ආණ්ඩුවට හේත්තු වෙන්න අපිට ඕනෙ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමත් සමග එම පක්ෂයේ බල අරගලය තීව්‍ර අතට හැරී ඇත. පක්ෂයේ බලය ඇල්ලීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කණ්ඩායමේ පිරිස කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන්නේ කුමක්ද? ඒ පිළිබඳ දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කරගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ “දිවයින ඉරිදා සංග්‍රහය” ඒ මහතා සමග කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා අධිකරණය වාරණ නියෝගයක් ලබාදී තිබෙනවා. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීන්දුවට හිස නමන බව පවසන අතරේ හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීම පිණිස මෙම කටයුතු සිදුකරන බව ඔහු චෝදනා කරනවා.

පිළිතුර – පැහැදිලිව කියන්න ඕනා, එහෙම කිසිදු අදහසක් අපේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීමට හෝ වෙන කාට හරි හේත්තු කිරීමට අපට කිසිදු වුවමනාවක් නැහැ. එහෙම උත්සාහයක් අපි අරන් නැහැ. එවැනි ආකාරයේ කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ. අපේ අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ දුර්වලව තියා ගැනීමේ කිසිදු තේරුමක් නැති බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගනිද්දී මන්ත්‍රීවරු එකසිය හතළිහක් හිටියා. දැන් ඉන්නේ මන්ත්‍රීවරු දෙන්නෙක් පමණයි. දක්ෂ සංවිධායකවරු කවුරුත් නැහැ. හොඳ පිරිස කියපදෙනෙක් හිටියත් වැඩි හරියක් ඉන්නේ රස්තියාදුකාරයන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බහුතරයක් රස්තියාදුකාරයන් ඉන්න පක්ෂයක්. ඒක දැන් වෙලා ඉවරයි.

ප්‍රශ්නය – ඔබ රස්තියාදුකාරයන් කියලා කියන්නේ කාටද?

පිළිතුර – රටේ මිනිස්සු දන්නවා රස්තියාදුකාරයෝ කවුද කියලා. අඩුම ගානේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කවුරුත් කතා කරනවද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා පක්ෂයක් තියෙනවද කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා.

මේ තත්ත්වය දුටු හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එතුමියගේ දෙමව්පියන් හදපු පක්ෂය කෙසේ හෝ රටේ ඔසවා තැබීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. එතුමියට මෙම පක්ෂය ගොඩගන්න ලොකු වුවමනාවක් තිබෙනවා. එතුමියගේ පියා ආරම්භ කරපු පක්ෂය. එතුමියගේ මව ආරක්ෂා කරපු පක්ෂය විනාශ කරනවා බලන් ඉන්න එතුමියට හැකියාවක් නැහැ. අපටත් ඒවා දැක ඇස්කන් පියන් ඉන්න බැහැ. ඒ නිසා තමයි මෙම කටයුතු සිදු වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු දාහතක් විපක්ෂයේ සිටි පක්ෂයක්. එතුමියගේ නායකත්වයෙන් යුතුව තමයි අප පක්ෂය නැවත ජයග්‍රහණයන්ට අවතීර්ණ වුණේ. නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණ අත්පත් කර දිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි අප මේ කැපව කටයුතු කරන්නේ. අලුත් නායකත්වයක් යටතේ මේ පක්ෂය රටේ දැවැන්තම පක්ෂය කරනවා. අපට මේ පක්ෂය කාටවත් හේත්තු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අපට අපේ පක්ෂය ආණ්ඩුවක් කරන තැනට ගේන්න පුළුවන්.

ප්‍රශ්නය – පක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර බල අරගලයක් තිබෙන බව පැහැදිලියි. මෙසේ බෙදි බෙදී වෙන්ව ගොස් ජයග්‍රහණ සොයන්නේ කොහොමද?

පිළිතුර – කිහිප දෙනකු අපගේ පක්ෂය ආගාධයට ඇදගෙන ගියත් බහුතරයක් ඉන්නේ පක්ෂයට ආදරේ කරන මිනිස්සු. පක්ෂය කොටස් කිහිපයකට කැඩිලා කියලා ඕන කෙනකුට කියන්න පුළුවන්. හැබැයි පක්ෂයේ සියලු දෙනා පාහේ ඉන්නේ අපිත් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ සියලු දෙනා අලුත් ගමන යටතේ පක්ෂයට එකතු වෙනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. පක්ෂය හරි පාරේ ගෙනියන්න අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් කැපකිරීම් කරන්න අපි සූදානම්.

ප්‍රශ්නය – ඔබ අලුත් නායකත්වය යටතේ යැයි සඳහන් කළා. අලුත් නායකත්වය කියන්නේ කවුද? ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද?

පිළිතුර – අලුත් නායකත්වය කවුද යන්න ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි. ඒක සාකච්ඡා කරලා කරගන්න පුළුවන් දෙයක්. අපි මේ බොහොම එකමුතුවෙන් සංවිධානාත්මකව යන ගමනක්. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ වගේ තනි තීන්දු ගන්නේ නැහැ. ඒ කාලේ තිබ්බේ තනිකරම එතුමාගේ තීන්දු තීරණ විතරයි. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. හොඳ දැක්මක් හොඳ වැඩපිළිවෙළක් සහිතව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය – පක්ෂය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාර්යභාරය කෙසේ වේවිද?

පිළිතුර – ඒ සම්බන්ධයෙන් එතුමිය සමග අපි සාකච්ඡා කරනවා. ඒක අභ්‍යන්තර කටයුත්තක්.

ප්‍රශ්නය – එතුමියගේ නම පක්ෂයේ සභාපතිත්වයට යෝජනා කර ඇති බව පණ්ඩු බණ්ඩාරනායක මහතා සඳහන් කර තිබෙනවා. එතුමිය එම තනතුරට පැමිණියහොත් ඔබ ඊට එකඟද ?

පිළිතුර – ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් අපට නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමග සංසන්දනය කිරීමේදී එතුමියගේ නායකත්වය බොහොම ඉහළින් තිබෙනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ.

ප්‍රශ්නය – පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොයිබට ගෙන යන්නේ? සන්ධානගත වීමේ අදහසක් තිබෙනවා නේද?

පිළිතුර – තවම එවැනි කිසිදු අදහසක් නෑ. එවැනි ආකාරයේ කිසිදු සාකච්ඡාවක් මේ වනතෙක් සිදුවී නැහැ. මැතිවරණ සඳහා තව කාලයක් තිබෙනවා. අපේ පක්ෂය ශක්තිමත් කරගත්තොත් අපට ඉතා හොඳ ගමනක් යන්න පුළුවන්.

ප්‍රශ්නය – අධිකරණය විසින් ලබාදී ඇති වාරණ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කර තිබෙනවා. ලබන 15 වැනිදා වන වාරණ නියෝගය ක්‍රියාත්මකයි. ඊට ප්‍රථමව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන්න ඔබ කණ්ඩායමට හැකියාව ලැබේවිද?

පිළිතුර – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලනවා කියන කතාවට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා යන්නයි. නිකමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතය විමසලා බලන්න.

පසුගිය කාලයේ ඇති වූ සිද්ධීන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් බරපතළ විවේචන පක්ෂ සාමාජිකයන්ට තිබුණා. ඒක ඔබ අපි කවුරුත් දන්නා කාරණයක්. අපි පක්ෂයේ බලය අල්ලනවා නෙවෙයි. අපි පක්ෂය ජයග්‍රහණ කරා ගෙනයා හැකි මට්ටමට නඟාසිටුවනවා.

ප්‍රශ්නය – හැම ආණ්ඩුවකදීම ඇමැතිවරු වන පිරිසක් ඉන්නවා කියලා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කරන චෝදනාවක්. එම චෝදනාව එල්ල වන්නේ ඔබ ඇතුළු පිරිසට. ඔබ ඇතුළු පිරිස මේ කටයුතු කරන්නේ පක්ෂය රැක ගැනීම හෝ පක්ෂයේ නඟාසිටුවීමට නොව තනතුරු ලබාගැනීමට සහ තනතුරු ආරක්ෂා කර ගැනීමට යැයි බරපතළ චෝදනාවක් තිබෙනවා.

පිළිතුර – ඕක හැමදාමත් කරන චෝදනාවක්. හැබැයි එතුමම තමයි තනතුරු ලබාගැනීමේ අදහසින් සාකච්ඡා කළේ. එතුමා ඒ බව ලිඛිතව රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබෙනවා. මා ළඟ ඒ ලිපිය ඇති. ඕන නම් ඔබටත් එවන්නම්. ජනාධිපති රනිල් විකුම්සිංහ මහතාට සුබපතන බවත් පිරිසක් එවන බවත් ඒ ලිපියේ සඳහන්. ඒවා අමතක කර කතා කරන්න හොඳ නෑ.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment