හිරේ ගිහින්

පහුගිය සුමානෙ මං හිටියේ කොහෙද කියල දන්නවාද? මං හිටියේ හිරේ. හිරේ! විහිළු කථා කරනවාද කියල අහන්න එපා. විහිළු වුණත් ඇත්ත වෙන අවස්ථා තියෙනවා. හැබැයි මං වැරදි කරන මිනිහෙක් නෙවෙයි. හිරේ යන්න තරම් කොහොමත් වැරදි කරන්නෙ නෑ මං. ඒත් මතක තියාගන්න මං අහිංසකයෙක් නෙවෙයි. සමහර වෙලාවට වැරදි කරනවා මං පොඩි පහේ. ඒත් පොඩි පහේ වැරදි පස්සෙන් පහු ලොකු වැරදි වෙන්න පුළුවන්. මට වුණේ ඒක. මං බස් එකේ හොරා ආවා. ඇවිත් මඟදි අහු වුණා. බස් කොන්දොස්තර අපහාසෙට මට කිව්වා

“ටයි කෝට් දාගෙන හොර වැඩ කරන්න එපා මහත්තයෝ!” කියල. ඇත්තටම මං හිටියෙ එදා ටයි එකකුයි කෝට් එකකුයි දාගෙන. මං ඥාතියෙක්ගේ මඟුල් ගෙදරකට යමින් සිටියේ. ටයි කෝට් දාන්න ඕනම කිව්වා බිරිඳ. ඒත් ටයි කෝට් කතාවට මළපැන්නා මට. බහින්බස් වුණා අපි මුලින්. පස්සෙ ඒක කෙළවර වුණේ සාක්කුවේ තිබුණු පෑනෙන් මං කොන්දොස්තරට ඇනලා. කරුමෙට පෑනත් ඇනුණෙ කොන්දාගෙ ඇහැට. ඉතිං හිරේ ගියා මං. සුමානයක් හිරේ.

මෙතනින් පස්සෙ කතාව ටිකක් දුක්බරයි. කරන්න දෙයක් නෑ. කතාව කියන්න වෙනවා:

මං හිටියේ වැලිකඩ දහතුන් වැනි වාට්ටුවේ. වාට්ටු තියෙන්නෙ ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලෙ. හිරේ වාට්ටු තියෙනවාද? තියෙනවා. ඒ, අපරාධකාරයන්ට. මට මේ වාට්ටුවේදි අපරාධකාරයො හම්බුණා ගොඩක්. හුඟක් හම්බුණේ හොරු. හැබැයි ජනවර්ජන වගේ. හරි අපරාධයක්. ඒත් මං හීනෙන්වත් හිතුවෙ නෑ බෙහෙත් හොරෙක් මට හම්බෙයි කියල. ඉස්සෙල්ලාම කියන්න ඕන මං හිටියේ හිරේ දුකෙන් නෙවෙයි. මං කොහොමත් ඉන්නෙ හිරේනෙ. බන්ධනාගාරේ ඇතුළෙ හිටියත් හිරේ. පිට හිටියත් හිරේ. ඉතිං දහතුන් වැනි වාට්ටුවේ මං හිටියෙ සන්තෝසෙන්. මං එදා හීනියට අඩියක් ගහලා සිංදුවක් කිය කියා වාට්ටුවේ එහාට මෙහාට ඇවිද්දා. අඩි! අඩි තියෙනවාද හිරේ? අඩි නෙවෙයි, පුඩි වුණත් තියෙනවා. ඉතිං මං ඇවිද ඇවිද ඉන්නකොට ඔන්න ඇහුණා දාහතර වෙනි වාට්ටුව පැත්තෙන් කවුදෝ ඉකිබිඳින හඬක්. මට බන්ධනාගාර ඇතුළ නුහුරු නුපුරුදු වුණත් මං ගියා දාහතර වාට්ටුව දිහාට. එතකොට මං දැක්කෙ මැදි වයස පන්නපු මනුස්සයෙක් වාට්ටුවේ කකුස්සිය ගාව බිම වාඩිගෙන නාහෙන් අඬනවා. මිනිහාගේ කම්මුල් පුරා කළු රැවුල. ටිකක් විතර වීරප්පන් වගේ. රැවුල හින්දා ඇහෙන් කඳුළු වැටුණෙත් කම්මුල්වලට නෙවෙයි. කෙළින්ම බිමට. සූටිං මාටිංගෙ කඳුළු මතකනෙ. මං මනුස්සයා ළඟට කිට්ටු කළා. හත් දෙයියනේ! මට අදහගන්න බැරුව ගියා. මේ ඉන්නෙ අපේ ඇමැතිතුමා. කෙහෙළිය. ජම්පරයක් ඇඳගෙන එතුමා වැසිකිළිය ළඟ මහපොළොවේ. මං මොනවත් බැලුවේ නෑ. කෙළින්ම වාඩි වුණා ඇමැතිතුමා ගාව බිම.

“මට හුඟක් කනගාටුයි ඇමැතිතුමා!” මං මගේ ශෝකය ප්‍රකාශ කළා ඉස්සෙල්ලාම. ඒත් එතුමා මං දිහා බැලුවේ නෑ. එතුමා බලන් හිටියේ බිම. මං උගුර පෑදුවා ටිකක්. ඒත් හැලහොල්මනක් නෑ. දෙවැනි උගුර පෑදීමත් එක්ක හිස එසෙව්වා එතුමා.

“මතකද ඇමැතිතුමාට මාව?” මං ඇහුවා එතුමාගෙන්. ඒත් ප්‍රතිචාරයක් නෑ.

“මං තමයි ඔබතුමා හම්බෙන්න දවස් විසිඑකක් අමාත්‍යාංශෙට ආපු මාධ්‍යවේදියා ලේක්හවුසියේ!”

මං ටිකක් හයියෙන් කිව්වෙ කනක් තියෙනවා නම් ඇහෙන්න.

“ඔහ්! මට හරියටම මතක නෑ!”

මගේ කතාව එතුමාට ඇහිලා! කන ඇහිච්ච එක හොඳයි. ඉතිං මං කථා කළා:

“ඔබතුමා මාධ්‍ය ඇමැති වෙලා ඉන්න කාලෙ මං හම්බෙන්න ආවා ඔබතුමාව. මොකද කියනවා නම් ගෝටා සර් අපිව අයින් කළා රස්සාවෙන්. අපිව බඳවා ගත්තෙ යහපාලන ආණ්ඩුවෙන් කියල කිව්වානෙ. ඉතිං අපිව පැය විසිහතරෙන් එළියට දැම්මා!”

“මට මතක නෑ.”

“ඇයි සර් මතක නෑ කියන්නෙ? මං මගේ ළමයාත් එක්කනෙ ආවේ සර් හම්බෙන්න!”

“මොකටද ළමයාත් එක්ක ආවේ?”

“මගේ රස්සාව නැති වෙනවා කියන්නෙ ළමයාට ඉස්කෝලෙ යන්නත් බැරි වෙනවා කියන එකනෙ!”

“නෑ. මට මතක නෑ ඔයාව!”

මතක නෑ කියලද කිව්වෙ උසාවියෙත්? වෙන්න ඇති සමහර විට. ඒකනෙ මෙතන ඉන්නෙ. ඒත් කලින් මතක නෑ කියපු එක්කෙනා ගෙදර! බැංකුව කඩපු කල්ලියම ගෙදර.

“ඉතිං මොකද රස්සාවට වුණේ ඔයාගේ?”

හැබෑට එහෙම අහන්නත් පුළුවන්ද ඔබතුමාට?

“මං දිගටම ආවා අමාත්‍යාංසෙට. හැම දවසකම ඔබතුමාගේ මීඩියා සෙකට්‍රි, අර ආණ්ඩුවේ පත්තරේ සම කර්තෘකමත් ඔය එක්කම කරගෙන යන්න සර් ඉඩ දීපු එක්කෙනා කිව්වෙ ඔබතුමා රට ගිහින් කියල. ඉතිං මං ආපු හැම දවසකම ඔබතුමා රට. එක රටකින් තව රටකට. එතනින් තව රටකට. අන්තිමේ දවස් විසිඑකක් කුරගාලා මං කොළඹින් ගමට ගියා!”

“ඒ ගැන කනගාටුයි!”

“කනගාටු වෙන්න දෙයක් නෑ සර්. කොළඹ ඉස්කෝලෙ ගිය කොල්ලා දැන් බටුකනත්තෙ රතනසිරියෙ. බිරිඳ වැලිවිටියෙ ඒජී ඔෆිස් එකේ. මං ටිකට් කඩනවා කෞතුකාගාරෙක.”

මගේ කතාව ඇහුවා ඇමැතිතුමා නිවීහැනහිල්ලෙ. නිවීහැනහිල්ලෙ අහන්න බෑ නේද වෙනදා ඔබතුමාට? ටෙලිෆෝන් පණිවුඩ එනවා නෙව හරියට.

“ඔබතුමාගේ ප්‍රයිවට් සෙකට්‍රිලා දෙන්නා වෙලා හිටපු අර රමිත් පුතායි දෝණියැන්දායි මතකයි මට. කෝ දැන් දෙන්නා? රමිත් නම් ටීම් එකෙත් හිටියා ඒ කාලෙ. තවමත් යනවාද නයිට් ක්ලබ් එයා? ප්ලේන්වල බීලා රණ්ඩුවට යනවාද?”

මොනවාද මං දොඩවන්නෙ මේ! ගොනෙක් වෙන්න හොඳද ගහෙන් වැටුණු මිනිහෙක් ඉස්සරහා! නෑ, ගොන්නු වෙලා ඉවරයි අපි හැමෝම ඇමැතිවරු ඉස්සරහ? ගොනයි පුරවැසියායි අතර වෙනසක් නෑ අද. නවත්තනවා ඔය කතාව! ඔය කතා හොඳ නෑ.

“ඇත්තටම ඇමැතිතුමා මොකක්ද වුණේ හැබෑට?” මං ඇහුවා හොඳ සිහියෙන්. මගේ කතාව වැඩක් නෑ. මට ඕන ඇමැතිතුමාගේ කතාව. ඒත් එතුමා උත්තර දුන්නෙ නෑ මට. එතුමා බලාගත් අත බලාගෙන.

“මං තවමත් විශ්වාස කරනවා එතන වෙන මොනවාහරි සිද්ධ වුණා කියල. ඔබතුමාලා හාමුලා. අපි හාමුදුරුවනේ කියල ඔබතුමන්ලා ඇමතුවේ ඉස්සර. අර ගේ පුච්චපු වෙලාවෙ ඔබතුමාම කිව්වා නේද අපි හාමුලා, අපේ බෙන්ස් ගිනි තිබ්බාට අපි ආයෙත් එන්නෙ බෙන්ස්වලම තමයි කියල?”

මට හිතුණා හිත හදන්න ඇමැතිතුමාගේ. මං ඒකයි උත්තරයක් කටට දුන්නෙ. ඒත් ඒ උත්තරේ භාරගත්තෙ නෑ එතුමා. ඒ වෙනුවට එතුමා වෙන උත්තරයක් දුන්නා මට:

“මට කිසිම හතුරෙක් හිටියෙ නෑ. හතුරා මංම තමයි!”

මට තේරුණේ නෑ ඒ කතාව. ඒ කතාව අහන්න වටිනවා.

“තවදුරටත් මේවා හංගන්න ඕන නෑ සහෝදරයා. දැන් බෙල්ල කැපිලා ඉවරයි. මුට්ටිය බින්දාම මොකෝ දැන්!”

මං ඇමැතිතුමා ළඟට කිට්ටු වුණා ටිකක්. කියන දේ ඔක්කොම කනට ගන්න මට ඕන වුණේ. මෙන්න එතුමා කරපු රාජාසන කතාව හිරේ ඉඳන්:

“මගේ පහුගිය කාලෙ ජනබලවේගකාරයො ගේ ගිනි තිබ්බා. ඒක මං හැදුවෙ කොහොමද කියල අහන්න එපා. ඒත් මට ගේ නැති වුණා. ඒක කෝටි විසිපහක ගෙයක්. මට ඕන වුණා මේ ගේ හදාගන්න. ඒත් අපේ පවුලෙ රස්සා කරන මිනිස්සු නෑ. පුතායි දුවයි වැඩ කළේත් මං ළඟනෙ. රස්සා තිබුණා නම් එහෙම වැඩ කරන්න ඕන නෑනෙ. ඒ වගේම බලවේගකාරයෝ මගෙ බෙන්ස් කාර් දෙකකුත් ගිනි තිබ්බා. මේ ඔක්කොම මට හොයාගන්න ඕන වුණා. ඒ එක්කම මගේ ගෙදර මිනිස්සු හැම තැනම පොලු තියලාත් තිබුණා. කොල්ලායි කෙල්ලයි ලොකු ණය පොල්ලක් තියල තිබුණා. එයාලා බඳින්න යන අයටත් තව යාළුවන්ටත් ඒගොල්ලො ලොකු ගාණක් වියදම් කරලා. ඒ විතරක් නෙවෙයි, මගේ ඩුබායිවල හෝටලේ හොරු කැඩුවා. ස්විට්සර්ලන්තෙ ඇපල් වත්තට පිටිමකුණො බෝ වුණා. මුළු ඇපල් වත්තම විනාශ වුණා. එතනදි කුණු වෙච්ච ඇපල් ටිකක් මං මෙහෙට ගෙනැල්ලා පාඩුව ටිකක් පිරිමහගන්න පුළුවන් වුණා. ඒත් මුළු පාඩුව නැති කරගන්න ලැබුණෙ නෑ. ඉතිං මෙන්න මේ හින්දා තමයි මට මේ දේ කරන්න සිද්ධ වුණේ සහෝදරයා. රුපියල් කෝටි සීයක් තිබුණොත් වැඩේ ගොඩ හින්දයි එච්චරකට වැඩේ ගියේ.”

ඇමැතිතුමාගේ මුහුණෙ තිබුණෙ වරදකාරී පෙනුමක්. එතුමාගේ ඇස්වල කඳුළු. මට කනගාටුවක් දැනුණා.

“මට සතුටුයි ඔබතුමා නිවැරදි අවබෝධයකට ආ එක ගැන,” මං කිව්වා එතුමාට. ඒත් ඒක අහලා එතුමා මගේ දිහාට හිස ඔසොවලා කිව්වා මෙහෙම:

“ඇත්ත කිව්වොත් මිත්‍රයා මං මේ අඬන්නෙ මගෙ ජීවිතේ බේරගන්න!”

මට එතුමා කිව්ව දේ තේරුණේ නෑ. මට ඒක තේරුම් බේරුම් කරගන්න ඕන වුණා. එතුමා මට ඒක මෙහෙම තෝරලා දුන්නා:

“මට බය මට අච්චු ලැබෙන්න ඉස්සෙල්ලා මේකෙ ඉන්න හිරකාරයො මට අච්චු දෙයිද කියල. ඒකයි මං මේ”

මට දැනුණ කනගාටුව උහුලන්න බැරි වුණා. මට එතුමා වෙනුවෙන් මොනවත් කරන්න බැරිද කියල මං කල්පනා කළා. ඒත් ඒකත් කරන්න බැරි විත්තිය චමල් සංජීවලා ඉන්න විධියෙන් තේරුණා මට.

“හැබෑට රුපියල් 30 බේත 3000 ට ගන්න නෙවෙයි ඔබතුමාට තිබුණෙ. රුපියල් 300 ක් වගේ නම් තව උහුලන්න පුළුවන්.” මං කල්පනා කරලා බැරිම තැන කිව්වා.

“එහෙම තමයි සහෝදරයා මාත් කරන්න ගියේ. ඔය ගාණ දැම්මෙ අපේ ගෙදර උන්දෑ!”

ඇමැතිතුමාට ගෙදර උන්දැ ගැන කථා කරන්න ලැබුණෙ නෑ. ඒ එක්කම එතනට ජේලර් කෙනෙක් ආවා. අන්තිමේ මටත් ඇමැතිතුමා එක්ක ආපහු වචනයක් කථා කරන්න ලැබුණෙ නෑ. මොකද මං ඊයේ නිදහස් වෙලා ගෙදර ආවා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment