ශ්‍රී ලංකා කාන්තාවෝ පළමු පිම්ම පහසුවෙන් පනිති

408

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (25 වැනිදා) රාත්‍රී පැවති තරගයේදී ලකුණු 67ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූයේය.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 122ක් රැස් කළ අතර තායිලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.

තායිලන්ත ඉනිම පන්දු වාර 16.2 ක් තුළ නිමා වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14 කට කඩුලු 3 ක් ලබා ගත් අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇය සම්මාන ලැබුවාය.

පන්දු යැවීමේදී ඇයට අනගි සහයක් ලබා දුන් උදේශික ප්‍රබෝධනී ලකුණු 10 කට කඩුලු දෙකක් දවා ගත් අතර චමරි අතපත්තු, කවිශා දිල්හාරි සහ අචිනි කුලසූරිය කඩුල්ල බැගින් දවා ගත්හ.

තායිලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූ එන්. කොන්චරෙන්කායි ලකුණු 18 ක් ලැබුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා පන්දු 32කින් ලකුණු 29ක් රැස්කිරීමට සමත් වූ අතර, නිලක්ෂි සිල්වා පන්දු 20කින් නොදැවී ලකුණු 29ක් රැස්කිරීමට සමත් වූවාය.

නායකා චමරි අතපත්තු ලකුණු 16 කට දුවද්දී දැවී ගියාය.

අබුඩාබිහි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ස්කොට්ලන්තය සමග හෙට (27 වැනිදා) පැවැත්වේ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5කට 122යි

හසිනි පෙරේරා 29, නිලක්‍ෂිකා සිල්වා නොදැවී 29, චමරි අතපත්තු 16, විශ්මි ගුණරත්න 13, අනුෂ්කා සංජීවනී 13, හංසිමා කරුණාරත්න 11, කවීෂා දිල්හාරි 5.

පන්දු යැවීම

චනිදා 3-15-1, ඔනිචා 4-27-1, සුනිදා 2-15-1, සුලී පූර්න් 3-19-1.

තායිලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 16 පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 55යි

එන්. කොන්චරෙන්කායි 18, චනිදා 7, පහන්නිටා මායා 7.

පන්දු යැවීම

උදේශිකා ප්‍රබෝධනී 3-10-2, ඉනෝෂි ප්‍රියදර්ශනී 4-14-3, කවීෂා දිල්හාරි 3-8-1, අචිනි කුලසූරිය 3-7-1,

advertistmentadvertistment
advertistmentadvertistment