අධ්‍යාපනය සිංහල සහ දෙමළවලට පමණක් සීමා කළ නොහැකියි : ඉංග්‍රීසි, ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂාවන්ගෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

44

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ (16 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් ‘මගේ මංපෙත’ ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මේ රටේ සියලු දෙමාපියන්ගේ බලාපොරොත්තුවයි. මෙම අධ්‍යාපනය සිංහල සහ දෙමළවලට පමණක් සීමා කළ නොහැකියි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂා දැනුමෙන් අපේ දරුවන් සන්නද්ධ කළ යුතුයි.

රටේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීම වෙනුවෙන් 2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට සැලසුම් කර තිබෙනවා. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රිසි දැනුම ලබාදීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා ද අවශ්‍ය වැඩපිළිවෙළ අප සකසනවා.

මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අද මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පැවසුවත් උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් රට හැර යනවා. ලෝකයේ රටවල් රැසක අපේ දරුවන් උසස් අධ්‍යාපන කටුතුවල නිරතවී සිටිනවා. එම රටවල ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමවේදය අපේ රටේද ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළයුතුයි.

නිදහස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාලවලට ගෙවීමට මුදල් ලබාදීම කියා ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. නමුත් අනෙක් රටවල නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට නොවෙයි. අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට සිසුන්ට සහනදායි ණය මුදල් ලබාදෙනවා. එවිට සිසුවාට අයිතියක් තිබෙනවා තමන් කැමති විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට. අපේ රටේ එය තෝරා දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්. නමුත් අප කටයුතු කළයුත්තේ ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමටයි. එසේම මුදල් නිසා රටේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමි විය යුතු නැහැ.

අප මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කළ යුතුයි. එසේම දැනට තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුයි. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබාදී වසර 05ක් තුළ එම ප්‍රගතිය ලබා ගැනීමේ ඉලක්කයක් අප ලබා දෙනවා. එවිට එහි අධ්‍යාපනය ලබන සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම ජෙනරාල් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට සමාන තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපනය සිංහල සහ දෙමළවලට පමණක් සීමා කළ නොහැකියි : ඉංග්‍රීසි, ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂාවන්ගෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඒ සමග රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අප අවස්ථාව ලබා දෙනවා. මේ පළපුරුද්ද සමග නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස මම වෛද්‍ය හර්ෂ අලස් මහතාට යෝජනා කරනවා.

මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායි ණයක් ලබා දෙනවා. එවිට ඉඩම් විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවීමට අවශ්‍ය වන්නේ නැහැ. රටේ විශ්වවිද්‍යාල වැඩිවීමත් සමග විදෙස් රටවල සිසුන් ද මෙරටට පැමිණෙනවා.

එසේම ලංකාවෙන් පිටවු දෙමළ ඩයස්පෝරාවට සහ සිංහල ඩයස්පෝරාවට මම කියනවා රට ගැන කැක්කුමක් තිබෙනවා නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස. අලස් මැතිතුමා ඒ සඳහා මාර්ගය පෙන්වා දී තිබෙනවා. රටේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. මීට දායකවන පෞද්ගලික අංශයේ සියලුදෙනාට සහාය ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් මා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මීට වසර 60කට පෙර රාජකීය විද්‍යාලයේ ආදර්ශමත් චරිතයක් අපට හමුවුණා. එතුමා අපට ගුරුවරයෙක්. ආර්.අයි.ටී අලස් මැතිතුමාගේ ජීවන චරිතය අප සියලු දෙනාටම පූර්වාදර්ශයක් වෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ අධ්‍යාපනඥයකු ලෙස අලස් මැතිතුමාව හඳුන්වන්න පුළුවන්. එතුමාගේ තිබුණ මගපෙන්වීම මත මෙරට පාසල් ආදර්ශමත් පුරවැසියන් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථාන බවට පත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

අද වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දරුවන් 6,000ක් පමණ සිටිනවා. 1 සිට 13 දක්වා පන්ති කාමර 157ක් තිබෙනවා. එම සියලු පන්ති කාමර සුහුරු පන්ති කාමරයි.

එම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කළේ රජයේ මුදල්වලින් නොවෙයි. මුළු පාසලම වයිෆයි කර තිබෙනවා. මේ සියලු කටයුතු සිදු කළේ අලස් මහතාගේ දුරදක්නා නුවණ නිසයි.

අද මෙම ශාලාව තුළ නව විදුහල්පතිවරුන් නවසියයක් සිටිනවා. ඒ අයට අලස් මැතිතුමාගේ ජීවන අත්දැකීම තමන්ගේ රාජකාරී ජීවිතයට ඉතා වැදගත් වෙනවා. කොවිඩ් වසංගතය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිසා ප්‍රාථමික අධ්‍යාපනය අර්බුදයකට ලක් වී ඇති බව අධ්‍යාපන විශේෂඥයන් පවසනවා. ඒ පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා.

අධ්‍යාපනය සිංහල සහ දෙමළවලට පමණක් සීමා කළ නොහැකියි : ඉංග්‍රීසි, ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂාවන්ගෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පාසල් අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ලෝකය තාක්ෂණය සම ඉදිරියට යන විට අපේ දරුවන්ගේ අධ්‍යාපනය පමා කිරීම සිදු කරන්න බැහැ. ඒ අනුව අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප මේ වන විට සිදු කරමින් තිබෙනවා.

2024 පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් වී තිබෙනවා. නිල ඇඳුම් පළමු තොගය ලබන මස 31 වනදාට පෙර ලැබෙනවා. පාසල් යන සෑම දරුවකුටම දිවා ආහාරය ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. යුනිස්කෝව සමඟ ඒකාබද්ධව දරුවන් ලක්ෂ අටකට පාසල් පාවහන් ලබාගැනීමට කූපන් පත් නිකුත් කිරීමට කටයුතු කරනවා. අප මේ සඳහා රජයේ මුදල් පමණක් බලාගෙන සිටියේ නැහැ. ප්‍රංශ රජයේ ආධාර ඇතිව මෙම පාසල් දරුවන්ට පාවහන් ලබාදීම සිදු කරනවා. කවුරු අධ්‍යාපන ඇමැති වුණත් ඉදිරි වසර 4 තුළදී එම ආධාරය මේ රටට ලැබෙනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා ඇතුළු පවුලේ ඥාතීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු, පාසල් සිසු දරුවන් සහ විශේෂ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment