දෙගොල්ලක් බේරිලා කාදිනල්තුමා මට චෝදනා කරනවා – කාදිනල්තුමාට ගෝඨාභය පිළිතුරු දෙයි

519

පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තයනට බනින්නෙත් නෑ
ඔවුන් නොඇල්ලූ විමර්ශකයන්ට බනින්නෙත් නෑ

තහනම් කළයුතු සංවිධානවල මට හිතවත් අය සිටියේ නෑ

සීඅයිඩී අධ්‍යක්ෂවරයාට ස්ථානමාරු දුන් කතාව ප්‍රතික්ෂේප කරනවා

ජනපති කොමිසමේ වාර්තාව භාරදීම ප්‍රමාද කළ බව කීම පිළිගන්නේ නෑ

පාස්කු ප්‍රහාරය ස්ලාමීය අන්තවාදීන්ගේ වැඩක්

පාස්කු දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ගැන එම ප්‍රහාරයට මාස ගණනාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළත් අදාළ ත්‍රස්තයන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වූ බවද එම ත්‍රස්තවාදීන් සහ විමර්ශකයන් යන පාර්ශ්ව දෙකේම වගකීම නොසලකා හැරීමට හෝ ඔවුන් වගකීමෙන් නිදහස් කිරීමට මැල්කම් රංජිත් කාදිනල්තුමා කටයුතු කරන ගමන් තමාට චෝදනා එල්ල කරන ආකාරය ගැන මහජනතාව හොඳින් නිරීක්ෂණය කළයුතු බව ද පවසමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25දා) විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පැවැති සැමරුම් උළෙලකට එක්වෙමින් කාදිනල්තුමා තමාට එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය ඊයේ නිකුත් කළේය.

එම ප්‍රහාරය අන්තවාදීන් පරිසක් විසින් සිදු කරන ලද්දක් බව පවසමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමකදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් මට සහාය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට පවා සිදුවෙන බැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව උන්වහන්සේ වෙත මා දන්වා සිටි බව.

මම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල්තුමාට ලබාදීම ප්‍රමාද කළ බවත් ඉතිරි වෙළුම් එතුමාට ලබා නොදුන් බව.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශවලින් කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීමට මා විසින් අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළ බව.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී එම විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එක් උසස් සීඅයිඩී නිලධාරියෙකු සිරගත කිරීමට පවා මා කටයුතු කළ බව.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කල පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි. මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත් ජනාධිපතිවරණයේදී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත් කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය.

කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කල පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාරදෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වැනිදාය. එය මා විසින් අධ්‍යනය කර නීතිපතිවරයාටද යොමුකර 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 01 වැනි දින වනවිට එහි පිටපත් අතිපූජනීය මහනායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබාදීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදුවූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදා දීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.

2019 නොවැම්බර් මාසයේදී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබාදෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත්කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී රිමාන්ඩ් භාරයට පවා පත්කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.

අදාළ සීඅයිඩී අධ්‍යක්ෂවරයා 2017 වසරේ එම ධුරයට පත් කර තිබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් මාස හතකට අධික කාලයක් ඔහු එම තනතුරේ දිගටම කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපය තුළදී එම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්ම සිදුකරන ලද වවුනතිව් ඝාතන, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ එම අධ්‍යක්ෂවරයා යටතේ පැවති සීඅයිඩී යයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් සහරාන් ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගෙන එම ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බව ජනාධිපති කොමිසමද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම අදාළ අධ්‍යක්ෂවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමකි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට මා අපොහොසත් වූ බව කාදිනල්තුමා ඉහත සඳහන් කතාවේදී මට චෝදනා කර සිටියේය. කෙසේ වෙතත් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදු කරන්නේ දේශපාලනඥයන් නොව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව ක්‍රියා කිරීමෙනි. එම ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 93 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දකි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ සීඅයිඩීය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්ෂණය කළ යුතුය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment