හැම වැඩේටම ඔළුව දාන්න කැමැති නෑ… – ෂෙනායා වැන්හෝෆ්

249

මම රවීන්ගේ පෙම්වතිය

රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරනු ලබන 1990 ලව් බෝර්න් ඉන් ද හාර්ට් ටෙලි නාට්‍යයේ රිදී ලෙසින් ඔබ හමුවට එන ඇය නමින් ෂෙනායා වැන්හෝෆ්. ෂෙනායා සමග මේ කතාබහ ඇගේ රංගන ගමන ගැනය.

ෂෙනායාව මේ දිනවල දකින්න ලැබෙන්නේ 1990 ටෙලිනාට්‍යයේ රිදී ලෙසින්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

මෙහෙමයි. ඇත්තටම ඒක වෙනස්ම වැඩක්. ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. මම මීට කලින් රඟපෑ ටෙලිනාට්‍යවලට වඩා වෙනස්ම චරිතයක් තමයි ලැබුණෙ. ඒ චරිතය මට ලොකු අභියෝගයක්.

හැම වැඩේටම ඔළුව දාන්න කැමැති නෑ… - ෂෙනායා වැන්හෝෆ්

ෂෙනායාට කොහොමද රිදීගේ චරිතය ලැබුණෙ?

මට මේ ටෙලිනාට්‍යයට ආරාධනා කළේ අධ්‍යක්ෂ රනිල් කුලසිංහ අයියා. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සෙ මාව රිදීගේ චරිතයට තෝරාගත්තා.

රිදී,ෂෙනායා වගේමද?

නැහැ. ෂෙනායා කියන්නේ වැඩිය ලොකුවට කාත් එක්කවත් කතාබහට යන්නේ නැති චරිතයක්. හැබැයි ළඟින් ඉන්න කට්ටියත් එක්ක මාර විනෝදයෙන් දඟලගෙන ඉන්නවා. රිදී කියන්නේ පොඩ්ඩක් හැමදේම ගැන හිතන හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයන තරුණියක්.

හැම වැඩේටම ඔළුව දාන්න කැමැති නෑ… - ෂෙනායා වැන්හෝෆ්

නිල්මිණී තෙන්නකෝන් වගේ ජ්‍යෙෂ්ඨ නිළියක් සමග වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?

මම පිටපත අතට ගත්ත ගමන් රනිල් අයියත් කිව්වේ ඔයාට වැඩකරන්න තියෙන්නේ නිල්මිණි අක්කා එක්ක කියලා. මම ඇත්තටම ගොඩක් සතුටු වුණා. මට ගොඩක් දේවල් නිල්මිණි අක්කාගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම මට බිමල් ජයකොඩි අයියා, චින්තක වාස් අයියා එක්කත් වැඩකරන්න ලැබීම ලොකු භාග්‍යයක්.

මියුසික් වීඩියෝ හරහාත් ඔබව දකින්න ලැබෙනවා?

පසුගිය දවස්වල මියුසික් වීඩියෝ කළා. දැන්නම් මියුසික් වීඩියෝ කරන එක ටික කලකට නතර කළා.

ඇයි ඒ?

මම කැමැති නැහැ එන හැම වැඩකටම ඔළුව දාන්න. තෝරලා බේරලා තමයි වැඩකරන්න කැමැති. මම කොහොමත් මට හම්බවෙන හැම මියුසික් වීඩියෝ එකක්ම භාරගන්නේ නැහැ. මුලින්ම ස්ටෝරි ලයින් එක බලලා මට ගැළපෙනවා නම් විතරයි භාරගන්නේ.

මේ වෙනකොට මියුසික් වීඩියෝ කීයක් විතර රඟපාලා තියෙනවාද?

දහයක විතර රඟපාලා තියෙනවා.

මියුසික් වීඩියෝ හරහා ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා?

ඒ ගැන සතුටුයි. මම මුලින්ම සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම්වලට. ඒ 2017 අවුරුද්දේ. ඊට පස්සේ මියුසික් වීඩියෝවලට ඇවිල්ලා මේ වෙනකොට ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙලා ඉන්නවා.

වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයටද, 1990 ටෙලිනාට්‍යයටද?

මට දෙකටම එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා. අනික මම මේ නාට්‍ය දෙකේම රඟපාන්නේ චරිත දෙකක්.

ක්ෂේත්‍රය ගැන මොකක්ද අදහස?

මම පොඩි කාලේ හිතුවේ නැහැ රඟපාන්න එනවා කියලා. මොකද මම පුංචි කාලේ ඉඳලා හරි බයයි. කාත් එක්කවත් කතාබහ කරන්නේ නැහැ. කිසිම දේකට මම ෆෝවර්ඩ් නැහැ. අන්තිමේ නිකං හිතුවා උත්සාහ කරලා බලන්න ඕනෑ කියලා. ඒ වෙලාවේ තමයි මට අවස්ථාවක් ලැබුණේ. අදටත් ඉස්කෝලේ යාළුවෝ හම්බවුණහම මගෙන් අහන්නේ කොහොමද ඔයා වැඩකරන්නේ කියලා. මොකද මම ඉස්කෝලෙදිත් කාත් එක්කවත් වැඩිය කතාබහක් නෑනේ. මේක මගේ හීනයක් නෙමෙයි.

රඟපෑමේදී සීමා මායිම් තියෙනවාද?

නැහැ. සීමා මායිම් එහෙම නැහැ. එකම චරිතයක් ලැබෙන්නේ නැතිව විවිධ චරිත ලැබුණොත් මම භාරගන්නවා.

මේ බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක් ද?

ගොඩක් සතුටුයි. හිතුවේ නෑ කවදාවත් මේ වගේ ජනප්‍රියත්වයක් ලැබේවි කියලා.

චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා?

ඔව්. චතුරංගන ද සිල්වා සහ සහන් වික්‍රමාරච්චි අධ්‍යක්ෂණය කරන සෝලෝ ටවුන් චිත්‍රපටයට තමයි මට ආරාධනා ලැබුණේ.

සෝලෝ ටවුන් ගැන මොකක්ද අදහස?

මට මේ චිත්‍රපටයට ලැබුණ ආරාධනාව ගැන හරි සතුටුයි. මම මාර ආශාවෙන් හිටියේ සිනමාවට සම්බන්ධ වෙන්න. මේක වෙනස්ම චිත්‍රපටයක්. යහළුවෝ පස්දෙනකුගෙන් යුත් ලංකාවේ ප්‍රසිද්ධ බෝයි බෑන්ඩ් එකක් වටා ගෙතුණු චරිතයක්. මේ චිත්‍රපටයේ කාන්තා ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. මගෙත් එක්ක ප්‍රධාන නළුවා විදිහට රඟපාන්නේ රවීන් කනිෂ්ක.

ෂෙනායාගේ චරිතය ගැන කතා කළොත් ?

රවීන් කනිෂ්කගේ පෙම්වතිය විදිහට තමයි මම රඟපාන්නේ. දැනට ෂූටින්වලදී ලොකු අභියෝග නැහැ. තවම දවස් තුනයි ෂූටින් කළේ. ඉදිරියේදී ලොකු අභියෝග තියේවි කියලා විශ්වාස කරනවා. මම රඟපාන්නේ ෆැෂන් ඩිසයිනර්කෙනෙකුගේ චරිතයක් වගේම මොඩ්ලර්කෙනකුගේ චරිතයක්. දැනට ඒ විස්තර ඇති කියලා හිතෙනවා.

ගායනයට එන්න කැමැත්තක් නැතිද?

ගායනයට එන්න අදහසක් නැහැ. ඇත්තටම මට පොඩ්ඩක්වත් සින්දු කියන්න බැහැ. ලොකුවට ඒ පැත්ත ගැන හිතන්නේ නැහැ.

කැපිලි කෙටිලිවලට මුහුණදෙන්න වෙලා තියෙනවාද?

එහෙම අවස්ථා අනන්තවත් ඇවිත් තියෙනවා. මම ඒවා ලොකුවට ඔළුවට ගන්නේ නැහැ.

‘හිත ළඟ හිනැහුණා’ ජීවිතයේ ලොකු පෙරළියක් කළා කියලා හිතනවාද?

ඔව්. හිතළඟ හිනැහුණා ගැන මගේ ලොකු සතුටක් තියෙනවා. මගේ ජීවිතයම වෙනස් කළේ හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යය. මගේ ජීවිතයට හමුවුණ පළමු ටෙලිනාට්‍යය. ඒ ගැන සතුටුයි. මගේ ජීවිතයේ මම හිතපු නැති ක්ෂේත්‍රයකට එන්න හම්බවුණේ ඒ ටෙලිනාට්‍යය හරහායි.

මේ ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා එහෙමත් එනවා ඇති?

ඒවා නම් එනවා. මම එච්චර ඔළුවට ගන්නේ නැහැ. මොකද මම රඟපෑමෙන් ඉදිරියට යන්න හිතාගෙන ඉන්න නිසා දැන්ම මට ආදරයක් වුවමනා නැහැ කියලයි හිතෙන්නේ.

ෂෙනායාත් වෘත්තීය නිළියක් වෙන්නද කැමැති?

ඒ ගැන දැන්ම අදහසක් නැහැ. මොකද අපි කරන දේවල් අනුව තමයි සියලු දේ තීරණය වෙන්නේ. දැනට දිගටම රඟපාන්න අදහසක් තියෙනවා. ඉදිරිය ගැන නම් දැන්ම කියන්න බැහැ.

වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලිනාට්‍යවලටද?

මම එහෙම විශේෂයක් නැහැ. අනික එකක් කියලත් නැහැ. හම්බවෙන හොඳ චරිතයක් භාරගන්නවා කියන මතයේ තමයි ඉන්නේ.

රඟපෑමට ගෙදරින් ලැබෙන සහයෝගය ?

මුල් කාලේදී නම් තාත්තා රඟපෑමට එනවාට කැමැති වුණේ නැහැ. දැන් නම් තාත්තා සහ අම්මා ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ පැත්තෙන් දැන් ප්‍රශ්න නැහැ.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප -අන්තර්ජාලය ඇසුරිනි.

advertistmentadvertistment
advertistmentadvertistment