ගොවි ගැටලුවලට විසඳුම් නොලැබුණොත් මැයි 1 දා ඇමැතිකමෙන් යනවා – රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

131

ගොවි ජනතාවට මතුව ඇති ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා ගත නොහැකි නම් තවදුරටත් රජයේ අමාත්‍ය ධුර දැරීමට නොහැකි බැවින් තමා දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් නායකත්වයෙන් ලබන මැයි 1 වැනිදා සිට ඉල්ලා අස්වන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පෙරේදා (2දා) ලිපියක් යවමින් දැනුම් දුන්නේය.

ගොවි ජනතාවගේ බරපතළ ආර්බුද හා ගැටලූ ගැන මෙතෙක් තමා කළ කිසිදු යෝජනාවක් පිළිබඳව රජය නිසි අවධානය යොමුකර නැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම ගොවීන්ගේ ගැටලූවලට සිංහල අලූත් අවුරුද්දට පෙර හෝ සාධාරණයක් ඉටුකළ හැකි නම් අගය කරන බවත් එහි සඳහන් කර තිබේ. තවද එම ගැටලූවලට අඩුම තරමින් මැයි 01 වැනිදා වන විටවත් විසඳුම් නොලැබේ නම් මෙම තීරණය ගැනීමට සිදුවේ යැයි එහි දැක්වේ.

ඇමැතිවරයා තමා අස්වීමට අදාළ කරුණු සහිතව යවා ඇති පිටු 5 ක ලිපියේ තැනෙක සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය තුළ ගොවි ජනතාව විප්ලවයකට හා අරගලයකට යෑම වැඩි ඈතක නොවන බව තමාට හැෙඟන බවයි. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ආනයනික රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීම නැවැත්වීමට ඔබතුමා ගත් තීරණය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරන ලදි. එම තීරණය ගැනීමේදී බහුතරයක් වූ ගොවි ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වූ බව නොරහසකි. නමුත් අනාගත පරපුර වෙනුවෙන් ඔබතුමා ගත් මෙම තීරණයට මා එකඟ විය. ගොවි ජනතාවගේ අස්වැන්න අඩු නොවන පරිදි කාබනික පොහොර වර්ග ලබා දෙන බව එහිදී කියූව ද (කාබනික ඝණ පොහොර, නැනෝ නයිට‍්‍රජන්, ජෛව දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඞ්, පොස්පේට්* නිසි ප‍්‍රමිතියක් සහිතව එම පොහොර වර්ගවලින් එකක් හෝ දෙකක් පමණක් අතළොස්සකට ලැබුණු බව සිහිපත් කරමි. තවද ලැබුණු කාබනික පොහොර මගින් වගා කළ ගොවි ජනතාවගේ අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවුවහොත් ඊට වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දැනුම් දෙන ලදි. ගොවීන්ට අඩුවන අස්වැන්නට නිසි වන්දියක් ලබා දෙන බවටද පොරොන්දු විය.

එමගින් බලාපොරොත්තු වූයේ ඔවුන් මුහුණ දෙන ගැටලූ කඩිනමින් විසඳා ගැනීම වුවත් අද වනතෙක් එම ගැටලූ නොවිසඳී තිබීම කනගාටුවට කරුණකි.

රසායනික පොහොර භාවිතයෙන් පසුගිය මාස් කන්නවල ලබා ගත් වී අස්වැන්නට සාපේක්‍ෂව මෙවර මාස් කන්නයේ කාබනික පොහොර යොදා ලබාගත් අස්වැන්න 50% සිට 70% දක්වා අඩු වී ඇත.

හෙක්ටයාරයකට සාමාන්‍ය වශයෙන් වී කිලෝ පන්දහසක (5000* නිෂ්පාදනයක් ලබාගත් ගොවීන්ගේ මෙවර මාස් කන්නයේදී වී අස්වැන්න කිලෝ දෙදහස් පන්සියයේ සහ (2500) දෙදහස (2000) දක්වා පහත වැටී ඇත. ඇතැමෙකුගේ නිෂ්පාදනය වී කිලෝ එක්දහස් පන්සියයක් (1500* පමණ වී ඇති බව දැන ගන්නට ලැබුණි. මෙම අස්වැන්න ගොවීන් විසින් ලබාගනු ලැබුවේ පසුගිය කන්නවල ඉතිරි කරගත් රසායනික පොහොර යම් ප‍්‍රමාණයක් සහ ආදේශක වශයෙන් පොල් පොහොර, තේ පොහොර අධික මිලකට මිලදී ගෙන වගාවට යොදමිනි. ගොවි ජනතාව මුහුණ දුන් සැබෑ යථාර්ථය එයයි.

ඔබතුමන්ට ලැබුණු හැටනමලක්‍ෂයක ජන වරමත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී අප ලැබූ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය ඉතා කෙටි කලකින් නැති වී යෑමට ප‍්‍රධානම හේතුවක් වූයේ මෙම කාබනික පොහොර වැඩසටහනයි. එම තීන්දුවෙන් මුළු රටේම ගොවි ජනතාව අසරණභාවයට පත් වූ අතර ගොවි ජනතාව ආණ්ඩුවට විරුද්ධව වීථි බැසීම ආරම්භ වූයේ මේ සමඟයි. මේ සම්බන්ධව ඔබතුමන් වෙතින් වේලාවක් ඉල්ලා සිටින ලදි.

අප ආණ්ඩුව අතිවිශාල ජනවරමකින් පත් වූයේ හුදෙක්ම සෞභාග්‍ය කරා රැුගෙන යෑමේ අරමුණ ඇතුවයි. නමුත් අනපේක්ෂිත සාධක හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණපෑමට සිදුවීම ශෝකාන්තයකි.

අද දක්වාම කාබනික පොහොර වගාව සම්බන්ධව අදාළ නිලධාරීන්හට විධිමත් දැනුවත්භාවයක් ලබා දී නොමැත. එම නිසා ඔවුන්හට කඩිනමින් කාබනික වගාව සම්බන්ධව නිසි දැනුවත්භාවයක් ලබාදී ඔවුන් මගින් ගොවීන් දැනුවත් කිරීම හා පුහුණු කිරීම ක‍්‍රියාත්මක කළ යුතුයි.

මේ වන විට නිසි ප‍්‍රමිතියකින් තොර කාබනික පොහොර නිෂ්පාදනය කර රජයට අලෙවි කර මහජන මුදල් ගසාකෑමක් හා නාස්තියක් සිදුකරමින් පවතී. මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා නිසි ආයතනයක් හා ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට විiාගාර පහසුකම් කඩිනමින් ආරම්භ කළ යුතුය. ජාතික පොහොර වැඩසටහන කිසිදු පාර්ශ්වයකට වෙනස් කළ නොහැකි ශක්තිමත් නීති රාමුවකට යටත් කිරීම, රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට විවෘත කිරීමත් සමඟ ගොවි ජනතාව සූරාකමින් ඉතා අධික මිලට රසායනික පොහොර විකිණීම සිදුකරමින් ඇත. මෙය නියාමනය කඩිනමින් සිදුකළ යුතුව ඇති බව ද එහි දැක්වේ.

රොෂාන් තුෂාර – අරලගංවිල
 

advertistmentadvertistment
advertistmentadvertistment