සනීපාරක්ෂක නගර සංකල්පය ශ්‍රී ලංකාවටත්

560

ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් අන්තර්ජාතික වශයෙන් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුවය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආරම්භ කරමින් පාරිසරික සාධක හා මානව සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධතාවය හඳුන්වා දුනි. මේ අනුව ලොව පුරාම සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික සෞඛ්‍ය (Environment Health) වැදගත් ලෙස සලකන ලදී. පාරිසරික යන්න මෙහිදී අදහස් කරන්නේ මානව සෞඛ්‍ය තත්ත්වය නැතහොත් ජීවිත ගුණාත්මක බව තීරණය කරන භෞතික, රසායනික, ජෛව විද්‍යාත්මක, සමාජීය හා සමාජ මනෝ විද්‍යාත්මක ආදී අංශයන්හි එකතුවකි.

 දිනෙන් දිනම විටෙක අභියෝගයටත් මුහුණ පෑමට සිදුවන නාගරීකරණය නිසා පාරිසරික, සමාජ, භෞතික තත්ත්වයන්ට සිදු කරන බලපෑම සුළුපටු නොවේ. ඒ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සනීපාරක්ෂක නගර සංකල්පය ලොවට ඉදිරිපත් කරන ලදී. 1945 දී මෙහි මූලික කරුණ පිළිබඳ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන ලදී. සනීපාරක්ෂක නගර සංකල්පය තුළින් ප්‍රධාන වශයෙන්ම ගම්‍ය කෙරෙන මුඛ්‍යාර්ථය වන්නේ නගරයක වඩාත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යෑම සඳහා අවධානය යොමු කිරීමයි. මෙහිදී නාගරික පරිසරය හිතකර පාරිසරික පද්ධතියක් ලෙස පවත්වා ගෙන යමින් තිරසර සංවර්ධනය කරා යන මාවතට අවතීර්ණ වීමේ හැකියාව තවදුරටත් පූර්ණය කළ යුතුය.

 සෞඛ්‍ය සහ සංවර්ධනය පිළිබඳව අන්තර්ජාතික භූගෝල විද්‍යා සංගමය (International Geographical Union Commission Of Health and Deve;opment Conference on Health issues In Development 1992)  මගින් පෙන්වා දෙන පරිදි නගරයක වඩාත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යෑමට වැඩි අවධානය යොමු කළ යුතු අංශ 06ක් පිළිබඳව සැළකිලිමත් විය යුතුය.

1 භෞතික පරිසරය
 
 2 රසායනික පරිසරය
 
 3 ජීව විද්‍යාත්මක පරිසරය
 
 4 සමාජ පරිසරය
 
 5 ආර්ථික පරිසරය
 
 6 මනෝවිද්‍යාත්මක පරිසරය


 සමාජයක අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය තුළ මෙම අංශ ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම නාගරික පරිසරයක්, ව්‍යුහයක් සනීපාරක්ෂක නගරයක් ලෙස පරිවර්තනය කිරීමේදී මෙම අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ. ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටකට මෙය ආදේශ කර ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට සාපේක්ෂව භෞතික පරිසරය යහපත් මට්ටමක පවතිනු නිරීක්ෂණය කළ හැකිද යන්න ගැටලුවකි. භෞතික පරිසරය යහපත් අයුරින් පවත්වා ගෙන යෑමේදී නගර සැලසුම් හා නිවාස සැලසුම් රටාව ප්‍රධාන තැනක් ගනු ලබයි. විශේෂයෙන්ම ඉඩම් පරිහරණය තුළ ඉඩම් කළමනාකරණය කරමින් සනීපාරක්ෂක වැඩපිළිවෙළක් පවත්වා ගත යුතුය. නාගරීකරණයත් සමග බිහිවන කර්මාන්තශාලාවලින් පිටවන බැර ලෝහ මෙන්ම අපද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම වළක්වාලිය යුතුය. පානීය ජලය පිරිසිදුව පවත්වා ගැනීමට ගෘහස්ථ මළපහ ජලයට එකතු වීම වැළැක්විය යුතු අතර නාගරික අපද්‍රව්‍යය, අපිරිසිදු ජලය කඩිනමින් බැස යෑම සඳහා කාණු පද්ධතිය ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යෑම සිදු කළ යුතුය. එමෙන්ම දැවිතෙල් හා රත් වූ ජලය බැහැර කිරීම ක්‍රමවත්ව උචිත පරිදි සිදු කළ යුතුය.

 නගරය තුළ ජීවත්වන්නා වූ ප්‍රජාවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටීම ජීව විද්‍යාත්මක පරිසරයක මූලිකම ලක්ෂණයකි. ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගෙන යෑමට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කළ යුතු වීම අනිවාර්ය සාධකයකි. පරිසරය දූෂණය වැළැක්වීම, රෝග වාහකයන් සහ රෝග කාරකයන් හඳුනා ගැනීම, හොඳ මහජන සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සන්නිවේදන ජාලයක්

 ගොඩනැඟීම සහ එය ඵලදායීව ක්‍රියාත්මක කිරීම, නාගරික සත්ත්ව ප්‍රජාව ක්‍රමවත්ව පාලනය කිරීම, සමබර තුලිතතාවයකින් යුතු භෞතික පරිසරයක් ගොඩනැඟීම මේ යටතේ ක්‍රියාත්මක කළ හැකිය.

 සනීපාරක්ෂක නගර සංකල්පය තුළදී භෞතික පරිසරය මෙන්ම මානව පරිසරය ද ව්‍යුහීය වශයෙන් කේන්ද්‍රගත වේ. මානව ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය කිරීමත්, එය සමබරව පවත්වා ගෙන යෑමටත් නගරය තුළ මනා සංවිධානාත්මක ක්‍රමවේදීය පද්ධතියක් සැලසුම් කිරීම යෝග්‍යය. නාගරික ප්‍රජාවගේ සුහදත්වය වර්ධනය කරමින් ජනවාර්ගික අර්බුදවලට නොයා සාමය, සමගිය වැනි මානුෂීය ගුණාංගයන් වැඩි වර්ධනය කිරීම අත්‍යවශ්‍යමය. සමාජ දේශයේ යහපත් මුහුණුවර සූචනය කළ හැක්කේ එතුළිනි. දූෂණ, වංචා, අපරාධ, අපචාර, මනුෂ්‍ය ඝාතනවලට තිත තැබිය යුත්තේ මෙනිසාය. නාගරික ජන පීඩනය අවම කරමින් සහ මානව සංකූලතාවයන් අවම කරමින් ප්‍රජා සෞඛ්‍ය බලගැන්වීම සිදු කළ යුත්තකි. රටක් දිළිඳුභාවයට පත් වීම සඳහා ආර්ථික, දේශපාලන, සමාජීය, භූගෝලීය ආදී සාධක විවිධාකාරයෙන් බලපානු ලබයි. විවෘත ආර්ථිකය තුළ බොහෝ රටවල් සිය නිෂ්පාදන නිර්යාතකරණය කරනු ලබයි. ඒ නිසා නාගරික ජනතාව කුසගින්නේ සිටීම වැඩි ප්‍රවණාතාවයක් වේ. එමෙන්ම ඌන රැකියා නියුක්තිය හා රැකියා වියුක්තිය මගින් දිළිඳුකම ශීඝ්‍රයෙන් වර්ධනය වේ. මේ නිසාම අයහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය වීමට මාර්ගය විවර වේ. නමුත් සනීපාරක්ෂක නගර සංකල්පය තුළ එසේ නොවිය යුතුය. ඒ නිසා මෙම සියලු අංශයන් පිළිබඳව රටක් වශයෙන් අවධානය යොමු කරන්නේ නම් තිරසර සංවර්ධන අරමුණු පහසුවෙන්ම සාක්ෂාත් කරගත හැකිය.

 චතුරිකා ගුණසේකර
 කොළඹ විශ්වවිද්‍යාලය,
 ශ්‍රීපාලි මණ්ඩපය,
 ජනමාධ්‍ය අධ්‍යයනාංශය.

advertistmentadvertistment
advertistmentadvertistment