වීමක් කළ ‘අනිද් දා’ පුවත්පතේ කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන සහ ඊට පසුව කතා කළ යහපාලන මන්ත්‍රී ආචාර්ය ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න (2015-2020) තම කණ්ඩායමේ අරමුණු පැහැදිලි කළේය.

● යහපාලන ව්‍යාපෘතියෙන් ඔබ්බට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාර්ලිමේන්තුව හැර වෙන කිසිදු නියෝගයක්/ උපදෙසක් තමන් පිළිනොගන්නා බවට ජනාධිපතිවරයා කළ ආන්දෝලණාත්මක ප්‍රකාශය සහ කථානායකවරයා පාර්ලිමේන්තුව අනුමත කළ යෝජනාවකට සහ රේගුලාසියකට එරෙහිව නියෝග නිකුත් කිරීමේ බලයක් අධිකරණයට නොමැති බව ප්‍රකාශ කිරීම ‘නීතිඥ සාමුහිකය’ රටේ නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

යහපාලන ව්‍යාපෘතියක් වූ 19 වැනි සංශෝධනය 2015 දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට සුවිශේෂී කාර්යක් කළ ආචාර්ය වික්‍රමරත්න පාර්ලිමේන්තුවට පත් කළේ එජාප නායක වික්‍රමසිංහය. ඒ එජාප ජාතික ලැයිස්තුව හරහාය. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබලයකු වූ වික්‍රමරත්න යහපාලන ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙසද කටයුතු කළ අතර ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වූයේ සැලකිය යුතු කාලයකට පසුවයි.

ජාත්‍යන්තර කීර්තියක් හිමි සී. ජී. වීරමන්ත්‍රී විනිසුරුවරයා හැටේ දශකයේ අග භාගයේදී රං බණ්ඩාට එරෙහිව ගංඟා නිම්න සංවර්ධන මණ්ඩලය නඩුවේදී දුන් තීන්දුව සභාවේ අවධානයට යොමු කරමින් නීති විශාරද වික්‍රමරත්න අවධාරණය කළේ කථානායකවරයාගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි. විනිසුරු මාර්ක් ප්‍රනාන්දු ද එම තීරණය ස්ථිර කරමින් පසු කාලයක ලිපියක් ලියා ඇති බවද පෙන්වා දුන්නේය.

සම්මන්ත්‍රණය පසුව ඇමතූ කථිකයන් මෙන්ම හිටපු මන්ත්‍රීවරයාද නීතිඥ ප්‍රජාව සියලු වෙනස්කම් නොසලකා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට මෙම අවස්ථාවේ එල්ල වී තව දුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන තර්ජනය හමුවේ ‘නීතිඥ සාමුහිකය’ සමඟ එක ස්ථාවරයකට පැමිණීමේ අවශ්‍යතාවය මතු කළේය.

ජනාධිපති නීතිඥ ජයසූරිය අවධාරණය කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ක්‍රියාවලියට නායකත්වය දීමේ වුවමනාවයි. අග විනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව 1984 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කළ දෝෂාභියෝග ක්‍රියාවලියේදී සහ අග විනිසුරු බණ්ඩාරනායකට විරුද්ධව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2012 දී ගත් ක්‍රියාමාර්ගයේදී කටයුතු කළ ආකාරයට මෙම අවස්ථාවේදී ඉදිරියට නොපැමිණෙන්නේ මන්දැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය. විධායකය සහ ව්‍යවස්ථාදායකය සමඟ අධිකරණය සුහදතාවයෙන් ක්‍රියා කළ යුතු බවට අභියාචනාධිකරණයේ පැවති නිළ උත්සවයකදී කළ අදහස් දැක්වීම එතුමා එක හෙළා ප්‍රතික්ෂේප කළේය.

මෙම ලියුම්කරු මෑතකදී කළ විමසීමකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන සභාපති කෞශල්‍ය නවරත්න පැවසුවේ තම සංගමය උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය විමසීම් කර නිල නිවේදනයක් නිකුත් කර බවයි. එලෙසෙම නීතිඥ සංගමය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කිසිදු පසුබෑමකින් තොරව පෙනී සිටින බවද අවධාරණය කළේය. දෙවසරක නවරත්න සභාපති ධුරයට නවරත්න පත්වූයේ නිතරඟයෙනි. ඔහුට අභියෝග කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න (අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්) අවසන් මොහොතේ තරගයෙන් ඉවත් විය. එතුමා අධිකරණ අමාත්‍යාංශය සමඟ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන දූෂණ විරෝධී පනත සකස් කිරීමට සැලකිය යුතු කාර්ය භාරයක් කළේය. කෙසේ වෙතත් වර්තමාන සභාපති ජනාධිපතිවරයා සහ කථානායකවරයා කර ඇති ප්‍රකාශවලට තම සංගමයේ අවධානය යොමු වී ඇති බවයි.

නමුත් ‘නීතිඥ සාමුහිකය’ අවධාරණය කළේ ඇතිවී ඇති තත්ත්වය හමුවේ නීතිඥ සංගමයට කාලය නාස්ති කළ නොහැකි බවයි. නීතිඥ ජයසූරිය පෙන්වා දුන්නේ අධිකරණය සම්බන්ධයෙන් අර්බුදය උද්ගත වූයේ පසුගිය මාර්තු මාසයේදී බවයි. රටේ ඉහළම අධිකරණය පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීම සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදා උසාවිය දුන් නියෝගය ආණ්ඩුව නොසලකා හැරීම අතිශය බරපතළ තත්ත්වයක් බව ජයසූරිය පැවසීය.

එම නීතිඥයා අවධාරණය කළේ මාස හයකට වඩා වැඩි කාලයක් තිස්සේ රටේ ඉහළම අධිකරණය දුන් නියෝගයක් නොසලකා කටයුතු කරන අවස්ථාවක තම ප්‍රජාවට නිහඬව සිටිය නොහැකි බවයි.

● ජනාධිපතිද නීතිඥයෙකි

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් මාසයේදී තමන් නීති උපාධිය වසර 50 කට පෙර ලබා ගැනීම සැමරූ බව සඳහන් කළ යුතුමය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමසිංහ ජනාධිපති වන්නේ එතුමා ඇතුළු කිසිවකුත් නොසිතූ ආකාරයටය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද පූර්ණ ආශිර්වාදය හිමිවූ 2022 ජනතා නැඟිටීම එජාප නායකයාට විධායක බලතල හිමිවීමට අවස්ථාවක් උදාකළ හැකි බවට ක්‍රමයේ පූර්ණ වෙනසක් නැතහොත් කවුරුත් කියන පරිදි සිස්ටම් චේන්ජ් (system change) බලාපොරොත්තු වූ කිසිවකු නොසිතන්නට ඇත. විධායකයේ සහ අධිකරණයේ ගැටුමේ දිග, පළල සහ ගැඹුර තවමත් නිසි විමසුමකට ලක්වී නැත. නමුත් නීතිඥ ජයසූරිය ලබන වසරේ ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් තම ප්‍රජාවේ අවධානය යොමු කළේය. එතුමා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු වීම වෙනමම කාරණාවකි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පාර්ලිමේන්තුවෙන් වෙන්කර දී ඇති මුදල් නිදහස් කිරීමට මුදල් ලේකම් මහින්ද සිරිවර්ධනට මාර්තු මාසයේදී දුන් නියෝගය නොසලකා හැරියා සේම 2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයද එම හේතුව මතම දින නියමයක් නොමැතිව කල් දැමීමට ඇති අවස්ථාව පෙන්වා දුන්නේය. මහ මැතිවරණයද එලෙසෙම අතුරුදන් කළ හැකි ආකාරය පෙන්වා දුන් ජයසූරිය නීතිඥ ප්‍රජාවෙන් ප්‍රශ්න කළේ එවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ගේ වගකීමයි.

එකම විනිසුරුවරයා දෙනු ලබන තීන්දු සම්බන්ධයෙන් ජයසූරිය අපූරු උදාහරණයක් ඉදිරිපත් කළේය. එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමට මුලිකවූ විනිසුරුවරයාම පසුගිය මාර්තු මාසයේ පළාත් පාලන ඡන්ද පෙත්සම සම්බන්ධයෙන්ද අදාළ නියෝගය කිරීමට විනිසුරුවරුන් තුන් දෙනකුගේ මණ්ඩලයේ සිටීම ඔවුන් තිදෙනාම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවීමට හේතුවක් පුදුමාකාර තත්ත්වයක් බව ජයසූරිය පෙන්වා දුන්නේය. 2018 තීරණය සම්බන්ධයෙන් එම විනිසුරුවරයා ප්‍රසංශාවට ලක්වීමත් පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් තීන්දුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ කෝපයට හේතුවීමත් අවධාරණයට ලක් කරන අවාසනාවන්ත තත්ත්වය ජයසූරිය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ ආකාරයට බෙදුණු අවස්ථාවක් මෑත ඉතිහාසයේ නැත. සාමාජිකයන් පැවති ආණ්ඩු සහ ජනාධිපතිවරුන් සමඟ කුළුපග වුවත් සංගමය සමස්තයක් ලෙස බරපතළ කරුණු කාරණාවලදී ස්ථාවරයක් ගැනීමට පසුබට නොවීය. සාලිය පීරිස් පෙන්වා දුන්නේ එජාප ආණ්ඩුව දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේදී නීතිඥ විජයදාස ලියනාරච්චි මරා දැමීමට එරෙහිව නීතිඥ සංගමය 1988 දී ඉහළ උසාවි සංකීර්ණය ජනතාවට පැවරීමේ උත්සවය වර්ජනය කළ බවයි. ඒ එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් ලෙස අවධාරණය කළේය.

● ඇමෙරිකාවේ ස්ථාවරය

ඔඩු දුවමින් පවතින අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ආකල්පය ශ්‍රී ලංකාවට අදාළය. ඒ නීතිඥ සංගමයට කාලයක් තිස්සේ ලබා දෙන මුදල් ප්‍රතිපාදන නිසාය. ආණ්ඩුව අධිකරණය නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව තුළ ඇතිවී ඇති නොසන්සුන්තාවය සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ට නිහඬව සිටිය නොහැක. ඒ ඇය එම සංගමය සමඟ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන නිසාය. මේ වසරේ මාර්තු මාසයේ දී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වූ 2023 ජාතික නීති සම්මේලනයට ඇමෙරිකානු තානාපතිවරිය ප්‍රධාන ආරාධිතයෙක් ලෙස සහභාගි විය.

නීතිඥ සංගමය ඇයට ආරාධනා කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට ජනතාව පෙළඹවීම පිටුපස එම තානාපතිවරිය ද සිටිය බවට චෝදනා එල්ලවූ තත්ත්වයක් තුළය. ඒ අවස්ථාවේ සංගමයේ සභාපතිවරයා වූයේ සාලිය පීරිස් ය.

පසුගිය ජුනි මාසයේදී නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ සංවිධානය කළ දින තුනක වැඩසටහනටද චන්ග් සහභාගි විය. ඒ අවස්ථාවේ නීතිඥ සංගමයේ සභාපති වූයේ කෞශල්‍ය නවරත්නයි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ එහිදී ඡන්දයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ එම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවූ වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව අමතක කළ නොහැක. විනිසුරුවරුන් ඉදිරියේ කළ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම නීතිඥ සංගමය අන්ත අසරණ තත්ත්වයකට පත් කළේය. එවැනි ප්‍රකාශයක් නීතිඥ සංගමය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැති බව නිසැකය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ‘නීතිඥ සාමුහිකය’

එල්ල කරන අභියෝගය සුළුපටු නොවේ. තමන්ගේ ආරාධනයෙන් පැමිණි ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ ඇති නඩු සම්බන්ධයෙන් ආන්දෝලණාත්මක ස්ථාවරයක් ගැනීම ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව ස්ථාවරයක් ගැනීමට කරන බලපෑම එම සංගමයට දරා ගත නොහැක. එම අභියෝගය හමුවේ නීතිඥ සංගමය කල්පනාකාරීව කටයුතු කිරීමට කරන උත්සාහය පැහැදිලිය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥයකු මෙම ලියුම්කරු සමඟ පැවසුවේ කුමන තත්ත්වයක් යටතේ වුවද නීතිඥ සංගමය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ තත්ත්වයට පත්වියුතු නැති බවයි. ශ්‍රී ලංකාව බංකොළොත් වූයේ ආර්ථිකය කඩා වැටීම නිල වශයෙන් පිළිගැනීමට සැහෙන කාලයකට පෙරය. මෙවර 17 වෙනි වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටී ඇති ශ්‍රී ලංකාව බංකොළොත් කිරීමේ වගකීම සහ වගවීම විධායකය සහ ව්‍යවස්ථාදායකය භාර ගත යුතුය. රට නිවැරදි මාර්ගයට ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් අවංකව කටයුතු නොකරන තත්ත්වයක් තුළ නීතිඥ ප්‍රජාව තුළ ඇතිවී ඇති ගැටුම සමස්ත අර්බුදකාරී තත්ත්වය තව දුරටත් තිව්‍ර කරන සාධකයක් බව කවුරු කවුරුත් තේරුම් ගැනීම යහපත්ය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment