තෙවැනි දරුවා බිහිකළ ආසාදිත මව ගම්පහ දැඩි සත්කාරයේ දී මරුට

261

කොරෝනා ආසාදිත වූ මවක් සිසේරියන් සැත්කමෙන් තම තුන්වැනි දරුවා බිහිකර දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියයෑමේ ශෝචනීය සිද්ධියක් ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී. පී. ආර්. පී. රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

ගම්පහ, මාකවිට ප‍්‍රදේශයේ පදිංචි දිලිනි මධුරංගි සොයිසා නමැති තිස්එක් හැවිරිදි තිදරු මව මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මියගිය මව උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් ගම්පහ පෞද්ගලික රෝහලකට ඉකුත් 15 වැනිදා ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඞ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ. දරු දෙදෙනෙකු සිටින තම බිරිඳව ඉන් අනතුරුව ඉකුත් 17 වැනිදා ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් පසුව ඉකුත් 21 වෙනිදා රෝහලේ වෛද්‍යවරුන් බිරිඳට සිසේරියන් සැත්කමක් සිදුකර දරුවාට මෙලොව එළිය දැකීමට ඉඩ සැලසූ බව මරණකාරියගේ සැමියා වන ලක්ප‍්‍රිය හෙට්ටිආරච්චි මහතා හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි දෙමින් පැවසීය. ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 29 වෙනිදා දිලිනි මහත්මිය මියගොස් තිබූ බවට හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මියගිය එම මවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. ඞී. ගුණතිලක මහතා විසින් පවත්වා ඇති අතර කොවිඞ් නියුමෝනියා රෝගය උත්සන්න වීමෙන් එම මරණය සිදුවී ඇති බවට නිගමනය කර තිබුණි. මියගිය දිලිනි මහත්මියගේ අවසන් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව මඩකලපුව, ඔට්ටමාවඩි පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙසට හදිසි මරණ පරීක්ෂක රාජපක්ෂ මහතා නියම කළේය. මියගිය දිලිනි මධුරංග සොයිසා මහත්මිය බිහිකළ පිරිමි දරුවා නිරෝගීව සිටින බව ගම්පහ රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment