අරන්තලාව බෞද්ධ කේන්ද්‍රස්ථානයේ නිර්මාතෘ – කිරිඳිවැල ශ්‍රී සෝමරතන නාහිමියන්ට උ/නැ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය ප්‍රදානය 10 දා මල්වතු විහාරයේදී

94

පිළිගැනීමේ මහෝත්සවය 17 වෙනිදා අරන්තලාවේදී

දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන් අධ්‍යක්‍ෂක, අම්පාර මහාවාපී මහා විහාරය, කල්මුණ ශ්‍රී සුභද්‍රාරාමය, ඓතිහාසික මාණික්කමඩු දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරය, පුළුකුණාව රජමහා විහාරය, මංගලගම බෝධිරාජාරාමය, නුවරගලකන්ද පුරාණ රජමහා විහාරය, පියාසරගම සම්බෝධි විහාරය, බොක්ක බැද්ද සමාධි විහාරය, බණ්ඩාරදූව විමලාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අඩසියවසක සසුන් දිවිය තුළ බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් සිදුකළ ආගමික, ශාසනික මෙහෙවර අගයනු වස් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංසත්වර්ගික කාරක මහා සංඝ සභාවේ අනුමැතියෙන් සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස ඉන්දසාර, ශාසන කීර්ති ශාස්ත්‍ර විශාරද යන ගෞරව නාමයද සහිතව උතුරු නැගෙනහිර දෙපළාතේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

අභිනව පදවි ප්‍රාප්තිය පිළිබඳ සන්නස් පත්‍රය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය මාර්තු 10 වෙනි ඉරුදින ප.ව. 2.30ට මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයේදී පැවැත්වේ.

උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්ගේ මූලාසනයෙන් පස්වැනි විධායක ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් මාර්තු 17වෙනි ඉරිදා ප.ව. 2.30ට අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment