එකම පිඟන්වල දෙවිධියක කෑම!

410

මේ සතිය ආරම්භ වූයේ ද පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ සමාජ – දේශපාලන ප්‍රතිචාරවලම දිගුවක් ලෙසය. එක් අතකින් ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සන්ධාන හා දේශපාලන සම්මුතීන් පිළිබඳ පුවත් ඇසෙද්දී ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළෙන බවට චෝදනා ද නැගෙයි. ඔන්ලයින් පනත සම්මත වුවත් එයට අත්සන් කළ කථානායකවරයාට විශ්වාසභංගයක් ගෙනඑන සූදානමක් ගැන ද වාර්තා විය. ඒ සියල්ල යටපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සම්මත කර ගන්නා ලද මහා වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මෙන්ම සිවිල් සමාජ හා ජනතාව අතර ද වූ නිර්දය විවේචනවලට ප්‍රතිචාර දැක්වීමට මහ බැංකු බලධාරීන්ට ද සිදුවී තිබේ. ඉමක් කොනක් නැති චෝදනා හා විවේචන නිසාම මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා තිබීම ද සුවිශේෂ සිදුවීමක් විය. වෘත්තීය ක්‍ෂේත්‍රවල මෙන්ම ජනතාව අතර ද නිර්දය විවේචනයට ලක්ව තිබෙන මෙම වැටුප් වැඩිකිරීම සදාචාරාත්මක නොවන බව මහ බැංකුවේ නිවේදනය හා ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නක් දැයි ඉඳුරා කිව නොහැකි වුවත් එයින් ඔවුන් තුළ කිසියම් චකිතයක් හා කම්පනයක් ඇතිවූ බව අනුමාන කළ හැකිය. මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ආන්දෝලනාත්මක වැටුප් වැඩිවීම කෙසේ අර්ථකථනය කරන්නේ දැයි අපි නොදනිමු. එහෙත් මුදල් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාටම ඒ ක්‍රියාව එකපයින් අනුමත කළ නොහැකි වී තිබෙන බවද ඔවුන්ගේ අදහස්වලින් පැහැදිලි වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන ආකාරයටම මෙරටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ඔහුට ද සිඟමනේ යෑමට සිදුව තිබේ. එහෙව් පසුබිමක, මහ බැංකුව පමණක් සුපිරි වැටුප් හා ප්‍රතිලාභ ලබාගැනීම ප්‍රශ්නයක් නොවේද? මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කර තිබෙන්නේ රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රමුඛ ආයතනය ලෙස මහ බැංකුවට ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් ආර්ථික සැලසුම් සඳහා මඟපෙන්වීමට ය. ඒ සඳහා කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී ඍජුව ක්‍රියා කිරීමට ය. විශේෂයෙන් රාජපක්‍ෂ පාලන සමයේදී මහ බැංකුව විසින් ක්‍රියා කරන ලද ආකාරය සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක් ද ඇත. එපමණක් නොව මෙරටේ ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් රාජපක්‍ෂ පාලනය වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද ඓතිහාසික නඩු තීන්දුවේ, එවක හිටපු මහ බැංකු අධිපතිවරයා ද නම්කර තිබේ. රාජපක්‍ෂවරුන් හා එම මහ බැංකු අධිපතිවරයා අතර වූ දේශපාලන සබඳතාවන් කෙබඳු දැයි රටම දන්නා කරුණකි. කුමක් වුවත් මහ බැංකුව යනු දේශපාලන උපකරණයක් නොව රාජ්‍ය මුදල් හා මූල්‍ය පාලන වගකීම් සුරැකීම සඳහා තිබෙන ප්‍රමුඛ හා එකම ආයතනය ද වේ. එහෙත් මහ බැංකුව පිළිබඳව ජනතාව තුළ යහපත් චිත්‍රයක් නැති බව ද රහසක් නොවේ. දේශපාලන මැදිහත්වීම් හා පුළුල් සමාජ ආර්ථික දැක්මකින් තොරව අයාලේ ගිය ආයතන අතරට මහ බැංකුව ද ඇතුළත් කර තිබුණි. සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සම්බන්ධයෙන් සිදු කෙරෙන අනතුරුදායක බලපෑම් ගැන ද මහ බැංකුව විවේචනයට ලක්ව තිබේ. සේවක අර්ථසාධක අරමුදල භාවිත කරමින් ලුණු සංස්ථාව මිලට ගත් මහ බැංකුව, එයින් ජනතාවට ලබාදුන් ප්‍රතිලාභ මොනවා දැයි ප්‍රකාශ කර නැති බව ද වෘත්තීය සංගම්වල චෝදනාවකි. කුමක් වුවත් විශ්‍රාම වැටුපක් හිමි නැති වැඩ කරන ජනතාවගේ ඉරණම්කරුවා බවට පත්ව තිබෙන විශ්‍රාමිකයන්ගේ ප්‍රාග්ධනය වන සේවක අරමුදල් භාරකාරත්වය හිමි මහ බැංකුව, තමන්ගේ වැටුප් ඉහළ දමා ගැනීම ගැන අද විවාදාත්මක වී තිබේ. මහ බැංකුව ආර්ථික හා සැලසුම් සම්පාදනය වැනි කාර්යසාධනයකට උචිත විශේෂඥයන්ගෙන් සමන්විත පර්යේෂණ ඒකකයක් ලෙස ද පිළිගනු ලබන්නකි. එහෙත් එබඳු විශේෂඥ ප්‍රාමාණිකයන්ට තම වෘත්තීය නිපුණත්වය විශද කිරීමට එම බැංකුව තුළ වාතාවරණයක් තිබේද යන ප්‍රශ්නය ද සමහරු නගති. එබඳු ප්‍රාමාණිකයන්ට සුවිශේෂ වැටුපක් දීම ගැන කිසිවකුට විරුද්ධ විය නොහැකිය. මෙබඳු සුවිශේෂත්වයක් තිබෙන වෘත්තීන් කීපයකම අය අද තමන්ට හිමිවන වැටුප් හා පහසුකම් පිළිබඳව තෘප්තිමත් නොවන බවද මෙහිදී සිහිපත් කළ යුතුය. නිදහස් අධ්‍යාපනය ලබා ජනතා මුදලින්ම පශ්චාත් උපාධි ලබා ගන්නා රටක් වුවත් එබඳු විශේෂඥභාවයක ප්‍රතිලාභ පොදු ජන යහපතට භාවිත කිරීම සම්බන්ධයෙන් නම් අපට ද සෑහීමකට පත්විය නොහැක. මේ හැම දෙයක්ම තමන්ට ලැබුණේ රටෙන් බවත්, තමන්ගෙන් රටට ද යමක් දිය යුතු බවත් මේ බොහෝ අය අමතක කරති. ප්‍රශ්නය තිබෙන්නේ එතැනය.

අද මෙරටේ ජනජීවිත කඩාවැටී තිබෙන ආකාරය මහ බැංකුවේ ආර්ථික විශේෂඥයෝ දැන සිටිය යුතු වෙති. ආහාර සුරක්ෂිතතාව මෙන්ම විරැකියාව පිළිබඳ සැබෑ තොරතුරු ද ඔවූහු දැන සිටිය යුතු වෙති. වෙළෙඳ පොළේ අධිකාරය අතට ගත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන මංකොල්ලය සුළුපටු නැත. ගොවියන්ට වී මිලක් නැත. දුප්පතාගේ පෝෂ්‍යදායී ආහාරය බවට පත්ව තිබුණු බිත්තරයක මිල පොඩි මිනිහාට දරාගත නොහැක. ඒ කිසිවක් පාලනය කළ නොහැකි ඇමැතිවරුන්ගේ විකට කතාවල නම් අඩුවක් නැත. රුපියල් ලක්‍ෂයක් වැටුප් ලබා ගන්නා අයෙක් බද්දට යටත් වුවත් විශාල ධනයක් හා වත්කම් සහිත පිරිසක් බදු ගෙවීම් පැහැර හැර තිබෙන බව ද රටම දනී. දේශපාලන පවුල්වාදය මේ රටට ශාපයක් වූ බව අද බහුතර ජනතාව තේරුම් ගෙන සිටිති. එහෙත් ඒ අපාය තුළ ජනතාව විඳවද්දී කොටසක් පමණක් කා බී සුව පහසු ජීවිත ගෙවීමට කල්පනා කරත් නම්, එය අශිෂ්ට හා අමානුෂික දෙයක් බවද නිසැකය. අපේ මහ බැංකුවේ විශේෂඥයන් රැකගත යුතු වුවත් ඔවුන්ගේ බරත් තම කර මත පටවා ගැනීමට ජනතාව සූදානම් නැති වීම පුදුමයක් ද නොවේ. අද විදුලිය, ඉන්ධන, ගෑස් සඳහා පෝලිම් නැති වුවත් ඒවායේ සුපිරි මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරාගත හැකි ද? විදුලි මාෆියාව ගැන දැඩි විවේචන තිබුණත් ඒ සම්බන්ධ නිලධාරීන් දක්වන ආකල්ප කෙතරම් නිර්දය දැයි පැහැදිලිය. ලක්‍ෂ ගණනක විදුලිය කපා දමා ඇත. එක් විදුලි ඉංජිනේරුවෙක් ජනතාවගේ විදුලිය භාවිතය ගැන කළ අමන යෝජනාව අපට මතකය. ඔහු කීවේ විදුලිය අත්‍යවශ්‍ය නැති බවකි. ඔහුගේ විසඳුම කුප්පි ලාම්පුවකි. මේ වර්ගයේ වෘෂභ නිලධාරීන්ගෙන් විදුලි බිලට සහනයක් ඉල්ලීම සා අඟින් පනා කැපීමක් බඳු නොවේද? කොහොමටත් මැතිවරණ සහන පැකේජයකට විදුලි බිල අඩු කිරීමක් ද ඇතුළත් විය හැකිය.

ජනාධිපති රනිල් එළැඹෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විය හැකි බවට ආණ්ඩුවේ රනිල් පාර්ශ්වය ද විශ්වාසය පළකර ඇත. ඒ මැතිවරණ මෙහෙයුම සඳහා සන්ධානගත වන ආකාරය ද පෙනේ. පොහොට්ටුව සටකපට දේශපාලන පිළිතුරු දෙමින් කෙබඳු ඇඟවීම් කළත්, ඔවුන්ට සිදුවනු ඇත්තේ ද රනිල් සිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පිළිගැනීමටය. රාජපක්‍ෂ කඳවුර අත්හැර ගිය පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටින නව සන්ධානය රනිල් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු ද අරඹා තිබෙනු පෙනේ. එහෙත් පොහොට්ටුවේ සාගර හා නාමල් ඇතුළු අය වෙනම අපේක්‍ෂකයෙක් ගැන කරන ප්‍රකාශය මුළාවක් බව ජනතාවට ද පැහැදිලිය. පොහොට්ටුවෙන් බිඳී ගොස් සිටින නිදහස ජනතා සභාව මෙන්ම උත්තර ලංකා සභාගය රනිල්ට අනුග්‍රහය දැක්වීමට සූදානම් නැති බව කියයි.

එකම පිඟන්වල දෙවිධියක කෑම!

දේශපාලන තිඹිරිගෙයින්ම උපත ලද ස.ජ.බ. සජිත් ප්‍රධාන කණ්ඩායම ද රනිල්ගේ දේශපාලන පසමිතුරන් බවට පත්ව සිටිති. ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන්ගේ පක්‍ෂය රනිල්ට වඩා වෙනස් වන්නේ කෙසේද? යන්න හරියටම පැහැදිලි නැත. සජබයේ දේශපාලන පසමිතුරා රාජපක්‍ෂ කඳවුර බවට කෙරෙන ඇඟවීම් තිබුණත් ඔවූහු ගාලුමුවදොර අරගලයෙන් ඉල්ලා සිටි “ක්‍රමයේ වෙනස” සම්බන්ධයෙන් පෙනී සිටිත් ද?

ජා.ජ.බ. මේ පවතින සාම්ප්‍රදායික දේශපාලන ධාරාවට ප්‍රබල විවේචන එල්ල කළත් ඔවුන්ගෙන් ද ගාලු මුවදොර ජනතා අභිලාෂයන් යථාර්ථයක් බවට පත් කිරීමේ ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත.

ගෝඨාභය, බලයෙන් පහකිරීමට තරම් ප්‍රබල වූ ජනතා හඬ නොතකා හැදෙන සන්ධානවලට වඩා ජා.ජ.බ. ඉදිරියෙන් සිටින බවද පෙනේ. විශේෂයෙන් ජා.ජ.බ. අනුර කුමාර ප්‍රමුඛ කණ්ඩායමට ඉන්දියාවෙන් ලැබුණු නිල ආරාධනය දේශපාලනිකව විමර්ශනය කර බලද්දී තහවුර වන්නේත් ඔවුන්ගේ දේශපාලන භූමිකාවට ඉන්දියාව දක්වන අවධානයයි. 2024 වසරේ ඔවුන් මෙරටේ සැලකිල්ලට ලක්වන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉන්දියාව පිළිගනී. එසේම ඒ දේශපාලන අවකාශය සාධනීය ලෙස භාවිත කිරීම ජා.ජ.බයේ වගකීමය. එ.ජා.පය ප්‍රමුඛ සන්ධාන හා ස.ජ.බ. තවමත් 1971, 88-89 සමග වැඩුණු ඝාතන හා භීෂණ මතක් කරමින් පුන පුනා එකම විවේචනයක් සිදු කළත් අද ජ.වි.පෙ. ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමුවීම ගැන ජනතාව අවධානයෙන් සිටින බව, මේ පටු විවේචන කරන අය වටහාගෙන නැත. ඉන්දියාව පමණක් නොව බටහිර රටවල් ද ජා.ජ.බ. භූමිකාව දෙස විමසිල්ලෙන් සිටියි. ඉන්දියාවට අමතරව ඇමෙරිකාව හා යුරෝපය ද මේ අලුත් දේශපාලන ප්‍රවණතා හඳුනා ගනිමින් සිටින බව අපගේ අදහසය. 2024 දී සිදුවිය යුත්තේ බලයේ සිටින කණ්ඩායම හෝ සන්ධානය පරාජය කිරීමට වඩා වෙනස් දෙයක් බව කල්පනා කරන සෑහෙන පිරිසක් ද සිටිති. දේශපාලනිකව හංවඩු ගැසිය නොහැකි ඒ ජනකොටස්වලට ආමන්ත්‍රණය කිරීමත් ඔවුන් දිනා ගැනීමත් ජනාධිපතිවරණයේ හා මහමැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කරන්නකි.

මේ අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයා සම්බන්ධයෙන් අලුත් දේශපාලන කැලඹීමක් ද ඇරඹෙන අයුරු පෙනේ. ඒ ඉකුත් සඳුදා (26 දා) ස.ජ.බ. මූලිකත්වයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව අත්සන් කෙරෙන විශ්වාස භංග යෝජනාවය. විපක්‍ෂනායක කාර්යාලයේදී ස.ජ.බ. නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිසක් එයට අත්සන් තැබූහ. ඒ අය අතර මහාචාර්ය ජී. එල්. පීරිස් ද විය. කථානායකට එරෙහි වූ එම යෝජනාවට පක්‍ෂව කීදෙනෙක් අත්සන් කරනු ඇද්ද? විශේෂයෙන් මාර්ගගත ක්‍රම සුරක්‍ෂිතතාව පිළිබඳ පනත සම්මත කරගත් ආකාරය මෙන්ම එයට කථානායකවරයා අත්සන් කිරීම සම්බන්ධයෙන් ද විවේචන නැගුණි. දැන් මෙම පනත සම්මත කර නීතියක් බවට පත්ව තිබුණත්, ජාත්‍යන්තර සංවිධාන යළි යළිත් රජයට පෙන්වා දුන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් බවය. ඇමෙරිකානු රාජ්‍ය නියෝජිත පිරිසක් අවධානය කළේත් මෙම පනත සංශෝධනය කළ යුතු බවය. ආණ්ඩුව ද එය පිළිගෙන ඇත. එසේම කථානායකවරයා එයට අත්සන් කිරීම ද ශ්‍රේෂ්ඨාධිකරණය අබියස අභියෝගයට ලක්කර තිබේ.

ඇත්තටම ලහිලහියේ මේ පනත සම්මත කර ගත්තේ ද ආණ්ඩුවේ පැවැත්මට අභියෝගයක් විය හැකි තොරතුරු සමාජගත වීම වැළැක්වීමටය. මේ ආණ්ඩුවේ ගමන්මග මෙන්ම බොහෝ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සාධනීය විවේචන නැති බව අපි දනිමු. ආණ්ඩුව තම ක්‍රියා පිළිවෙළ නිවැරදි කර ගැනීමට උනන්දුවක් නොදක්වන අතරම ඔවුන්ට වුවමනා, හැකි තරමින් මාධ්‍ය පාලනය කිරීම බව ද පැහැදිලිය.

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ජනතාවට ද විවේචනයක් තිබේ. සත්‍යය හා සදාචාරය ද නොතකා සමාජය නොමඟ යවන සමාජ මාධ්‍ය ප්‍රවණතාවක් ද ඇත. එහෙත් අපහාස අසත්‍ය සම්බන්ධ පුවත්වලට එරෙහිව ක්‍රියා කළ හැකි නීති පද්ධතියක් අපට තිබේ. ආණ්ඩුවේ සමහරුන්ට එය ප්‍රමාණවත් විය නොහැකිය. මේ පනතට අත එසවූ අය සමාජයට දෙන පණිවිඩය ද එයයි. දේශපාලන මෙන්ම සාරධර්ම අතින් ද ගරාවැටුණු සමාජයක විනාශකාරී ගමන අපට පැහැදිලිය. එහෙත් මෙබඳු දුෂ්ට පනත් හා මර්දන නීති කෙරෙහි විශ්වාසය තබන පාලකයන්ගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙනු ඇතැයි සිතිය හැකි ද? විශේෂයෙන් මැතිවරණ කල්දැමීම පිළිබඳව ජනාධිපති රනිල්ට එල්ලවන චෝදනා හා විවේචන ද සදොස් යැයි කිව නොහැක. ජයවර්ධන පාලන සමයේදී (1981) පාර්ලිමේන්තුව කල්දමන විට වත්මන් ජනාධිපති ප්‍රබල ඇමැතිවරයෙකි. 2017 දී පළාත් සභා කල් දැමීමේ ක්‍රියාදාමය වෙද්දී රනිල් අගමැතිය. පසුව පළාත් පාලන මැතිවරණය අහෝසි වෙද්දී රනිල් ජනාධිපතිය. මේ ක්‍රියාදමය ඔහු පිළිබඳ සැකයට හේතු වේ. ජනවරමකින් තොරව ජනාධිපති ධුරයට පත්ව, එය නීත්‍යනුකූල වූ නිසාම හිතුමතයට ක්‍රියා කිරීමට ඔහුට ඉඩක් නැති බව අද දේශපාලනයෙන් පිටත නීති හා සිවිල් සාමූහිකවල ද අදහස වී තිබේ. මේ ආණ්ඩුව ආර්ථික වර්ධනය නමැති සළුපට පෙන්වමින් මහජන විරෝධතා මර්දනයටත්, තමන්ට එරෙහි වන විවේචන යටපත් කිරීමටත් දක්වන උනන්දුව ඉතා පැහැදිලිය. අදහස් ප්‍රකාශනය – භාෂණය අපරාධ වරදක් ලෙස කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නොපිළිගනී. 2024 මැතිවරණ භීතිය කෙතරම් උත්සන්න වුවත් දැන් එයට මුහුණ දීමට ඔවුන්ට සිදුවී තිබේ. ඔන්ලයින් පනත, ප්‍රතිත්‍රස්ත පනත මෙන්ම විකාශන අධිකාරි පනත වැනි තොණ්ඩුවලින් සමාජය මෙල්ල කළ නොහැකි බව මේ පාලකයෝ නොදනිත් ද? ඇත්තටම අද සිදුවන්නේ ජනතාව අන්දවන සන්ධාන ගොඩනැඟීමත්, ඇති හැකි අය සැනසීමත්, ඒ සියලු බර පීඩිත ජනතා හිස මත පැටවීමත් නොවේ ද? බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් පැවසූ පරිදිම එකම පිඟන්වල දෙවිධියක කෑමය!

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment