හේනෙපොළ ගුණරතන හිමිගේ 70 වසරක ධර්ම දූත සේවයට මුද්දරයකින් උපහාර

102

තුම්පනෙන් ඇමෙරිකාවට වැඩි සඟරජ ග්‍රන්ථයේ දෙවැනි කොටස එළි දකී…

මෙරට ඉතිහාසයේ 2509ක් මුද්දර නිකුත් විය…

පුද්ගල චරිත වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කරන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය මතයි…

1837 වර්ෂයේ දී ශ්‍රීමත් රෝලන්ඩ් හිල් විසින් බි්‍රතාන්‍යයේ රාජකීය තැපැල් සේවා ආයතනයට ඉදිරිපත් කරන ලද තැපැල් ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් මගින්, තැපෑල හරහා ලිපි බෙදාහැරීම සඳහා ගාස්තු අයකර ගැනීමේ දී එම ගෙවීම් සනාථ කෙරෙන රිසිට් පතක් වෙනුවට ඒ, ඒ මිල ගණන් දැක්වෙන සංකේතාත්මක නිර්මාණශීලී කුඩා සහතික පතක් අදාළ ලිපි කවරයේ අලවා යැවීමත්, එය භාවිත කළ පසු දින මුද්‍රාවකින් අවලංගු කිරීමත් හඳුන්වාදෙන ලදී. එම යෝජනාවලියට අනුව 1840 වර්ෂයේ මැයි මස 05 හෝ 06 ලොව ප්‍රථම මුද්දරය නිකුත් විය. එංගලන්තයේ දී නිකුත් කරන ලද ලොව ප්‍රථම තැපැල් මුද්දරයේ සිදුරු විදමන් සහිත දාර නොවීය. කතුරෙන් කපා වෙන් කර තිබිණි. එමෙන්ම එංගලන්ත නාමය ද සඳහන් නොවිණි. එම සම්ප්‍රදාය මේ දක්වා බි්‍රතාන්‍ය මුද්දරවල දකින්නට ලැබීම විශේෂත්වයකි.

ලොව ප්‍රථම මුද්දරයට බි්‍රතාන්‍ය මහ රැජිනගේ උඩුකය සිත්තම් කළ හෙන්රි කොබෝල්ට් 1857 අප්‍රේල් මස 01 වැනිදා මෙරට දී නිකුත් කරන ලද ප්‍රථම මුද්දරයේ සිත්තම්කරුවීම ද විශේෂත්වයකි. එදා සිට මේ දක්වා මෙරට නිකුත් කර ඇති මුද්දර ප්‍රමාණය 2509කි. චිත්‍ර ශිල්පී ඉසුරු චතුරංග විසින් නිර්මාණය කරන ලද මෙරට 2509 මුද්දරය නිකුත් කරනු ලැබුණේ පසුගිය 4 වැනිදා ය. උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත හේනේපොළ ගුණරතන නාහිමියන්ට දක්වන උපහාරයක් ලෙස නිකුත් කරන ලද එම සමරු මුද්දරයේ සිත්තම් වී ඇත්තේ උන්වහන්සේගේ උඩුකය ඡායාරූපයකි. ඇමෙරිකාව ඇතුළු ලෝකය පුරා බොහෝ රටවල ථේරවාදී බුදුදහම ප්‍රචාරණය කිරීමට ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ සිදු කර ඇති අමිල මෙහෙවර අගයමින් නිකුත් කරන ලද එම සමරු මුද්දරය ජනගත කිරීමේ උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ සිටියහ. හෝමාගම හරිත සරසවි ශ්‍රවණාගාරයේ පැවැති එම උත්සවය අතරතුර මුද්දර කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක නිලධාරි චන්න මුණසිංහ මහතා සමග සම්මුඛ වෙමින් මෙරට මුද්දර නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැන අපි විමසා බැලුවෙමු.

“විවිධ පුද්ගලයන්, ආයතනවලට උපහාර වශයෙන් මුද්දර නිකුත් කරදෙන ලෙසට වසරකට ඉල්ලීම් රාශියක් ලැබෙනවා. ඒ සියලුම ඉල්ලීම මුද්දර කාර්යාංශයේ මුද්දර නිකුත් කිරීමේ උපදේශන මණ්ඩලයට ඉදිරිපත් කරනවා. සෑම අවුරුද්දකම සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල මුද්දර උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් රැස්වෙලා ලැබිලා තියෙන ඉල්ලීම් ගැන සාකච්ඡා කර මුද්දර නිකුත් කිරීමට සුදුසු පුද්ගලයන්, ආයතන තෝරාපත් කරගන්නවා. මුද්දර නිකුත් කිරීමට යෝජනා වී තිබෙන පුද්ගලයන් නිර්දේශ කර, තැපැල් කටයුතු භාර ඇමැතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත්කොට එතුමාගේ අනුමැතිය මත තමයි මුද්දර නිකුත් කිරීමට කටයුතු කරන්නේ. පුද්ගල සම්බන්ධයක් නැති අනෙකුත් මුද්දර නිකුත් කිරීමට තැපැල් කටයුතු ඇමැතිවරයාගේ අවසරය ප්‍රමාණවත්. ඒ වගේම මුද්දර නිකුත් කිරීමට පුද්ගල නාම ඉදිරිපත් වූ පමණින් මුද්දර නිකුත් කරන්නේ නෑ. ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් සිදු කර ඇති සේවය ගැන සැලකිලිමත් වෙමින් තමයි මුද්දර නිකුත් කිරීමට නිර්දේශ කරන්නේ. හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් ලෝකය පුරා බුදුදහම ප්‍රචාරණය කිරීමට සිදු කර තිබෙන සේවයට උපහාර පිදීමක් විදිහට තමයි මේ සමරු මුද්දරය නිකුත් කෙරෙන්නේ…” හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවන්ගේ පිළිගැනීමේ දේශනය ශාලාව පුරා රැව්පිළිරැව් දෙන්නට ගත්හ. එහෙයින් අපේ සාකච්ඡා මොහොතකට නතර කෙරිණි.

උත්සව සභාවට වැඩම කර සිටි, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගෙන් අවසර ලබාගත් ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ උත්සව සභාවේ අසුන්ගෙන සිටි ගිහි පැවිදි සියලුම ආරාධිතයන් පිළිගනිමින් හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ට දක්වන උපහාරයක් ලෙස සමරු මුද්දරය නිකුත් කිරීමට විශාල කර්ත්‍යවයක් ඉටු කර ඇති ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාට ද විශේෂ ස්තුතියක් පුද කර සිටියහ. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ උඩ පළාතේ, නැඟෙනහිර කෝරළයේ දෙහිදෙණිය වසමේ හේනේපොළ ගමේ දිළිඳු පවුලකින් මෙලොව එළිය දුටු හේනේපොළ ගුණරතන හිමියන් අනේකවිධ දුෂ්කරතා මැදින් ශාසනයේ දොරගුළු විවර කරගෙන බුදුදහම ලොව පතළ කිරීමට සිදු කර ඇති මෙහෙවර ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ අපූරුවට පැහැදිලි කළහ. උන්වහන්සේගේ මුවින් ගිලිහෙන වචන දෙසවනේ රැඳෙනවිට මේ වනවිට වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස වැඩ සිටින හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් ජීවිතයෙන් වැඩි කාලයක් ධර්ම දූත සේවයෙහි නිරත වෙමින් සිදු කර ඇති ශාසනික මෙහෙවර මගේ මතකයට නැඟිණි.

1954 වර්ෂයේ දී ඉන්දියාවේ ධර්ම ප්‍රචාරණ වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් විසින් වසර හැත්තෑවක් පුරාවට සිදු කරගෙන ගිය විදේශීය ධර්ම දූත මෙහෙවර සුළු පටු නැත. සාංචිය, දිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක වසර තුනක් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නියැළුණු උන්වහන්සේ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ ආරාධනාවක් මත මැලේසියාවට වැඩම කළහ. වසර දහයක් පුරාවට එරට ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ මඩිහේ පක්‍ද්ක්‍දාසීහ නාහිමියන්ගේ උපදෙස් මත 1968 වර්ෂයේ දී ඇමෙරිකාවේ වොෂින්ටන් විහාරයට වැඩම කළහ. එරට ආරම්භ වූ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථාන වූ වොෂින්ටන් පන්සල දියුණු කිරීමට හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ සිදු කර ඇති කැපකිරීම් අපිරිමිතය. එමෙන්ම දැනුම සොයා යෑමට උත්සුක උන්වහන්සේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකින් අධ්‍යාපනය ලබාගනිමින් දැනුමෙන් ද පෝෂණය වූහ. ඒ වනවිට ඇමෙරිකාව තුළ ප්‍රසිද්ධ චරිතයක් වෙමින් සිටි හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ට ඇමෙරිකානු රජය විසින් භාරදූර රාජකාරියක් භාර දුන්නාහ. ඒ සරණාගතයන් ලෙස ඇමරිකාවට පැමිණෙන වියට්නාම ජාතිකයන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමය. එම කටයුත්ත සාර්ථකව නිම කළ හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ට ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් කර්නල් පදවියක් පිරිනැමූහ. ලෝක ඉතිහාසයේ භික්‍ෂූන් වහන්සේනමකට ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් කර්නල් පදවියක් පිරිනැමූ ප්‍රථම අවස්ථාව එය විය. ඇමෙරිකා විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු භික්‍ෂූන්වහන්සේ ද හේනේපොළ ගුණරතන හමුදුරුවෝය. එමෙන් ම උන්වහන්සේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල රාශියක දේශන පවත්වා තිබේ. ඇමෙරිකානු බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ආරණ්‍ය සේනාසනයක් ආරම්භ කර ඇත්තේ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය. ඒ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් දුරින් පිහිටි සැනමිඩෝ නම් වූ විශාල ජාතික වනඋද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. ලෝක ප්‍රකට ‘නැෂනල් ජෝග්ගොෆ්‍රි සඟරාව විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකට අනුව එම භාවනා මධ්‍යස්ථානය ලෝකයේ සුවිශේෂී පූජනීය ස්ථාන පන්සිය අතුරින් එකකි. මෙරට සිරිමා බෝධිය, දළදා මාලිගාව, දඹුලු විහාරය, පොලොන්නරුව ගල් විහාරය බෞද්ධ සිද්ධස්ථාන හතරක් ලෝකයේ සුවිශේෂී පූජනීය ස්ථාන පන්සිය අතරට ඇතුළත්ය. ඇමෙරිකාවෙන් හඳුනාගෙන තිබෙන එකම පූජනීය ස්ථානය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ප්‍රමුඛ වී ගොඩනඟන ලද වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානය පමණි. බටහිර සමාජය තුළ ‘භාවනා’ පාලි වචනය සහ භික්‍ෂූන් වහන්සේ අමතන ‘භන්තේ’ පාලි වචනය හඳුන්වා දී ප්‍රචලිත කර ඇත්තේ ද හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ය.

හේනෙපොළ ගුණරතන හිමිගේ 70 වසරක ධර්ම දූත සේවයට මුද්දරයකින් උපහාර

එමෙන්ම හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවෝ විසින් රචනා කර ඇති, විස්ඩම් පබ්ලිකේෂන් යටතේ ප්‍රකාශයට පත්කර ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්‍ෂණයකට අනුව ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කර තිබේ. ලොව වැඩිම පාඨක පිරිසක් කියවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විද්‍යාඥයින් මෙන්ම භාවනා ගුරුවරු සහ භාවනා කරන පුද්ගලයන් පාදක කරගෙනය. නිවැරදි සිහිය පිහිටුවාගැනීම පිළිබඳ ඉගැන්වෙන එම ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය කර තිබීම ද විශේෂත්වයකි. ඇමරිකාව තුළ මිලියන දහයකට අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති මේ ග්‍රන්ථය එරට වසර දහයක් පුරා ඉහළම ආදායම් ලබන කෘති අතර ඉදිරියෙන්ම තිබේ. භාවනාවෙන් සිත දියුණු කරගැනීම ඇතුළු ජීවිතය පිළිබඳ අවබෝධ කරදෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය ඇමරිකාව, එංගලන්තය සහ තායිලන්ත විශ්වවිද්‍යාල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. එමෙන්ම මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ලොව පිළිගත් විශ්වවිද්‍යාල රාශියක සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස නම් කර දැනට වසර ගණනාවක් වන බව ද සැබෑය. එමෙන්ම වසර පහකට පෙර විස්ඩම් සඟරාව සිදු කළ සමීක්‍ෂණයක ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ සිටින සුවිශේෂී භික්‍ෂූන් වහන්සේ තුන්නම අතර හේනේපොළ ගුණරතන නාමය ද සඳහන් වී තිබේ. සෙසු දෙනම දළයි ලාමා සහ තික්නා ඛාන් ය.

ලොව පුරා මෙවැනි අති උත්තම ශාසනික සේවයක් ඉටු කරමින්, ලෝක පූජිත වී සිටින ආචාර්ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් කෘතවේදීත්ව පුද කරමින් මෙරට රජයෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට, උපහාර පින්කමක් පැවැත්වීම ප්‍රමාදවීම ගැන සිත තුළ මතු වූයේ දුකකි. උන්වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයට සිදු කර ඇති අපිරිමිත මෙහෙවර ගැන අවධානය යොමු කරමින්, කල් ගතව හෝ මෙරට කෘතවේදීත්වය පුද කිරීමට සමරු මුද්දරයක් නිකුත් කිරීමත්, මෙවැනි උපහාර උළෙලක් සංවිධානය කිරීම ජාතික යුතුකමක් ඉටු කිරීමක් බව සැබෑය.

එමෙන්ම මා විසින් රචනා කරන ලද හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ගේ ගිහි පැවිදි ජීවිත කතාව ඇතුළත් ‘තුම්පනෙන් ඇමෙරිකාවට වැඩි සඟරජ’ ග්‍රන්ථයේ දෙවැනි කොටස එම උපහාර පින්කම තුළ එළිදැක්වීම ද විශේෂත්වයකි. වසර අනූහයක් ආයු වළඳමින් අදටත් දිනපතා කිලෝ මීටර් පහක් සක්මන් කරන, අවුරුද්දකට තුන් මාසයක් භාවනා යෝගීව වැඩ සිටින, මනා සිහියෙන් අතීත මතක සිහිපත් කරන අපේ කාලයේ ධර්ම භාණ්ඩාගාරික හිමිනමක් ලෙස ප්‍රකට අති උතුම් හේනේපොළ ගුණරතන නාහිමියන්ගේ චරිතාපදානය ග්‍රන්ථාරූඪ කිරීමට ලැබීම ජීවිතයේ පෙර කුසලයක් පඩිසම් දීමක් ලෙස මම සිතමි. හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි උත්සව සභාවෙන් පිට මං වීමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment