මිරිහානේ ට‍්‍රාන්ස්පෝමරයක් උඩ විරෝධතා දැක්වූ විදුලි කාර්මික ශිල්පියෙක් විදුලිසර වැදි නසී

498

නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත එදිරිසිංහ පාර ප‍්‍රදේශයේ පිහිටි අඩි 30 ක උසක පිහිටි විදුලි ට‍්‍රාන්ස්පෝමරයක් මත නැඟ විරෝධතාවක නිරතව සිටි තිදරු පියකු ඊයේ (03 වැනිදා) දහවල් 2.00ට පමණ අධිබල විදුලිසර වැදී බිම ඇද වැටී මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාරේ පදිංචිව සිටි රුවන් ප‍්‍රියදර්ශන වීරතුංග නමැති 54 හැවිරිදි විදුලි කාර්මික ශිල්පියෙකි.

විරෝධතා පුවරුවක් ද රැුගෙන ට‍්‍රාන්ස්පෝමරය මත නැග සිටියදී අධිබල විදුලි රැහැනක එම පුද්ගලයාගේ අතක් ගැටී ඇත.

ඒ සමගම පිපිරුම් හඬක් ද සමඟ එම පුද්ගලයා ට‍්‍රාන්ස්පෝමරයෙන් විසි වී බිමට ඇද වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවකු සඳහන් කළේය.

බිමට ඇද වැටීමෙන් පසු එම පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල මහ රෝහලට රැුගෙන ගොස් ඇතත් ඒ වන විට ද ඔහු මියගොස් සිට ඇත.

විදුලිය කැපීම, ඉන්ධන, ගෑස් සහ කිරිපිටි අර්බුද හා සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඇතුළු ගැටලූ පිළිබඳව හා රජය ජනතාවට එරෙහිව ගෙන යන මර්දනකාරී පිළිවෙතට විරෝධය පළකරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇතැයි හෙළි වී ඇත.

මෙම සිදුවීම සිදු වූ ස්ථානයට ඉතා ආසන්නයේ ජනාධිපතිවරයා පදිංචිව සිටින මිරිහාන පැඟිරිවත්ත පාර නිවස පිහිටා ඇති අතර, එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මියගිය අයගේ පුත‍්‍රයා පිටුපසින් දිවවිත් මෙම ක‍්‍රියාව නොකරන ලෙසට පියාට අවවාද කළත්, එය නොතකා ඔහු ට‍්‍රාස්පෝමරය මතට නැඟී විරෝධතාවය පළ කිරීමට යෑමේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයෙවීමෙන් පොලිස් සැරයන් චන්දන (2205*, පොලිස් කොස්තාපල්වරුන් වන සුරංග (92516), අජිත් (95266), කුමාර (60367) ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

සමන් ගමගේ – ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සමීර අබේසිංහ – මහරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment