මැඩගස්කරයේ දී කොටුවුණු හරක් කටා ඇතුළු 7ක් ලංකාවට ගෙන්වීමට පියවර

562

මැඩගස්කරයේ ඉවුටෝ ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු හත් දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එහෙත් මෙම අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (7 දා) වනතුරුත් මැඩගස්කර පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත කිසිම නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බව හෙළිවී මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

කෙසේ වෙතත් මෙම අපරාධකාරයන් දෙදෙනාට එරෙහිව ඇති සියලු චෝදනා මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වාර්තා සකස් කරගෙන යන බව තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හරක් කටා සහ කුඩු සලිඳුට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විසින් මීට පෙර ජාත්‍යන්තර පොලිසිය වෙත රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රතුවරෙන්තුව මත බවත් පොලිසිය පවසයි.

මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති මෙම අපරාධකාරයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් ඊට එරට රජයේ සහ පොලිසියේ සහාය ලබාගත යුතු බවත් පොලිස් මූලස්ථානය පවසයි.

කෙසේ වෙතත් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රධානම ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන හරක් කටා සහ කුඩු සලිඳු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද පොලිසිය කියා සිටියි.

මෙම හෙරොයින් ජාවාරම්කරුවන් සතුව තිබී රුපියල් කෝටි 32කට අධික වටිනාකමෙන් යුත් විදේශ මුදල් තොගයක් ද එරට පොලිස් භාරයට ගෙන ඇත.

හරක් කටාගේ බිරිඳ ලෙස පෙනී සිටි විදේශ කාන්තාවක් සතුව මෙම මුදල් තොගය තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හරක් කටාගේ බිරිඳගේ පියා ද සිටියි.

මෙම පිරිස පෞද්ගලික ජෙට්යානයකින් මැඩගස්කරය වෙත පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන සිට අධිසුඛෝපභෝගි මෝටර් රථ දෙකකින් ඉවුටෝ ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඒ අවස්ථාවේදී ය. මෙම ජාවාරම්කරුවන් ගුවන්තොටුපළ වෙත රැගෙන ආ අධිසුඛෝපභෝගී මෝටර් රථ දෙක සහ රියැදුරන් දෙදෙනා ද එරට පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් මැඩගස්කර පොලිසියේ අපරාධ ඒකකයක රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

පසුගිය කාලය පුරා මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් ටොන් ගණනින් මෙරටට එවා තිබුණේ හරක් කටා නමැති අපරාධකරු විසින් බවත් පොලිසිය පවසයි.

පසුගිය කාලයේ දකුණේ සිදුවූ මිනිස් ඝාතන රැසක් පිටුපස සිටියේ හරක් කටා බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment