වීසා අවුලේ ආණ්ඩුව පැටලේ!

547

ජනාධිපතිවරණ සූදානම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවදානම!

අද අප බදාදා ලියවිල්ල ආරම්භ කරන්නේ මෙරටේ ශාස්ත්‍ර ලෝකයේ පමණක් නොව සමාජ දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද අභීතව අදීනව හා අප්‍රමාණව ද මැදිහත්වීම් කළ මහාචාර්ය නලින් ද සිල්වා විද්වතාණන්ට අපගේ ගෞරවය ද ප්‍රණාමය ද පුදකරමින්ය. ඔවුන් පිළිබඳව දිවයින පිරිනැමූ උත්තමාචාරය මෙරටේ ජාතික විරුවකුට කෙරෙන ගෞරවයකට, බුහුමනකට සමාන විය. එනිසාම යළිත් ඔවුන්ගේ කාර්යභාරය අරබයා සංක්ෂිප්ත වශයෙන් වුවද ප්‍රශංසනයක් ලිවීම අවශ්‍ය නොවේ. නිසැකයෙන්ම මහාචාර්ය නලින් ද සිල්වාගේ අභාවය සුවිශිෂ්ට පඬි පරපුරක, දාර්ශනික ක්ෂේත්‍රයක ප්‍රබල පුරුකක් ගිලිහී යෑමකි. ඔවුන්ගේ විද්‍යා දර්ශන ඥාන සම්භාරයත් නිර්ව්‍යාජ ජාති මාමකත්වයත් කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැක. සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රදර්ශන විලාසිතාවක් බවට පත් කරගත් සමාජයක ගොදුරු ලොව දුරු කළ දෙස – බස – රැස උදෙසා දිවි හිමියෙන්ම කැප වන පුද්ගලයෝ අතිශය විරලයහ. මහාචාර්ය නලින් , දැයෙන් සමුගෙන යන්නේ එබඳු හිස් අවකාශයක් තබමින්ය. ඔවුන්ගේ සමාජ දේශපාලන භූමිකාව කෙතරම් ආන්දෝලනාත්මක වුවද ඔවුන් කැප වූ ඒ ජාතික සංස්කෘතික මෙහෙවර අද ඇගැයුමට ලක්ව තිබේ. කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවට රැස්වූ කෘතවේදී විද්වතුන් මෙන්ම මහා සංඝරත්නය විසින් ද මහාචාර්ය නලින්ට සිය හෘදයාංගම ගෞරවය ද බුහුමන ද පුද කරන ලද බව අවසන් වශයෙන් සටහන් කර තැබිය යුතුය. එමතු නොව, සිංහල බෞද්ධ සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වය, ආඪ්‍යත්වය මෙන්ම ගම්භීරත්වය ද සුවහසක් ජනතාවට පසක් කර දුන් ඒ සංස්කෘතික සෙන්පතියාණෝ දැයෙන් සමුගෙන ගොස් සිටිතියි යන්න අපට අදට වඩා හෙට දැනෙන බවද ලියා තැබිය යුතුය.

දැන් අපි මේ සතියේ ආරම්භයත් සමඟම සමාජ දේශපාලන අවධානයට යොමුව තිබෙන මූලික කරුණු කීපයක් පිළිබඳව විමසා බලමු. ජනාධිපතිවරණ සූදානම මෙන්ම මේ වනවිට සිදුවන විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව ද සිවිල් සංවිධාන විපක්ෂ කණ්ඩායම් මෙන්ම ප්‍රබුද්ධ පුරවැසියෝ ද විවිධ ප්‍රතිචාර දක්වමින් සිටිති. තවමත් ජනාධිපති රනිල් එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට නිල නිවේදනයක් සිදුකර නැත. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය උදෙසා සිදු කරන දේවල් බව සැඟවිය නොහැක. ප්‍රභූ දේශපාලන කඳවුර තම බලය රැක ගැනීමටත් අනෙක් පක්ෂ ඒ බලය තමන්ගේ අතට ගැනීමටත් දක්වන උනන්දුව ඉතා පැහැදිලිය.

මේ වනවිට ජනාධිපති රනිල්ට ජනතා ප්‍රසාදය ලබාදෙන මෙහෙයුම් කීපයක්ම දැකගත හැකිය. මැයි දිනයටත් පෙර ප්‍රසිද්ධියට පත් කළ වතු කම්කරුවන්ගේ වැටුප රු. 1700ක් කිරීම හා හාල් කිලෝ දහයේ සහන මල්ල වඩාත් කැපීපෙනේ. වතු කම්කරු වැටුප ගැන කෙරෙන ප්‍රශංසා කුමක් වුවත් ඒ ප්‍රතිලාභය කම්කරුවන් අතට කවදා පත් වන්නක්දැයි අපට කිව නොහැක. එසේම ආණ්ඩුවේ හාල් කිලෝ සහන මල්ලට ද සමහර ප්‍රදේශවල ගුල්ලන් ගසා ඇති බවට ජනතාවම චෝදනා කරති. මේවා සාමාන්‍යයෙන් බලයේ සිටින දේශපාලන පක්ෂයක් විසින් සිදුකළ හැකි දේවල්ය. එහෙත් ආණ්ඩුව ඒවා අතර වෙනත් සියුම් දේශපාලන මෙහෙයුම් සඳහා යොමුවන ආකාරයක් ද පෙනේ.

ආණ්ඩුවක් තම බලයත් මහජන මුදල් හා නිලධාරීනුත් යොදවා කිසියම් දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් එය විවාදාත්මක මෙන්ම සදාචාර විරෝධී ද වේ. ආණ්ඩුව පළාත් පාලන බලප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන ප්‍රජා උපදේශක කමිටු සම්බන්ධයෙන් මේ වනවිටත් විවේචන එල්ල වී තිබේ. විපක්ෂ නායක සජිත් ඍජුවම පවසන්නේ මෙය ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයන් වන ආණ්ඩුකාරවරුන් හරහා දේශපාලන ගෝලයන් යොදා ගනිමින් කරන ජාතික අපරාධයක් බවය. පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මෙයට එරෙහිව අධිකරණයට යන බව ප්‍රකාශ කර තිබේ. මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරය මෙන්ම ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සරදම් කළ විලාසය ද තවමත් බොහෝදෙනකුට මතක තිබෙන්නකි. මේ යෝජිත ප්‍රජා උපදේශක කමිටු සඳහා පක්ෂවල හිතවතුන් පත් කිරීම පවා අලජ්ජී ක්‍රියාවකි. පැෆරල් සංවිධානය අවධාරණය කරන පරිදිම පළාත් පාලන ඡන්ද විමසීම කල්දමා තිබුණත් එය තවමත් වලංගුවීම නිසා ඒ අපේක්ෂකයන් වුවද මේවාට පත්විය හැකි බවය.

ජනාධිපති රනිල් මෙබඳු ප්‍රජා කමිටු සඳහා ස්වාධීන පුද්ගලයන් හෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පත් නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒවාට පොහොට්ටුවේ අය පත් කර ගැනීම හා එජාප හිතවතුන් යොදා ගැනීම සිදු විය හැකිය. සජබ නායක සජිත් පවසන්නේ බංකලොත් රටක මෙසේ මුදල් නාස්ති කිරීම අපරාධයක් බවය. අනෙක් අතට මේ ප්‍රජා කමිටු ජනතාවගේ ඉල්ලීමක් ද නොවේ. ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් සැදුම්ලත් පාලන ක්‍රමයක් තිබෙන පසුබිමක ඒ කිසිවක් නොතකා මෙබඳු පිරිසකට බලයක් දීම ප්‍රශ්නයකි. අගමැතිවරයාට අධීක්ෂණය කළ හැකි වුවත් බොහෝවිට ජනාධිපතිගේ අභිමතය අනුව පත්වන ආණ්ඩුකාරවරු කෙසේ ක්‍රියා කරත්ද? මේ ආණ්ඩුකාරවරුන් අතර පරාජිත දේශපාලනඥයෝ ද වෙති. ඔවුන්ට මේ ඡන්ද වැඩ ගැන පාඩම් ඉගැන්වීමට අවශ්‍ය නැත. මේ ප්‍රජා කමිටු සමඟ ගම්වල පස්, වැලි කැපීම් හා වන විනාශය ද සක්‍රිය වන බවද රහසක් නොවේ. ප්‍රජා කමිටුවකට ලක්ෂ 100 බැගින් බෙදන්නේ ද ජනතාවගේ මුදල්ය. සල්ලි නැතුව ඡන්දය කල් දැමූ ආණ්ඩුව දැන් කළ යුත්තේ ඒ මුදල් යොදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නොවේද? කොහොමටත් ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට ප්‍රාදේශීය වශයෙන් මෙම කමිටු පිහිටුවනු ලබන්නේ අය-වැය මඟින් මුදල් වෙන් කර නොමැති පසුබිමක් යටතේ බවද කියයි. ජනතා නියෝජනයක් ලබාගත නොහැකි වන බව දත් ආණ්ඩුව ඒ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයට පිටුපා මෙබඳු දේශපාලන මෙහෙයුමක් කරා යොමුවීම බරපතළ වරදකි. මෙම ප්‍රජා උපදේශක කමිටුවලට අයත් නිල කටයුතු ලෙස ජනාධිපතිවරයාගේ ‘උරුමය’ නමැති ඉඩම් ඔප්පු ලබාදීම, කෘෂි නවීකරණ කටයුතු, ග්‍රාමීය සංවර්ධනය හා ජනතා සහන කටයුතු අධීක්ෂණය ආදිය දැක්වේ. මේවාට අලුතින් නිලධාරීන් අවශ්‍ය නැති බව ආණ්ඩුව ද දනී. දැනට තිබෙන පරිපාලන ආයතන විධිමත් කිරීම වෙනුවට ඒවාට උඩින් මෙබඳු දේශපාලන නඩයක් පත් කිරීමේ සාධාරණය කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දේශපාලන වශයෙන් දූෂිතයන් අතට වුවද පත්වීමට මෙබඳු ක්‍රියාන්විතයකදී නොවැළැක්විය හැකි වන බවද නිසැකය.

මේ අතර සමාජ – දේශපාලන අංශවල දැඩි සංවාදයට හා විවාදයට තුඩු දුන් සුවිශේෂ මාතෘකාවන් ද විය. ඒ මෙරටට එන සංචාරකයන්ට ‘ඔන්ලයින් වීසා’ ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයකි. ඉකුත් 02 වැනිදා කටුනායක ගුවන්තොටුපළ විරෝධතා බිමක් බවට පත්වූයේ මේ වීසා අර්බුදය නිසාය. රූපවාහිනී පුවත්වලින් සජීවී ලෙස ද මුද්‍රිත මාධ්‍යවල ඡායාරූප ලෙස ද මේ කැලඹිල්ල රටටම ප්‍රදර්ශනය කර තිබුණි. බැලූ බැල්මට මෙහි කිසියම් ගුප්ත ක්‍රියාවක් තිබෙන බව අපගේ ද අනුමානයයි. ඇත්තටම මේ අනවශ්‍ය ප්‍රශ්නයක් බව ඒ සිදුවීම් පෙළ හා එයට එල්ල වී තිබෙන චෝදනාවලින් ද පෙනී යයි. මේ වීසා ලබාදීම පැවරුණු සමාගම සම්බන්ධයෙන් ද විවේචන තිබේ. අපට ඒවා ගැන නිශ්චිතව යමක් පැවසිය නොහැක. එහෙත් අපේ ආගමන විගමන නිලධාරීන් විසින් විධිමත්ව, සාර්ථකව කළ වැඩක් සේවාවක් වෙනත් පාර්ශ්වයකට පැවරීම තුළ සැක සංකා දනවන කරුණු ද තිබේ. පෙරටුගාමී පක්ෂයේ ලේකම් මේ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කර තිබේ. එය ආණ්ඩුව – අදාළ ඇමැතිවරයා විමසා බැලිය යුත්තකි.

මේ සම්බන්ධයෙන් අදාළ ඇමැති ටිරාන් අලස් හා විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ විපක්ෂයේම තවත් මන්ත්‍රීවරු කීපදෙනෙක් ද මාධ්‍යවලට අදහස් දැක්වූහ. සජිත්ගේ විවේචනය අනුව මේ වීසා ලබාදෙන ක්‍රමය බරපතළ සැකයකට තුඩුදෙන්නකි. ඔහු සඳහන් කළේ මෙම ක්‍රියාව බැඳුම්කර වංචාව පවා ඉක්මවන එකක් බවට චෝදනා නැඟී තිබෙන බවය. එසේ නිර්දය විවේචනයක් කරන සජිත් මේ සඳහා අනුමැතියක් ලබා දී තිබේ ද යන්නත් විමතිය දනවන කරුණකි. මේ වීසා අර්බුදය සම්බන්ධයෙන් වෙනම මාධ්‍ය හමුවක් කැඳවූ පෙරටුගාමී පක්ෂය ඉදිරිපත් කළ තොරතුරු කිසිවකුට නොතකා හැරිය නොහැකිය. එහි ලේකම් පුබුදු ජාගොඩ ප්‍රසිද්ධියේ කරන චෝදනා ඇමැතිවරයාගේ අවධානයට යොමුවිය යුතුවා පමණක් නොව ඒවා සත්‍යයක්දැයි රටට ද හෙළි කළ යුතුය. පුබුදු ජාගොඩ දැඩිව කියාසිටියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මේ ගනුදෙනුව සිදුවීම බරපතළ වංචාවක් ගැන සැක සංකා ඇති කරන බවය.

ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාදාමය තුළින් ආණ්ඩුව දැඩි අපහසුතාවකට පත්ව තිබෙන බවද පෙනේ. මෙහිදී අපට ද මතුවන සාධාරණ ප්‍රශ්න කීපයක්ම තිබේ. එනම් දසකයකටත් වැඩි කාලයක් විධිමත්ව ක්‍රියාත්මක වූ මෙම වීසා ලබාදීමේ වැඩපිළිවෙළ සමාගමකට හෝ වෙනත් පාර්ශ්වයකට පවරා දීමේ හේතුව කුමක්ද? පැවැති ක්‍රමයේ අඩුවක්, දුර්වලතාවක් හෝ තිබුණිද? කිසියම් වංචාවක් හෝ අනිසි දෙයක් සිදු වූයේද? ඇමැතිවරයා මේ ක්‍රියාව බරපතළ එකක් ලෙස නොදකින්නෙහිදැයි අපි නොදනිමු. පෙරටුගාමීන් හෝ විපක්ෂ නායක සජිත් සිතාමතාම බොරු ගොතමින්, ඒවායින් දේශපාලන වාසි අපේක්‍ෂා කරත්ද? කුමක් වුවත් සංචාරක වීසාවලින් පිටස්තර කවරකුට හෝ ප්‍රතිලාභ, වාසි සලසා දෙන්නේ නම් එය අනීතික මෙන්ම අශිෂ්ට ක්‍රියාවක් බවද අපගේ අදහසය. මෙරටේ බොහෝ ව්‍යාපෘති අලුත් ක්‍රියාකාරකම් දේශපාලන ගජමිතුරන්ට පිරිනැමෙන දූෂිත ප්‍රදානයන් බවට ප්‍රසිද්ධ චෝදනාවක් ද ඇත. මේ වීසා අවුල ගැන විධිමත් හා සත්‍යය විග්‍රයක් රටට ඉදිරිපත් විය යුතුය.

වීසා අවුලේ ආණ්ඩුව පැටලේ!

ආණ්ඩුව මෙබඳු අර්බුද මවා ගනිමින් සිය දේශපාලන ප්‍රතිරූපය පමණක් නොව මහජන ප්‍රසාදයට ද හානි සිදු කර ගන්නා පසුබිමක යළිත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් එන බවට ද දේශපාලන අංශවල කටකතා ද පැතිර යයි. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ජනාධිපති රනිල් හා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් අතර සිදුවී ඇතැයි පැවසෙන සාකච්ඡා විය යුතුය. කුමක් වුවත් මේ හමුවීම්වල අපේක්ෂාව ඒ පක්ෂවල බලය තහවුරු කර ගන්නා උපාය මාර්ග විනා අන් දෙයක් විය නොහැක. සඳුදා (06දා) පැවැති විපක්ෂ මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල පවසා සිටියේ පාර්ලිමේන්තව විසුරුවා හැරීම සඳහා පොහොට්ටුව දැඩි බලපෑම් සිදු කරමින් සිටින බවකි. එහෙත් එළඹෙන මහ මැතිවරණයකින් පොහොට්ටුව සෝදාපාළු වී යන බවද ගම්මන්පිල ප්‍රකාශ කළේය. කුමක් වුවත් දැනට තිබෙන දේශපාලන වාතාවරණය තුළ එබඳු දේශපාලන තීන්දුවක් ගැනීමට ද ජනාධිපති රනිල්ට නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු ඉඩක් ද නැත. එසේම ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට හැකි වුවත් එහි ප්‍රතිඵලය කිසිසේත් ආණ්ඩුවට වාසිදායක වන්නේ ද නැත. ඒ බව ආණ්ඩුව මෙන්ම පොහොට්ටුවේ නායක මහින්ද පවා හොඳින් දනී. මහින්ද තවමත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන ඍජු ප්‍රකාශයක් කර නැත. ඒ පිළිබඳව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට ඔහු දෙන පිළිතුර වන්නේ ද පොහොට්ටුව නොමැතිව ජනාධිපතිවරණය ජයගත නොහැකි බවය. එසේම සිය පුත් නාමල්ට තවත් කාලයක් දිය යුතු බවද ඔහු පවසා තිබේ.

මේ අතර ශ්‍රීල.නි.ප.යේ ද අර්බුද උත්සන්න වෙමින් තිබේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ද සිය පාර්ශ්වකරුවන් සමඟ ඩාලි පාරේ ශ්‍රීල.නි.ප. ප්‍රධාන කාර්යාලයට පැමිණි බවද වාර්තා විය. මේ වන විට පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීට එරෙහිව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාගෙන් ද චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී තිබේ. එහි හරය වන්නේ ද පක්ෂය පාවාදී තිබෙන බවය. දයාසිරිට අනුව එය උඩරට ගිවිසුමෙන් 1815 දී රට පාවා දුන් ක්‍රියාව හා සමාන වූවකි. එසේම ජනාධිපති උණක් තමන්ට වැලඳී නැති බවද ඔහු කියා තිබේ. කුමක් වුවත් ශ්‍රීල.නි.ප.ය දෙකඩ කළ මේ භේදය සමථයකට පත් විය හැකි බවක් ද කිව නොහැක. බොහෝ විට අධිකරණ ක්‍රියාදාමයක් අනුව පක්ෂයේ නිල අයිතිය කවර පාර්ශ්වයකට ලැබුණත් ඔවුන්ට මේ දේශපාලනය තුළ ඉදිරි ගමනක් නැති බවද පැහැදිලිය. දැනට සිදුවී තිබෙන සමීක්ෂණවලට අනුව වුවද ශ්‍රීල.නි.ප.යට සියයට එකක ජනප්‍රසාදයක් හෝ නැති බව කියති. එසේම අවසාන විග්‍රහයේදී එ.ජා.ප., ශ්‍රීල.නි.ප. හා ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින පොහොට්ටුව එක කඳවුරකට එනු ඇද්ද යන්නත් නිශ්චිතව කිව නොහැක. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ ජා.ජ.බ. නායක අනුර කුමාරය. ඔහු ජන වහරේ එන උපමාවක් ද යොදා ගනිමින් කීවේ, මහා ගංවතුරකදී විපතට පත්වන නයි – මුගටි ආදී ජන්ම විරුද්ධ සතුන් පවා දිවි ගලවා ගැනීම සඳහා පාවෙන ලී කොටයකට ගොඩවන්නා සේම, මේ සියලු ප්‍රභූ දේශපාලන තන්ත්‍රයම තම දේශපාලන අනතුර වළක්වා ගැනීමට එබඳු එක් පෙළකට ගොඩවිය හැකි බවය. එහි පෙනෙන සත්‍යයක් හා යථාර්ථයක් ද තිබේ.

මේ වනවිට දේශපාලන භූමිය තුළ ජා.ජ.බ. එක් පිලක් ලෙසත් ඔවුන් හා කරට කර සිටින ස.ජ.බ.ය මෙන්ම අනෙක් සියලුම දේශපාලන පක්ෂ හා සන්ධානත් අතර සටන් පවතින ආකාරයක් ද පෙනේ. ආණ්ඩුව පොහොට්ටුව පමණක් නොව ස.ජ.බ.ය ද මාලිමාවට එරෙහිව දැඩි චෝදනා හා විවේචන සිදු කරමින් සිටියි. දින කීපයකට පෙර ස.ජ.බ.යේ ක්‍රියාකාරිකයකු වන අජිත් පෙරේරා පවසා තිබුණේ ජ.වි.පෙ. සන්නද්ධ ක්‍රියාවලියකට සූදානම් වන්නේ ද යන සැකය මතුවී තිබෙන බවය. මෙය බරපතළ චෝදනාවක දෝංකාරයකි. ආණ්ඩුව වහාම ඔහුගේ සැකයට තුඩුදී තිබෙන හේතු විමසා බැලිය යුතුය. ජ.වි.පෙ. ඇතැම් දේශපාලන ප්‍රකාශ පදනම් කර ගනිමින් විවිධ විවේචන පමණක් නොව බියකරු රකුසන් මවන ආකාරයක්ද දැකගත හැකිය. කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පිටින් පැන බලය උදෙසා කවරකු හෝ යොමු වන්නේ නම් ඒවා වැළැක්වීමේ වගකීම තිබෙන්නේ ද මේ ආණ්ඩුවටමය.

කුමක් වුවත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වන එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. මෙන්ම එයින් බිඳී වෙනම දේශපාලන බලයක් ගොඩනඟා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ද අද දේශපාලන තැතිගැන්වීමකට ලක්ව සිටියි. ස.ජ.බ. හා ජා.ජ.බ. දෙකම මේ ප්‍රභූ දේශපාලනයට අභියෝගයකි. එසේ වුවද මෙම පක්ෂ දෙකම තවමත් සිය සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කුමක්දැයි ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කර නැති බවද කිව යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment