දේශපාලන පක්ෂයක කෙනෙක් හැටියට මට තීන්දුවක් ගන්න බෑ! – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

103

මම එජාපයට ආදරෙයි

පාර්ලිමේන්තුමේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය සතියේ ඇතිවූ ගැටලුව තවමත් විසඳී නැත. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වෙනුවට අලුතෙන් ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකද අදාළ තනතුරෙන් ඉල්ලා අස්වුණු බවට පවසා ඇතත් අලු යට ගිනි තවමත් ඇවිලෙමින් තිබේ. මතුව ඇති තත්ත්වය පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව සාකච්ඡාවක් සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ මයන්ත දිසානායක මහතා සමඟ කළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – රාජ්‍ය මුදල් කාරක සභාව සභාපති ධුරය මේ වෙද්දි යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනව. ඔබතුමාගෙම පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට ඒ තනතුරු නැවත ලබා නොදී, ආණ්ඩු පක්ෂය ඔබව යෝජනා කරද්දි ඇයි ඔබ එය බාරගැනීමට කටයුතු කළේ ?

පිළිතුර – මම මුල ඉඳලම දැනගෙන හිටිය හිටපු සභාපතිතුමාට ආණ්ඩු පක්ෂයෙනුයි, විපක්ෂයෙනුයි දැඩි විරෝධතාවක් තියෙනව කියල. එතුමාගෙ හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධතාවක් තිබුණ. මම මුදල් කාරක සභාව ආරම්භ කරපු 2015, 2016 කාලයෙ එහි සාමාජිකයෙක් වෙලා හිටිය. එහි මුල්ම සභාපති සුමන්දිරන් මන්ත්‍රීතුමා සභාපති වුණාට පස්සෙ එතුමාට සහභාගි වෙන්න බැරි අවස්ථාවලදි වගේම එතුමා කාර්යබහුල දවස්වලදි මුදල් කාරක සභාවට ඇවිල්ල ‘මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මෙතැන් සිට ඉදිරියට මුදල් කාරක සභාවේ මුලසුන හොබවනව කියල මාව නම් කරල තමයි යන්නෙ. ඒ නිසා ඒ අත්දැකීම් මට තියෙනව. විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් එක්ක තමයි මුදල් කාරක සභාව කටයුතු කරන්න ඕන. රජයේ ප්‍රතිපත්ති සහ රජයේ පනත් පාර්ලිමේන්තුවට එන්න ඉස්සරවෙලා මුදල් කාරක සභාව හරහා තමයි ඒ පනත් එන්න ඕනෙ.

මම ප්‍රකාශ කළේ සියලු දෙනාගෙ එකඟතාව මත පොදු අපේක්ෂකයා හැටියට මම මේක බාරගන්නම් කියල. හැබැයි ඒ පොදු එකඟතාවට එන්න බැරි වුණා. විශේෂයෙන්ම විපක්ෂයෙන් එකඟතාවට එන්න ඕන. මේ කුලල් කාගෙන මේ කමිටුවේ තනතුරු බාරගත්තොත් වැඩකරන්න අමාරුයි. ස්ථාවර නියෝග අනුව මේ කමිටුවේ සභාපති ධුරය හොබවන්න ඕන විපක්ෂයෙන්. මතක තියාගන්න මම විපක්ෂයේ නැත්නම් සජබ ඉන්න මන්ත්‍රීවරයෙක්. මගේ අත්දැකීම් එක්ක මට පුළුවන් වෙයි පොදු එකඟතාවකට එනව නම් තනතුරේ වැඩකරගෙන යන්න.

ප්‍රශ්නය – ඔබ ඔය කියන විදිහට තේරෙන්නෙ ඔබ මේ තනතුර අත්හරින්න සූදානම් නෑ වගේ දෙයක්. හැබැයි ඔබ පසුගියදා මාධ්‍ය හමුවකදි කියා සිටියෙ තනතුරෙන් ඉල්ලා අස්වෙනව කියල නේද?

පිළිතුර – මම මගේ ඉල්ලා අස්වීම කථානායකවරයාට යැව්ව. මම දැක්ක එතුමාට ඒක ලැබුණ බව මාධ්‍යයේ සඳහන් වෙනව. මට මේ තනතුර ලැබීම, අතහැරීම ලොකු දෙයක් නෙමෙයි.

ප්‍රශ්නය – ආණ්ඩුව ඔබ යෝජනා කරද්දි ඔබට හිතුණෙ නැද්ද, ඒ යෝජනාවෙ යම් දේශපාලනික අරමුණකට ඔබ පාවිච්චි කරනව කියල.

පිළිතුර – මම නිතර කල්පනා කරන්නෙ යම් අභියෝගයක් තියෙනව නම් ඒකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕන. රට මේ වෙලාවෙ තියෙන තැන අනුව වගකීම් පැහැර හරින්න නරකයි. ඒ නිසා තමයි කථානායකතුමාට මම කිව්වෙ පොදු එකඟතාවක් මත මේ තනතුරු ලබාදෙන්න කියල. අනෙක මම කාගෙන්වත් ඉල්ලුවෙ නෑ මට මේ තනතුර ලබාදෙන්න කියල.

ප්‍රශ්නය – ඔබට කවුද කිව්වෙ මේ තනතුර බාරගන්න කියල.

පිළිතුර – මට පොදුවේ ආණ්ඩු පක්ෂයෙන් කිව්ව. ඒ වගේම අපේ පක්ෂයෙ මේ වෙද්දි මුදල් කාරක සභාවෙ ඉන්න කිහිප දෙනෙක් මට කිව්ව හැමෝගෙම එකඟාවක් තියෙනව නම් මේ තනතුර බාරගන්න කියල. නීත්‍යනුකූලව ගත්තම මේක විපක්ෂයට හිමි තනතුරක් වුණාට, ස්ථාවර නියෝග අනුව විපක්ෂයට සාමාජිකයන් නම් කරන්න බැහැ. තේරීම් කමිටුවෙන් නම් කරන්නෙ. කථානායකතුමා තමයි ඒකෙ ප්‍රධානියා. මේ කමිටුවෙ ඉන්නෙත් පක්ෂයක නායකත්වය නියෝජනය කරන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු.

ප්‍රශ්නය – ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියන්නෙ ඔබට මේ තනතුර බාරගන්න ඔබේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශිර්වාදය ලැබුණ කියල. ඇත්තටම එහෙම වුණා ද?

පිළිතුර – ඕනම දේකට සජිත් ප්‍රේමදාස මහත්තයෙග ආශිර්වාදය මට තියෙනව. එතුමත් එක්ක තමයි මම ඉන්නෙ. මම එක්සත් ජාතික පක්ෂය, මගේ පවුලේ සහෝදරයා ඇතුළු සියල්ල දාල එන්න දැඩි තීන්දුවක් ගත්තෙ සමගි ජනබලවේගය හදන්න. සමගි තරුණ බලවේගයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ ආශිර්වාදය තියෙන නිසා. යම්කිසි දවසක, යම් මොහොතක මට එතුමාගෙ ආශිර්වාදය නෑ කියල හිතෙනව නම් මම සමගි ජනබලවේගයේ දේශපාලනය කරන්නෙ නෑ.

ප්‍රශ්නය – හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා පසුගිය දවසක පුවත්පතකට කියල තිබුණ පළාත් පාලන මැතිවරණයට මුදල් නොදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්තුමා මුදල් කාරක සභාවට කැඳවීමට සිටිය නිසා ඔහුට එම තනතුර අහිමිවෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියල.

පිළිතුර – මුලින්ම කියන්න ඕන දේ තමයි මුදල් කාරක සභාවෙ වගකීම හොරු අල්ලන එක නෙමෙයි. ඒක වැරැදි මතයක්. ඒකට තමයි කෝප් කමිටුව තියෙන්නෙ. මුදල් කාරක සභාවේ ප්‍රධාන වගකීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ මුදල් පනත් පරීක්ෂණ කරල, විශේෂයෙන්ම අයවැය කාලයට අයවැයේ ප්‍රකාශයට පත්කරල දත්ත සහ යෝජනා පිළිබඳ මුදල් කමිටුවේ සාමාජිකයන් සාකච්ඡා කරල යම්කිසි මට්ටමකින් ඒ දේවල් කරන්න පුළුවන් ද, බැරිද කියන එක පරීක්ෂණයක් කරල හෙවීම.

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් ඊයේ (02වැනිදා – මේ සාකච්ඡා කළ දිනට පෙර දින) මුදල් කාරක සභාවට භාණ්ඩාගාර ලේකම්තුමා ආව. මීට කලිනුත් එතුමා ඇවිත් එතුමාගෙ ප්‍රකාශ පිළිබඳ කමිටුවට පැහැදිලි කළා. ඇත්තෙන්ම මුදල් කාරක සභාවේ සභාපතිතුමාට එහෙම ප්‍රශ්න කිරීම නතර කරන්න බැහැ. ඒ වගේම ඕනෑම සාමාජිකයෙක්ට රජයේ නිලධාරීන්ව ප්‍රශ්න කරන්න පුළුවන්. සභාපති වෙන්නම ඕන නෑ.

ප්‍රශ්නය – ඇත්තටම ඔබ මේ තනතුරට පත්වෙනවට කවුරුන් හෝ බයෙන්ද ඉන්නේ…?

පිළිතුර – (හයියෙන් සිනාසේ) ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නෙ දේශපාලනය කරද්දි යාළු මිත්‍රාදීන් ඉන්නව වගේම කොච්චර ප්‍රතිපත්තිගරුක වුණත් සතුරන් ඇතිවෙනව. ඒක තමයි දේශපාලනය කියන්නෙ. හැබැයි මම නම් ඒවට බය නෑ. මොකද මම හෘද සාක්ෂියට එකඟව තමයි වැඩ කරන්නෙ. මම දන්න තරමින් කාටවත් වරදක් කරල නෑ. මම ගමන් කරන්නෙ මගේ පියාගෙ අඩිපාරේ.

ප්‍රශ්නය – ඔබතුමා මේ තනතුරෙන් අයින්වෙන බව කථානායකතුමාට දැන්වූ බව කිව්ව. ඔබ එහෙම කළේ කාගේ හෝ බලපෑමකටද?

පිළිතුර – ඒක මගේ තනි තීන්දුවක් නෙමෙයි. මම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. එහෙම දේශපාලන පක්ෂයක ඉන්නව නම් ඒ පක්ෂයේ නායකතුමා කියන දේ අහන්න ඕන. නැත්නම් ඒ පක්ෂයේ ඉන්න අමාරුයි. වෙනත් විදිහකට කියනව නම් ඒ දේශපාලන පක්ෂයෙන් අයින් වෙන්න ඕන. මම සජිත් ප්‍රේමදාස මහත්තයට ගරු කරනව. ඉතා කිට්ටු සබඳතාවක් අපි අතර තියෙනව. මම හිතන්නෙ ඒකට ඇතැම් පිරිස් කැමැති නැතිව ඇති. නමුත් එතුමාගේ විශ්වාසය කඩ නොකර මම වැඩකරන්න ඕන කියන මතයෙ මම ඉන්නව. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමයි, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමයි මේ දෙපළ තමයි මම පක්ෂ නායකත්වය හැටියට සලකන්නෙ. මම ඒ අය කියන දේ අහනව. මම මේ තනතුර නිසා ආණ්ඩුවට යන්නවත්, තනතුරු ගන්නවත් කිසිම බලාපොරොත්තුවක් නෑ. සමහරු නම් බලාගෙන හිටිය මුදල් ඇමැතිකම ගන්න. මම නම් මගේ ප්‍රතිපත්ති පාව දෙන්නෙ නෑ. හිටපු ඇතැම් සභාපතිවරු වගේ ඒ තනතුරු ගන්න මම කැන්වසින් කර නැහැ.

ප්‍රශ්නය – මන්ත්‍රීතුමා ඔබතුමාටත් ජනාධිපතිතුමා කතා කළා නේද මයන්ත තනතුරක් බාරගන්න කියල…?

පිළිතුර – මට එහෙම කතා කරල තියෙනව පොදුවේ අපි හැමෝටම, 224ටම ලියුමක් එව්වනෙ එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදමු කියල. ඒ හැරෙන්න මට විශේෂයෙන්ම දුරකථන ඇමතුම් දීල කිව්වෙ නෑ තනතුරක් හෝ අමාත්‍යාංශයක් බාරගන්න කියල. ඒ වගේම කියන්න ඕන පසුගිය බ්‍රහස්පතින්දා හැන්දෑවෙ ජනාධිපතිතුමා මට කතාකරල කිව්ව මේක බාර අරගෙන වැඩ කරන්න කියල.

ප්‍රශ්නය – ‘මේක’ කියල අදහස් කළේ මුදල් කාරක සභාවේ සභාපතිකම ද?

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – ඇත්තටම ජනාධිතිතුමා ඔබට යම් තනතුරක් බාර අරගෙන ආණ්ඩුවත් එක්ක එකතුවෙලා වැඩකරන්න කියල ආරාධනාවක් කළොත් ඒක බාරගන්නව ද?

පිළිතුර – මම මගේ ජීවිත කාලයෙම එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි. මම හිතන්නෙ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ පියාත්, මගේ පියාත් ජීවිත පරිත්‍යාග කළේ එජාපය වෙනුවෙන්. ඒ නිසා අපි දෙපළ එජාපයට ආදරෙයි. ඒ සංස්කෘතියට, ප්‍රතිපත්තිවලට. මම කවදාවත් කියන්නෙ නෑ එක්සත් ජාතික පාක්ෂිකයන් එක්ක තරහයි කියල. හැබැයි මම දැන් ඉන්නෙ සජබයෙ. මගේ නායකය සජිත් ප්‍රේමදාස මැතිතුමා. මම එතන ඉන්නව. මම හැමදාම කියන දෙයක් තමයි මම කැපුවක් කොළ කියන එක. මතක තියාගන්න සමගි ජනබලවේගයෙත් පාට කොල පාට.

ප්‍රශ්නය – ඇතැම් අය කියනව මේ තනතුරට වඩාත් සුදුසු ඔබ නෙමෙයි, හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කියල. මොකද ඔබතුමාට වඩා එතුමට ඒ සඳහා සුදුසුකම් තියෙනව කියල.

පිළිතුර – මගේ පියා මහවැලිය අවුරුදු තිහකින් නිම කරන්න තිබුණු මහවැලිය අවුරුදු හයකින් නිම කරනකොට එතුමා ඉංජිනේරු මහත්තමයෙක් නෙමෙයි. නමුත් අදාළ පිරිස ළඟට අරගෙන ඉතා සාර්ථක අන්දමින් කලට වෙලාවට මහවැලිය නිම කළා. ඒවගේම ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වරායවල් හදද්දි මෙරින් ඉංජිනියර් කෙනෙක් නෙමෙයි. නමුත් එතුමා ඒව හදද්දි ඒකට අවශ්‍ය අය ළංකරගෙන ඒ දේ කළා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගම්උදාව හැදුවා. හැබැයි එතුමා ගෘහනිර්මාණ ශිල්පියෙක් නෙමෙයි.

මම පිළිගන්නව හිටපු සභාපති හර්ෂ ද සිල්වා මැතිතුමාට ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන බව. හැබැයි මගේ තර්කය මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොබවන්න එහෙම විශේෂ දෙයක් අවශ්‍ය නෑ කියල. මම බලාපොරොත්තු වුණෙ මුදල් කාරක සභාවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ගෙ දැනුම අත්දැකීම් අරගෙන දේශාපාලන කෝණයකින් බලන්නෙ නැති, මුදල් කාරක සභාවෙන් කළ යුතු වැඩ ටික මන්ත්‍රී කණ්ඩායමක් වශයෙන් ඉටුකරන්න.

යහපාලනය සමයේ පාර්ලිමේන්තුවෙදි නීතිය හා සාමය පිළිබඳ ආන්තික කාරක සභාවෙදි සභාපති ධුරය අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමාට ලැබෙයි කියලයි අපි හිතුවෙ. මොකද එතුමා නීතිඥවරයෙක් නිසා. හැබැයි ඒ සභාපති ධුරය ලැබුණෙ අජිත් මානප්පෙරුම මැතිතුමාට. එතුමා නීතිඥයෙක් නෙමෙයි. ඉංජිනේරුවෙක්. හැබැයි ඒ පාර්ලිමේන්තු කාලය අවසන් වෙද්දි හොඳම ආන්තික කාරක සභාව කියල කථානායකතුමාගෙන් එතුමට රෑ කෑමකුත් ලැබුන.

ප්‍රශ්නය – මේ මුදල් කාරක සභාවේ සභාපති තනතුරත් එක්ක මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන ඔබ කළකිරීමෙන්ද ඉන්නේ…?

පිළිතුර – දේශපාලනයෙදි සමහර වෙලාවට සංතෝසයෙන් ඉන්නව. සමහර වෙලාවට කලකිරීම් ඇතිවෙනව. ඒව දරාගෙන ජනතාව වෙනුවෙන් දේශපාලන ගමන යන්න තමයි මගේ බලාපොරොත්තුව. මගේ පියාට දේශපාලනයෙදි කලකිරීම් රාශියකට මුහුණ දෙන්න වුණා. දේශපාලනයෙදි විතරක් නෙමෙයි ජීවිතයෙදි වුණත් තමන් හැමතිස්සෙම කැමැති දේවල් වෙන්නෙ නෑ, යෝජනා කරන දේවල් වෙන්නෙ නෑ. හැබැයි අපි බලන්න ඕන ජනතාවට කොහොමද සේවය කරන්න ඕනෙ කියල.

ප්‍රශ්නය – මේ සිදුවීමෙන් පස්සෙ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාව මුණගැහුණ ද?

පිළිතුර – ඔව්… කණ්ඩායම් රැස්වීමෙදි මුණ ගැහුණ.

ප්‍රශ්නය – මොනවද එතුමා කිව්වේ…?

පිළිතුර – මම වැඩිය කතාකරන්න ගියෙ නෑ. හැබැයි එතුමා පාර්ලිමේන්තුවෙදි කරපු ප්‍රකාශය ගැන මම කනගාටුවෙනව. කොහොම වුණත් දැන් ඒ දේවල් වෙලා ඉවරයි. මගේ දේශපාලනය නම්, තරහවල් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment