හෙට සිට යළිත් ක්‍රිකට් සටනකි. ඒ බංග්ලාදේශය සමගය. පන්දු වාර 20-20 තරගාවලියකින් ඇරඹෙන ඒ සටන නිමා වෙන්නේ ටෙස්ට් පිටියෙනි. ඒ අතරමැද තරග තුනක එක් දින සටනකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශය බලා පිටත්ව ගියේ ඒ සටනට ප්‍රවිෂ්ට වීමේ අරමුණෙනි.

තුන් ආකාරයක තරගාවලි තුන සඳහා දැන් ශ්‍රී ලංකාවෙන් නායකයෝ තිදෙනෙක් වෙති. පළමුව ඇරඹෙන්නේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය නිසා ඒ සඳහා සහභාගි වන 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එසේ බංග්ලාදේශය බලා පිටත්ව ගියහ. ඒ සංචිතය ඇතුළේ කණ්ඩායම් තුනේම නායකයෝ වෙති. එනම් 20-20 නායක වනිඳු ට අමතරව එක් දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ද ඒ අතර වෙති.

තරගාවලියට පිටත් යෑමට පෙර වනිඳු හසරංග සඳහන් කළේ එම තරගාවලියේ සියලු තරග ජයගැනීම තම අපේක්ෂාව බවයි. එනම් පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය එය බැවින් එහිදී දක්වන දස්කම් ලෝක කුසලාන තරගාවලියට බලපානු ඇති බවත් වනිඳු ගේ අදහසයි.

වනිඳු එසේ පැවසුවද ඇෆ්ගනිස්තානයට එරෙහි අවසන් තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ “නෝබෝල්” තීරණය විවේචනය කිරීම මත වනිඳුට දැන් දඬුවම් පමුණුවා ඇත. ඒ අනුව බංග්ලාදේශය සමග පළමු තරග දෙකට වනිඳු නැත. ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බලන කල වනිඳු නොමැති වීම විශාල පාඩුවකි. අනෙක් පසින් එය ප්‍රතිවාදී බංග්ලාදේශයට යහපතකි. කෙසේ වෙතත් වනිඳුගේ අඩුව පිරිමැසීම සඳහා ජෙෆ්රි වැන්ඩසේ පැමිණ ඇත. වනිඳු ගේ නායකත්වය චරිත් වෙත පවරා ඇත.

ශ්‍රී ලංකාව බංග්ලාදේශ තරග සංචාරයට සහභාගි වන්නේ ඉතා හොඳ මානසික මට්ටමක සිටිමින්ය. ඔවුහු ඇෆ්ගනිස්තානයට එරෙහිව සියලු තරගාවලි ජය ගැනීමට සමත් වූහ. ඒ උණුසුම නිමාවී තවම වැඩි කල් නැත.

ශ්‍රී ලංකාව එවැනි දස්කමක් කළේ වසර ගණනාවකට පසුවය. දැන් ශ්‍රී ලංකාව යනු ජයග්‍රාහී පීල්ලේ ගමන් කරන කණ්ඩායමකි. ඊට පෙර ඔවුහු අයර්ලන්තයට එරෙහිව ද හොඳින් දස්කම් පෑහ.

මේ ආකාරයට බලන කල පොඩි අඩියේ සිට ඉහළට යෑමට ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් සමග එක දිගට තරගාවලි යෙදී තිබීම ද වාසියක් වේ. මෙම රටවල් තුන පොදුවේ ගත් කල සියලු ආකාරයේ තරග ආකෘතිවලින් ශ්‍රේණිගත කිරීම්වල කෙළ පැමිණියෝ නොවෙති. ඔවුහු ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව හෝ එංගලන්තය මෙන් විශිෂ්ටයෝම නොවෙති. එබැවින් ගොඩනැගෙන්නට හදන ශ්‍රී ලංකාව වැනි රටකට සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමග තරඟ වැදී යළි සිය අතීත ශ්‍රී විභූතිය කරා යන මගට ශක්තියක් උදාකර ගැනීම පහසු වනු ඇත.

එහෙත් මීට මාස කීපයකට උඩින් නම් ශ්‍රී ලංකාව සිටියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයද මහත් තර්ජනයක් ලෙස පෙනෙන තත්ත්වයක් තුළය. මෑතකදී නිමා වූ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම රටවල් දෙක හමුවේම නින්දා සහගත ලෙස පරාජය ලැබීය. අප විසින් පරාජය කරනු ලැබුවේ ක්‍රිකට් පිටියේ එතරම් ඉතිහාසයක් සහ ප්‍රවීණතාවයක් නොමැති නෙදර්ලන්තය පමණි.

අප වැටී සිටි තැන් ගැන තවත් ඕනෑ තරම් කිව හැක. එකී දුර්වල දස්කම් හමුවේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේත් දොරටුව ශ්‍රී ලංකාවට වැසී ඇත. බංග්ලාදේශයේදී අපි කෙතරම් දස්කම් දැක්වුවද ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දොරටු අපට විවර නොවේ. එහෙත් සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ප්‍රදර්ශනය කළ දස්කම් බංග්ලාදේශයේදී ද විදහා පාන්නට හැකි වුවහොත් ලෝක කුසලාන දෙකක් ජයගත්, ලෝක කුසලාන තුනක අනුශූරයන් වූ ශ්‍රී ලංකාව ට මහත් අභිමානයක් වනු ඇත.

කුෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment