සිංහල සිනමාවට හෙටට 77යි

223

පළමුවන සිංහල චිත්‍රපටය සඳහා ඇතිවූයේ තරගයකි, ඉන්දියාවේ චිත්‍රාගාර තුනක සිංහල චිත්‍රපට තුනක වැඩ කෙරෙමින් පැවතිණි. අවසානයේදී කලින්ම තරගයට අවතීර්ණ වී සිටි දිව්‍ය ප්‍රේමය යම් යම් ප්‍රශ්න මත තරගයෙන් පසුපසට ගියේ කඩවුණු පොරොන්දුව හා අසෝකමාලා අතර තරගය වඩාත් තියුණු තරගයක් බවට පත් කරමිනි. අවසානයේ දී නායගම්, බී. ඒ. ඩබ්. ජයමාන්න ඇතුළු පිරිසට ජය අත්වූවේ කඩවුණු පොරොන්දුව ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලෙස 1947 ජනවාරි 21 වෙනිදා ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්ලි සිනමාහලේ තිරගත වීමත් සමගය.

ද ග්‍රේට් ටේ්‍රන් රොබරි නමින් ලොව මුල්ම නිහඬ චිත්‍රපටය 1903 දී නිර්මාණය වීමෙන් අනතුරුව අනෙකුත් රටවලද මෙසේ නිහඬ චිත්‍රපට නිපදවීම ඇරඹිණි. ඉන්දියාවේ මුල්ම මෙවන් චිත්‍රපටය ලෙස 1913 නිපදවූ රාජා හරිශ්චන්ද්‍ර නම් කළ හැක. මේ අනුව මෙරටද කතානාද චිත්‍රපට ආරම්භ වීමට පෙර නිහඬ වෘතාන්ත චිත්‍රපට හතරක් නිපදවී ඇති බව පෙනී යයි. මේ අතරින් රාජකීය වික්‍රමය 1925 මෙරට නිපද වූ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය ලෙස හැඳින්වෙන අතර ඒ. ජේ. නුර්බායි නමැති ව්‍යාපාරිකයකු මෙහි නිෂ්පාදකවරයා ලෙස සැලකෙයි. ගුප්තා නම් ඉන්දීය ජාතිකයකු විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබිණි.

මෙරට මුල්ම විපක්ෂ නායකයා එමෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා පාසල් සිසුවකු ලෙස සිටි යුගයෙහි මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ සිබිල් පිට නමැති බර්ගර් ජාතික තරුණියක සමගය. කෙසේ නමුත් මෙම චිත්‍රපටය ගින්නෙන් විනාශවීම මත මෙය මෙරට තිරගත කිරීමට නොහැකිවීම අවාසනාවකි. එසේ වූ නමුත් මෙය ශාන්තා නමින් ඉන්දියාවේ හා සිංගප්පුරුවෙහි තිරගත කළ බවට සාධක ඇත.

රාජකීය වික්‍රමයෙන් පසු තවත් නිහඬ වෘත්තාන්ත චිත්‍රපට තුනක් මෙරට නිපදවී තිබේ. ඩබ්. දොන්. එඩ්වර්ඩ් අධ්‍යක්ෂණය කර 1936 තිරගත කළ පළිගැනීම, වර්නන් ජයවර්ධන අධ්‍යක්ෂණය කර 1946 තිරගත කළ සරදියෙල්, ඩි. වී. එඩ්වර්ඩ් පෙරේරා අධ්‍යක්ෂණය කළ 1946 ප්‍රදර්ශනය වූ සිරිසඟබෝ මෙම චිත්‍රපට හතරය. මේ අනුව මෙරට නිපදවා තිරගත කළ මුල්ම චිත්‍රපටය ලෙස අපට පළිගැනීම චිත්‍රපටය නම් කිරීමට සිදුවෙයි.

මෙවන් වාතාවරණයක් මධ්‍යයේ හතළිහ දශකයේ මෙරට මුල්ම කතානාද චිත්‍රපටය නිපදවීම සඳහා කිහිප දෙනකු අතර වූ තරගයක් දැකගත හැකි විය. එන්. තුරෙයිසිංහම් හා කොලින් විජේසූරිය දිව්‍යමය ප්‍රේමය නමින් චිත්‍රපටයක් නිපදවීම සඳහා මුලින්ම ඉන්දියාවට ගිය අතර එස්. එම්. නායගම්, ශාන්ති කුමාර් සෙනෙවිරත්න සමග එක්ව අසෝකමාලා චිත්‍රපටය නිපදවීම පිණිස කටයුතු කරගෙන යෑමේදී චිත්‍රපටයේ අධ්‍යක්ෂණය තමාහට ලබා නොදීම ගැන උරණ වූ ශාන්ති කුමාර්, නායගම් වෙතින් ඉවත්ව තමා ලියූ අසෝකමාලා කතා පිටපත ද සමග සිලෝන් තියටර්ස් සමාගමේ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මහතා මුණගැසී ඔහුගේ නිෂ්පාදන දායකත්වය අසෝකමාලා සඳහා ලබාගැනීමට සමත් විය. මෙහිදී අසෝකමාලා නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ගිලිහි යෑමෙන් නොනැවතුණු නායගම් ඒ වනවිට රටපුරා ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලූ බී. ඒ. ඩබ්. ජයමාන්න ප්‍රමුඛ මීගමුව මිනර්වා නාට්‍ය සමාගම සමග සම්බන්ධ වූවේ ඔවුන්ගේ කඩවුණු පොරොන්දුව නමැති ජනප්‍රිය නාට්‍යය චිත්‍රපට ගතකිරීමේ අවස්ථාව උදාකර ගනිමිනි.

සිංහල සිනමාවට හෙටට 77යි
කඩවුනු පොරොන්දුව

මේ අනුව පළමුවන සිංහල චිත්‍රපටය සඳහා ඇතිවූයේ තරගයකි, ඉන්දියාවේ චිත්‍රාගාර තුනක සිංහල චිත්‍රපට තුනක වැඩ කෙරෙමින් පැවතිණි. අවසානයේදී කලින්ම තරගයට අවතීර්ණ වී සිටි දිව්‍ය ප්‍රේමය යම් යම් ප්‍රශ්න මත තරගයෙන් පසුපසට ගියේ කඩවුණු පොරොන්දුව හා අසෝකමාලා අතර තරගය වඩාත් තියුණු තරගයක් බවට පත් කරමිනි. අවසානයේ දී නායගම්, බී. ඒ. ඩබ්. ජයමාන්න ඇතුළු පිරිසට ජය අත්වූවේ කඩවුණු පොරොන්දුව ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලෙස 1947 ජනවාරි 21 වෙනිදා ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්ලි සිනමාහලේ තිරගත වීමත් සමගය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජේ. සිංහ නම් ඉන්දියානු අධ්‍යක්ෂකවරයා මේ සමගම මෙරට කතානාද සිනමාවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙස සිය නම ඉතිහාසයට එක් කළ අතර බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න, පීටර් පීරිස්, ජෙමිනි කාන්තා, ස්ටැන්ලි මල්ලවආරච්චි, රූපා දේවි, ජේ. බී. පෙරේරා, ඇසිලින් බාලසූරිය, ජෝ ජයකොඩි, හියුගෝ ප්‍රනාන්දු, ව්ව්ලින් බාලසූරිය, බර්ට්‍රම් ප්‍රනාන්දු, වීඩා පෙරේරා යන අය මෙහි රඟපෑ නළු නිළි පිරිස අතර වූහ. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නාරායන් අයියාර් නම් ද්‍රවිඩ ජාතික සංගීතඥයෙකි. මෙය ලැබූ ජනප්‍රියත්වය කෙසේද යත් කොළඹ කිංස්ලි සිනමාහලේ දින 127ක් තිරගත වූ බව සඳහන්ය. මෙය ලැබූ ජනප්‍රියත්වයත් සමග බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න මේ සමගම සිංහල සිනමාවේ තාරකා බවට පත්වීම ද මෙහිදී අමතක කළ නොහැක. පළමු සිංහල කතානාද චිත්‍රපටය වීමේ තරගයට අවතීර්ණ වී සිටි සිලෝන් තියටර්ස් සමාගම නිපදවූ අශෝකමාලා 1947 අප්‍රේල් මස 09 දින මෙරට දෙවන කතානාද සිංහල චිත්‍රපටය ලෙස තිරගත කිරීම ඇරඹිණි. මෙය අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්න සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිංහල ජාතිකයා ලෙස සිංහල සිනමා ඉතිහාසයට මේ සමග එක්විය. කෙසේ වුවද ඉන්දීය ජාතික ටී.ආර්. ගෝපු ද මෙය ඔහු සමග සම අධ්‍යක්ෂණය කර ඇති බව වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම අශෝකමාලා චිත්‍රපටය සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථමවරට ඉතිහාස කතා පුවතක් තේමාව කරගත් චිත්‍රපටය ද විය. මීට අමතරව මෙහි සංගීත අධ්‍යක්ෂණය ගැන කතා කිරීමේ දී මොහොමඩ් ගවුස් මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ අතර අමරදේව හා මොහිදීන් බෙග් මුලින්ම සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වන්නේ ද අශෝකමාලා තුළින් වීමද විශේෂය. කඩවුණු පොරොන්දුව හා අශෝකමාලා සමගින් මෙරට සිනමාවේ මුල් දශකය වූ හතළිහ දශකයේ තිරගත වූ සිංහල චිත්‍රපට ගණන හතකි. ඒ 1947 දෙකක්, 1948 දෙකක් හා 1949 තුනක් ද වශයෙනි. කලින් පළමු සිංහල කතානාද චිත්‍රපටය වීමේ තරගයට අවතීර්ණ වී සිටි දිව්‍යමය ප්‍රේමය අවසානයේ තිරගත වූවේ හතරවන චිත්‍රපටය වශයෙනි. ඒ 1948 වසරේය. අධ්‍යක්ෂකවරුන් ලෙස එමෙන්ම ජේ. සිංහ චිත්‍රපට තුනක්, ශාන්ති කුමාර්, ටී. ආර්. ගෝපු, කේ. සුබ්‍රමනියම්, ඩී.එස්. බාබු, එන්.වී ජවේරි, සිරිසේන විමලවීර එක චිත්‍රපටය බැගින් දශකය තුළ අධ්‍යක්ෂණය කර තිබිණි.

ඉන්පසු එළඹී පනහ දශකය සිංහල සිනමාව ක්‍රම ක්‍රමයෙන් හිස එසවීම ආරම්භ කළ දශකය ලෙස හඳුන්වතොත් එය නිවැරදිය. මේ අතරින් 1951 මාර්තු මස 09 දින සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ සීදේවි චිත්‍රපටය තිරගත වීමත් සමගින් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ මූලිකත්වය ගත් සිනමාහලක් වූ මරදානේ ගාමිණි සිනමාහල විවෘත කෙරිණි. එමෙන්ම එම වසරේම මැයි මස 20 දින බී.ඒ.ඩබ්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ සැඟවුණු පිළිතුර සමගින් සිලෝන් තියටස් සමාගමේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ මූලික සිනමාහලක් වූ වැල්ලවත්ත රොක්සි සිනමාහල විවෘත වීමද විශේෂය.

සිංහල සිනමාවට හෙටට 77යි
නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ගොළු හදවත තිරගත වූදා විමලසිරි පෙරේරා (සරසවිය එදා කර්තෘ), චිත්‍රා බාලසූරිය (පරසතු මල් නිෂ්පාදක) ඉන්දිරා ගාන්ධි මැතිනිය, එඩ්වින් හේවාකපුගේ (සාමා නිෂ්පාදක), ලෙස්ටර් ජේම්ස් පීරිස් (අධ්‍යක්‍ෂක), සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව අධ්‍යක්‍ෂක)

මෙතෙක් මෙරට චිත්‍රපට ඉන්දීය චිත්‍රාගාර තුළ නිෂ්පාදනය කළ ද මෙරට චිත්‍රාගාරයක ඉදිකළ පළමුවැනි සිංහල චිත්‍රපටය මෙන්ම ලංකාවේ සම්පුර්ණයෙන්ම දර්ශන රූගැන්වීම් හා කාර්මික කටයුතු සිදුකළ චිත්‍රපටය ලෙස 1952 තිරයට පැමිණි බණ්ඩා නගරයට පැමිණීම සඳහන් කළ හැක. 1953 වසර මෙරට සිනමාවට තවත් වැදගත් වසරකි. ඒ කැලෑහඳ හා සුජාතා චිත්‍රපට මෙන්ම ලතා වල්පොලගේ සිනමා ආගමනය සිදුවූ වසර ද වීම නිසාවෙනි. මහා ලේඛක ඩබ්. ඒ. ද සිල්වාගේ ජනප්‍රිය කැලෑ හඳ නවකතාව ඇසුරින් සිනමාවට නැගුණු මෙය නවකතාවක් ඇසුරින් සිනමාවට නැගුනු පළමු සිංහල චිත්‍රපටය වූ අතර බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න මෙය අධ්‍යක්ෂණය කළේය. රුක්මණී දේවි ප්‍රධාන චරිතය රඟපෑ අතර ප්‍රධාන නළුවා වූවේ ස්ටැන්ලි පෙරේරා ය. ලක් සිනමාවේ තවත් අමතක කළ නොහැකි නිර්මාණයකි එම වසරේම තිරයට පැමිණි සුජාතා චිත්‍රපටය. මෙරට වාණිජ සිනමාව වෙනත් දිශාවකට යොමු කළ චිත්‍රපටයක් වූ සුජාතා පූර්ව ප්‍රචාරක පටයක් සිංහල සිනමාවට මුල්ම වතාවට හඳුන්වා දුන් චිත්‍රපටය ලෙසද හඳුන්වා දිය හැක. එමෙන්ම වසරේ මැයි මස 27 දින සිලෝන් තියටස් මණ්ඩලයේ තිරගත වූ කැලෑ හඳ චිත්‍රපටයට අභියෝගයක් ලෙස ජුනි 26 සිනමාස් මණ්ඩලය සුජාතා තිරගත කර ඇති බව පෙනී යයි. මෙහි නිෂ්පාදක සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මෙන්ම මෙරට සිනමාවේ තවත් යුග පුරුෂයකු වූ සෝමසේකරන් එදා සුජාතා වෙනුවෙන් ගෙනගිය ප්‍රචාරක උපක්‍රමද මෙහිදී අමතක කළ නොහැක. දින සියයක් ඉක්මවා තිරගත වූ සුජාතා තුළින් මෙරට සිනමාවේ නළු නිළි යුග අතර කියැවෙන මුල්ම යුවළ වන ප්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්ත් යුගය බිහිවිය.

ඒ තාක් දකුණු ඉන්දීය ඌරුවට මෙරට සිනමාවේ ගීත ගායනා කළ ඉන්දීය ගායිකාවන්ගේ හඬට අභියෝගයක් වන්නට දේශීය කටහඬක් ගීත ගායනයේ දී මෙරට සිනමාවට එක්වීම සිදුවූවේද මෙම 1953 වසරේය. ඒ ශාන්ති කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වූ එදා රෑ චිත්‍රපටය තුළින් හෙළ ගීත කෝකිලා ලතා වල්පොල සිනමා ආගමනයයි.

පනහ දශකය ගැන කතා කරන විට 1956 වසර මෙරට සිනමාවේ තවත් සුවිශේෂී වූ වසරකි. එදා මෙදාතුර මෙරට බිහිවූ විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂකවරයා වූ ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ මුල්ම චිත්‍රපටය ලෙස රේඛාව එම වසරේ තිරගත විය. මෙය මෙරට සිනමාවේ සන්ධිස්ථානයකි. සම්පූර්ණයෙන්ම සිනමා කැමරාව චිත්‍රාගාරය තුළින් පිටතට ගෙන එළිමහනේ රූගැන්වීම් කළ චිත්‍රපටය ලෙස මෙය හැඳින්විය හැකි අතර ඇතැම් විදෙස් රටවල ද කතාබහට ලක්වූ රේඛාව විදේශීය චිත්‍රපට උළෙලක් නියෝජනය කළ මුල්ම සිංහල චිත්‍රපටය ලෙස ද සැලකිය හැක. ගාමිණි ෆොන්සේකා මුලින්ම සිනමාවේ පෙනී සිටියේද රේඛාව චිත්‍රපටයේය.

සිංහල සිනමාවට හෙටට 77යි
ගම්පෙරළියට එදා හිමිවූ රණමයුර ජගත් සම්මානය

තවද 1956 වසර තවත් අතකින් වැදගත් වන්නේ මෙරට සිනමාවේ අසහාය ගායකයා වන එච්. ආර්. ජෝතිපාල සිනමාවට කැඳවාගෙන ආ වසර ලෙසිනි. එම වසරේ තිරගත වූ සිරිල් පී. අබේරත්නගේ සුරතලී චිත්‍රපටය තුළින් ඔහු පසුබිම් ගායකයකු ලෙස සිනමාවට අවතීර්ණ විය. ඒ මෙරට සිනමාව මුල් දශක දෙක තුළ පැවති තත්ත්වය විය. කෙසේ නමුත් ඉන්පසු එළඹි හැට හැත්තෑව දශක සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයට අයත්ය. මේ අතරින් හැත්තෑව විශේෂය. 1962 වසරේ මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ ‘රන්මුතු දූව’ මෙරට නිෂ්පාදනය වූ සම්පුර්ණයෙන්ම වර්ණයෙන් නිපදවූ චිත්‍රපටය විය. මීට පෙර ගම්පෙරළිය, දෛවයෝගය, සංදේශය, පිරිමියෙක් නිසා වැනි චිත්‍රපටවල රඟපා තිබූ නමුත් ගාමිණි ෆොන්සේකා කතානායකයකු මෙන්ම වීරයා ලෙස ඉස්මතු වූවේ මෙම චිත්‍රපටයෙනි. 1965 නවදිල්ලියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස ලෙස්ටර්ගේ ගම්පෙරළිය චිත්‍රපටය රණ මයුර සම්මානය දිනා ගැනීම මෙරට සිනමාවේ විශේෂතම සන්ධිස්ථානයකි. ඉන්පසු රන්සළු, පරසතු මල්, දෙලොවක් අතර, සත් සමුදුර, නිධානය, වැලිකතර, අහස් ගව්ව, හුලවාලි, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගැහැනු ළමයි, සරුංගලේ, වැනි නිර්මාණ මෙන්ම ආත්ම පූජා, චණ්ඩියා, සූරයන්ගෙත් සූරයා, ධීවරයෝ, සූර චෞරයා, හතර දෙනාම සූරයෝ, තුෂාරා, සංගීතා, නිල්ල සොයා, චණ්ඩි පුතා, චණ්ඩි ශ්‍යාමා, ආශා දෑසින්, ටිකිරා, හිඟන කොල්ලා වැනි ආදායම් වාර්තා බිඳ හෙලූ වාණිජ චිත්‍රපට බිහි වූයේද මෙම දශක දෙක තුළය. මාලිනි ෆොන්සේකා දෙවරක්ම අන්තර්ජාතික ඇගයීමට ලක්වීමද මෙම යුගය තුළ සිදුවීම අමතක කළ නොහැක.

මෙම යුගය තුළ ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සම්මානනීය අධ්‍යක්ෂවරුන් කලාත්මක සිනමාවෙන් ජාත්‍යාන්තර ගෞරවයට පත්ව සිටි අතර එවකට ඉන්දියාවේ සුපිරි තරු ලෙස නම් දැරූ, ඉන්දීය වාණිජ සිනමාව සමග සමාන කරන විට එරට සිටි දිලිප් කුමාර්, දේව් ආනන්ද්, රාජ් කපුර්, රාජේෂ් ඛන්නා, ධර්මේන්ද්‍ර, මුම්ටාස්, ආශා පරේක්, වැනි උතුරු ඉන්දීය නළු නිළියන්ද එම්.ජී.ආර්., ශිවාජි, ජය ලලිතා වැනි දකුණු ඉන්දීය නළු නිළියන්ද අභිභවා යෑමේ හැකියාවක් ඉතා අවම පහසුකම් යටතේ තම රංග ප්‍රතිභාව විදහා දැක්වූ ගාමිණී, ජිවරානි, සන්ධ්‍යා, ජෝ, මාලිනි, විජය, ටෝනි වැනි අපගේ නළු නිළියන් සතුව තිබූ බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. හින්දි සිනමාවේ ගිනි සිළුව ලෙස එදා හැඳින්වූ සුපිරි නිළි වෛජයන්තිමාලා මෙරට චිත්‍රපට කිහිපයක් නැරඹීමෙන් පසු පැවසුවේ ටෝනි රණසිංහ වැනි නළුවකු හට හින්දි භාෂාව උගන්වා එරට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලබා දුනහොත් එරට කිසිදු නළුවකු හට ඔහු අභිබවා යෑමේ හැකියාවක් නොමැති බවය. තවද රන්මුතුදූව නැරඹීමෙන් පසු සුපිරි නළු එම්.ජි.ආර්. වරක් අපගේ විජය කුමාරතුංග හට පවසා ඇත්තේ එවන් චිත්‍රපටයක රඟපෑමට තරම් තමා වාසනාවන්තයකු නොවන බවය.

එම යුගයේ මෙරට විනෝද මාධ්‍ය වශයෙන් ජනතාව අතර තිබූ ප්‍රධානතම මාධ්‍යය වූවේ සිනමාවයි. ගුවන් විදුලිය අනෙක් විද්‍යුත් මාධ්‍යය විය. මේ හැරුණු විට පැවතියේ පොත්, පුවත්පත්, සඟරා වැනි මුද්‍රිත මාධ්‍ය පමණි. මේ අනුව පවුල් පිටින් චිත්‍රපට නැරඹීමට යෑමේ උප සංස්කෘතියක් මෙරට පැහැදිලිවම දක්නට තිබිණි. මෙය එකල දුර බැහැරක විනෝද ගමනක් යෑම හා සමාන වූ අතර එකල මෙරට පැවති සමාජ, ආර්ථික තත්ත්වයද මෙයට මහත් රුකුලක් විය. එමෙන්ම එම යුගයෙහි විශේෂයෙන්ම හැත්තෑව දශකයෙහි පැවති ආවෘත ආර්ථිකය තුළ බියකින් සැකයකින් තොරව චිත්‍රපට නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කිරීමට නිෂ්පාදකයෝ බිය නොවූහ. චිත්‍රපට සංස්ථාව 1972 පිහිටුවීමෙන් පසු 1976 චිත්‍රපට බෙදා හැරීමටද සංස්ථාව පියවර ගැනීම නිසා නිෂ්පාදකයන් හට තම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමේ බාධක නොවිය.

සිංහල සිනමාවට හෙටට 77යි
රණමයුර සම්මානයේ කීර්තිය බෙදාගනිමින් ගම්පෙරළියේ නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ, සුමිත්‍රා පීරිස්ද මෙහි වෙති

කෙසේ නමුත් හැත්තෑව දශකයෙහි අග වසර කිහිපය වන විට සියල්ල වෙනස් වන්නට පටන් ගැනීම ඇරඹිණි. 1977න් පසු විවෘත ආර්ථිකය ආරම්භ වී 1979 වසරේ රුපවාහිනි විකාශයන් ආරම්හ වීම මෙහි මුලාරම්භය ලෙස සැලකිය හැක, මේ අනුව ජනයා රූපවාහිනියට ක්‍රමයෙන් හුරුවන්නට පටන් ගත් අතර එහි චිත්‍රපට පෙන්වීම ආරම්භ කිරීමත් සමග තවත් රසික ප්‍රමාණයක් සිනමාහලට ගොස් චිත්‍රපට නැරඹීමෙන් ඈත්වීම සිදුවිය. විවෘත ආර්ථිකය සමගින් අසුව දශකය මුල පමණ වන විට වීඩියෝ යන්ත්‍ර මෙරට සුලභ භාණ්ඩයක් බවට පත් වීම මත විශේෂයෙන්ම හින්දි, ඉංග්‍රීසි, ද්‍රවිඩ වැනි තමන්ට අවශ්‍ය චිත්‍රපට තෝරා ගෙන නැරඹීමේ අවස්තාවද ජනතාවට හිමි විය. මේ යටතේ ඇතැම් වීඩියෝ යන්ත්‍ර හිමිකරුවන් තමාගේ නිවසේ හෝ යම් කුඩා කාමරයක වැනි ස්ථානයක සුළු මුදලක් අයකර හින්දි, ඉංග්‍රීසි, දමිළ චිත්‍රපට පෙන්වීමද සිනමාහල්වලින් ප්‍රේක්ෂකයන් ඉවත් වීමට තවත් හේතුවකි. ආර්ථිකය වීවෘත වීම මත මුදල් ඉපයීම සඳහා ද වෙනත් මාර්ග වීවෘත වීම හේතුවෙන් චිත්‍රපටයක් සඳහා මුදල් යොදවා එයට ආයෝජනය කළ මුදල නැවත ලබා ගැනීම පිණිස ඒ වනවිට දිග ඇදෙමින් පැවති චිත්‍රපට පෝලිමෙහි තම චිත්‍රපටය තවත් වසර කිහිපයක් තබා ගනිමින් ප්‍රදර්ශන වාරය එන තෙක් බලා සිටින්නට නිෂ්පාදකයන් සූදානම් නොවිණි. මෙයට හොඳම නිදසුනකි 1978 වසරේ නිෂ්පාදනය සඳහා චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචිව තිබූ චිත්‍රපට 200කට වැඩි ගණන 1979 වසරේ හැටකටත් අඩු ලෙස පහත වැටීම. 1980 වසරේ මෙය 31 දක්වා තව දුරටත් පහත වැටීම මගින් මෙහි අවාසනාවන්ත තත්ත්වය මැනවින් පෙන්නුම් කළේය. ඇත්තෙන්ම මෙරට සිනමා කර්මාන්තයේ බිඳ වැටීමේ පදනම දැමුණු අවාසනාවන්තම දශකය ලෙස අසූව දශකය නම් කළහොත් එය නිවැරදිය, මෙසේ වසර ගණනක් මෙරට සිනමාව වර්ණවත් කළ නිෂ්පාදකයන් රැසක්ම සිනමාවෙන් ඉවත් වීම මත කර්මාන්තය රැකගැනීම උදෙසා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සිදුවූවේ සිනමා ශිල්පින් හටය. මේ යටතේ එච්. ආර්. ජෝතිපාල, මාලිනි ෆොන්සේකා, අනෝජා වීරසිංහ, සෝනියා දිසා, විජය කුමාරතුංග වැනි ශිල්පීන් චිත්‍රපට නිෂ්පාදනයට යොමුවීම අසූව දශකය තුල දැක ගැනීමට ලැබිණි. මෙසේ ක්‍රමයෙන් අසරණ වන්නට පටන් ගත් මෙරට සිනමා කර්මාන්තයට 1983 කළු ජූලිය තවත් මරු පහරක් එල්ල කරයි. ඒ වන විට මෙරට පැවති මරදානේ ගාමිණි වැනි සිනමාහල් රැසක් මෙන්ම මෙරට සිනමාවට ජීවයක් දුන් හැඳල විජය චිත්‍රාගාරය, කොළඹ ලංකා චිත්‍රාගාරය වැනි දැවැන්ත චිත්‍රාගාර ගින්නෙන් විනාශවීම, වැනි අඳුරු සිදුවීම් අමතක කළ නොහැක. රටේ පැවති අඳුරු තත්ත්වය මත කලින් දශකවල ඉතාමත් ජනප්‍රිය සිනමා දර්ශනයක් වූ රාත්‍රී 9.30 දර්ශනය අවලංගු වීම, රාත්‍රී චිත්‍රපට නරඹා නැවත තම නිවෙස්වලට යෑම පිණිස ප්‍රවාහන පහසුකම් නොමැති වීම යන කරුණු ද මේ අතර විය. මීට අමතරව දශකයේ අවසන් වසර කිහිපය තුළ එනම් 1986 පමණ සිට එළඹි දකුණේ භීෂණය ද මෙරට සිනමාව තව තවත් අසරණ කිරීමට හේතු වූවායි පැවසීමට පුළුවන. අසූව දශකය තුළ ක්‍රමයෙන් බිඳ වැටෙමින් පැවති වාණිජ සිනමාව යම් තාක් දුරට උඩට ඔසවා තැබීම පිණිස ප්‍රබල බලකණු දෙකක්ව සිටි ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාල මෙන්ම දශකයේ ජනප්‍රියතම නළුවාව සිටි විජය කුමාරතුංගගේ අභාවයන් කෙටි කලක් තුළ සිදුවීමද මෙම බිඳවැටීම තව තවත් වේගවත් කළේය. මෙම දශකය තුළ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ මල්දෙනියේ සිමියොන් චිත්‍රපටය සඳහා අනෝජා වීරසිංහ නවදිල්ලි සිනමා උළෙලේ හොඳම නිළි සම්මානය දිනාගැනීම කැපී පෙනෙයි. මේ සිහල චිත්‍රපට නිළියක හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්මාන ලැබූ මුල්ම අවස්ථාවය.

සිංහල සිනමාවට හෙටට 77යි
සිංහල සිනමාවට හෙටට 77යි

සිංහල සිනමාවට වසර 77ක් සපිරෙන මෙම අවස්ථාව දෙස බලන විට වත්මන්හි ප්‍රේක්ෂකයන් සිනමාවෙන් දුරස්වීමට බලපාන හේතු ලෙස වත්මන් ආර්ථිකය යටතේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට දරා ගත නොහැකි ප්‍රවේශ පත් මිල, අතීතයේ චිත්‍රපට ශාලා තුළ පැවති ආසන වෙන් කිරීමේ පන්ති තත්ත්වය ගැලරිය වැනි පන්ති අහෝසි කිරීම, සිනමාශාලා රාශියක් වැසී යෑම, වත්මන් සමාජයීය ප්‍රශ්න මත ජනයාට චිත්‍රපට නැරඹීම සඳහා කාලයක් වෙන් කර ගැනීමේ අපහසුතාව, රාත්‍රී දර්ශන සඳහා විධිමත් ප්‍රවාහන සේවයක් නොතිබීම, සිනමාව තුළ තරු සංකල්පය බිඳ වැටී තිබීම, එදා තිබූ ගාමිණි-සන්ධ්‍යා, ගාමිණි-ජීවරානි, ගාමිණි-අනුලා, ගාමිණි-මාලිනි, විජය-මාලිනි, මාලිනි-තිස්ස, රෝයි-සුමනා වන් තරු යුගල අද දක්නට නැත, අවසන් වරට බිහිවූ ප්‍රබලතම තරු යුගල ලෙස නම් කළ හැකි සනත්-සබීතා යුගයද අවසන්වී මේ වනවිට වසර ගණනාවක් ගෙවී ගොස් ඇත. මීට අමතරව එදා සිටි සුපිරි ශිල්පීන් වෙනුවෙන් ආදේශක බිහි නොවීමද මේ අතර වෙයි, එදා දක්නට සිටි ගාමිණි, මාලිනි, විජය වැනි ආකර්ෂණීය නළු නිළියන් මෙන්ම එච්.ආර්. ජෝතිපාල වැනි ගායකයන්, හොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටවලට පවා දස්කම් අතින් අභියෝග කළ හැකිව සිටි මයික් විල්සන්, ලෙනින් මොරායස් වැනි අධ්‍යක්ෂකවරුන්, හින්දි චිත්‍රපට සංගීතයට අභියෝග කළ සරත් දසනායක වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් වෙනුවට ආදේශක සොයා ගැනීමට අපට තවමත් හැකි වී නැත. එදා නිවසේ සිට නැරඹූ රුපවාහිනිය එල්ල කළ අභියෝගය වෙනුවට වර්තමානයේ අන්තර්ජාලය, යූටියුබ් වැනි මාධ්‍ය ඔස්සේ තම අතේ ඇති ජංගම දුරකථනය මගින් චිත්‍රපට නැරඹීමේ පහසුකම් ඇත, මේ අනුව සිනමාහලකටවී පැය දෙක තුනක කාලයක් චිත්‍රපටයක් නැරඹීමට යොමු කරනු වෙනුවට ගමනක යෙදෙන විට දුම්රියේදී හෝ බස් රථය තුළදී තම කාලය ද ඉතිරිකර ගනිමින් චිත්‍රපට නැරඹීමේ හැකියාව වත්මන් පරපුර සතුය. මෙවන් තත්ත්වයක් යටතේ වුවද වත්මනෙහි ජාත්‍යන්තර ඇගයීමට මෙන්ම සම්මානයට ද පාත්‍රවූ චිත්‍රපට මෙන්ම නළු නිළියන්ද පසුගිය යුගයේ දැක ගැනීමට ලැබිණි. මෙය කලාවක් වශයෙන් සිංහල සිනමාව ලද ජයග්‍රහණයක් බව කිව යුතුය. එමෙන්ම සිනමාහල් රාශියක් වැසී යන සමයක ඉඳහිට හෝ සිනමාහලක් දෙකක් නවීන පහසුකම් සහිතව විවෘත වන අයුරුද දැක ගැනීමට තිබේ. තවද අප විසින් අතපසු කළ තවත් කරුණකි සිනමා සංරක්ෂණාගාරයක් ගොඩනැංවීම, මෙහි අවශ්‍යතාව කීර්තිමත් අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් වසර ගණනාවක සිට මතුකර තිබිණි. එමෙන්ම හැත්තෑව දශකයෙහි පටන්ම මේ සඳහා අදහස් පළවී තිබූ නමුත් එම යෝජනාව ක්‍රියාත්මක නොවීය. මෙසේ සංරක්ෂණාගාරයක් නොමැතිවීම නිසා වටිනා චිත්‍රපට රැසක් අපට අහිමිව ගොස් ඇත. මේ වනවිට ජාතික ලේඛනාගාරයෙහි චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවා ඇති බැව් පැවසෙතත් එය අංග සම්පූර්ණ නොමැති බව ක්ෂේත්‍රය තුළ කෙරෙන කතාබහෙන් පෙනී යයි. එබැවින් ඒ සම්බන්ධයෙන්ද මේ මොහෙතේ තදින් අවධානය යොමු කළ යුතුව තිබේ.

අනිල් වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment