දෙමටත්ආරගම ඝාතනයේ සැකකරුවන් දෙදෙනාගේ නිවෙස් ගිනිබත් කරලා

150

කොස්ලන්ද පොලිස් වසමට අයත් ඇතිලිවැව දෙමටත්ආරගම පදිංචි ටී.එම්. නිශාන්ත පියසිරි යන අය වාඩියක සිටියදී පොරොවකින් පහරදී ඝාතනය කර වාඩියට ගිනිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් හයදෙනාගෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවකුගේ වෙහෙරයාය නිවාස දෙකකට ඉකුත් (23දා) කිසියම් පිරිසක් ගිනිතබා විනාශකර ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය මඟින් සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවටගෙන එයින් දෙදෙනකු වන රන්මහත්තයා සහ අනුර යන අයවලුන් ආපසු නිවෙස්වලට එවා තිබිණි.

දෙමටත්ආරගම ඝාතනයේ සැකකරුවන් දෙදෙනාගේ නිවෙස් ගිනිබත් කරලා

ඒ සම්බන්ධයෙන් කුපිතවූ මියගිය අයගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් තුන්සියයක් පමණ මෘත දේහය තබාගෙන උද්ඝෝෂණයේ නිරතව ඔවුන් දෙදෙනා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

පසුව ඔවුන් දෙදෙනාද පොලිසිය මඟින් රැගෙන ගොස් තිබිණි.

පසුව එදින රාත්‍රී සැකකරුවන්ගේ නිවෙස් දෙකකට 300 පමණ පිරිසක් පැමිණ ගිනිතබා ඇති අතර නිවසේ සිටි අය කැලයේ සැඟවී සිට ඇත.

ගිනි තැබූ පිරිසෙන් කොටසක් නිවසේ එළියේ විදුලි පහන් ආලෝකයෙන් හඳුනාගෙන තිබේ.

නිවාස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවටගත් අතර තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අත්අඩංගුවටගත් සැකකරුවන් දෙමටත්ආරගම වෙහෙරයාය යන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32, 26, 39 සහ 41 යන වියෙහි පසුවන අයයි.

මනුෂ්‍ය ඝාතනයේ සැකකරුවන් හයදෙනකු කොස්ලන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත පොලිසිය ප්‍රශ්නකරගෙන යයි.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලමින් ඇතිලිවැව ප්‍රදේශවාසීන් ඉකුත් (23දා) වැල්ලවාය තණමල්විල මාර්ගයේ වෙහෙරයාය ආරියසිරි හංදිය අසල මියගිය අයගේ දේහය තබා උද්ඝෝෂණයක නිරතව සිටි අතර ඒ නිසා රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබිණි.

මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හතර දෙනකුගෙන් මෙලෙස ප්‍රශ්න කරන බව කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති දුමින්ද දිනේෂ් වික්‍රමසිංහ මහතා පැවසීය.

නිවාසවලට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධව වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.

ඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment