බේදයකින් තොරව පීඩාවට පත් වූ සියලු‍දෙනාට ප්‍රතිලාභද හිමිවිය යුතුයි ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කිසිවෙකු මග හරින්නේ නැහැ

52

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ ජාතික උත්සවයේදී කියයි

රටේ මෙන්ම ජනතාවගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යෑමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු‍ ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලු‍දෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21දා) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය. පවුල් දහසකට සහල් බෙදාදීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු‍ ලබාදීම සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලු‍ත් අවුරද්ද සමරනවා. පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. පසුගිය කාලයේ අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සපයා ගත නොහැකිව ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

2022 සිංහල අලු‍ත් අවුරුද්ද මම ගත කළේ කඹුරුගමුව ප්‍රදේශයේදී බව සිහිපත් කරන්න කැමතියි. එහි ඉන්ධන පිරවුම් සැල් ඉදිරිපිට රැය පහන්වන තුරු ජනතාව රැඳී සිටින අයුරු මම දුටුවා. ඔවුන් පාලකයන්ට දැඩිව දෝෂාරෝපණය කරමින් සිටියා. එවන් තත්ත්වයක තිබූ රට අද ලබා ඇති ප්‍රගතිය බොහෝ දෙනාට සිතා ගැනීමට පවා අසීරු වී තිබෙනවා. අද රට තුළ ඇති වී තිබෙන මෙම ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ අසීරු තීරණ

ගැනීමට අපට සිදු වුණා. එම තීරණ ජනප්‍රිය තීරණ නොවන බව කිව යුතුයි.

මීට පෙර මේ රටේ ආණ්ඩු තිබුණේ එක් පක්ෂයකට අයත් ආණ්ඩු. එසේ නොමැතිනම් පක්ෂ දෙක තුනක් එක්ව ගොඩනගාගත් ආණ්ඩු. නමුත් මෙම ආණ්ඩුව එවැනි එකක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මම විතරයි හිටියේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ සියලු‍ පක්ෂවල අය ආණ්ඩුව සමඟ එක් වුණා. රටේ අවශ්‍යතාව වෙනුවෙන් එම ආණ්ඩුව ගොඩනැගුවා. මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඇතැම් අය පැවසුවා.

අසීරු කාලයේ දුප්පත්, පොහොසත් බේදයකින් තොරව අප සියලු‍දෙනා දුක් වින්දා. අද රට දියුණු වෙමින් පැවතියත් තවමත් එක් කණ්ඩායමක් අපහසුතාවයන්ට මුහුණ දී සිටිනවා. රුපියලේ අගය අඩුවීම, ව්‍යාපාර කඩා වැටීම,

රැකියා අහිමි වීම නිසා පිරිසක් තවමත් අපහසුතාවයෙන් සිටිනවා. රටේ සංවර්ධන ක්‍රියාවලියේ වාසිය සියලු‍දෙනාට හිමිවිය යුතුයි. ඒ නිසා අස්වැසුම වැඩසටහනින් ලබාදෙන ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ දැමීමට අප කටයුතු කළා. ඒ වගේම සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් මෙම මාසයේ සහ ලබන මාසයේ සහල් කිලෝ 10 බැගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

අපි මෙම සහල් මිලදී ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නොවෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. අපි මෙම මිලදී ගැනීම් සිදු කරද්දි වෙළෙඳපොළෙ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නවා. එවිට එම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ටත්, ගොවි ජනතාවටත් සහන ලැබෙනවා. රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ගොඩනැගීමේදී කිසිවෙක් පසුකර හෝ අතහැර යාමට මම එකඟ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව රටේ ආර්ථිකය දියුණු කරනවා. අද සංචාරක ව්‍යාරය හරහා ගමට මුදල් ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ශක්තිමත් අපනයන කෘෂිකර්මාන්තය ඇති කිරීම එහි අරමුණ බව කිවයුතුයි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු ඇතුළු ඌව පළාතේ දේශපාලන නියෝජිතයන්ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන, වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment