ගහකටත් වරිපනම් අංකයක්

126

මිනිස් ජීවිත විවරණය කරන කෙටිකතා එකතුවක්

ඔබ අප රසවිඳින කෙටිකතාව යනු කුමක් ද? එය හුදෙක් කෙටි කරන ලද දිග කතාවක් නම් නොවේ. එය වෙන ම පණ ගැහෙන, නාඬි වැටෙන සාහිත්‍යාංගයක් ම ය. කවියක් සේ ම රසබර හරබර දර්ශනයක් විශද කරවන මේ අපූරු සාහිත්‍යාංගය අද මඳක් පසුබෑමකට ලක් වී ඇතැයි බොහෝ විට මට සිතේ.

ගීතය සහ නවකතාව වැනි ජනප්‍රිය මාධ්‍යයන් අතරේ කෙටිකතාව පසුබෑමකට ලක්ව ඇතැයි සිතෙන වාර ගණන නම් අනන්ත ය. පෙර දී නම් පුවත්පතක විශේෂාංගයක් ලෙස කෙටිකතාවට විශේෂ තැනක් ලැබුණා මතක ය. අදටත් අපට ඉඳහිට හෝ එවන් කෙටිකතාවක් හෝ කවි පිටුවක ආස්වාදය විඳගන්නට ලැබෙන්නේ මනා රසඥතාවකින් හෙබි පුවත්පත් කතුවරුනට පින්සිදුවන්නට ය.

කෙටිකතාව ගැන කතා කරද්දී අපට විදේශීය ලේඛකයන්ගේ ප්‍රකට කෙටිකතා ශෛලීන් කිසිසේත් ම අමතක කළ නොහැකි ය. රුසියානු මහා ගත්කතුවර ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා පෙරමුණ ගෙන ඇත්තේ ඒවා සිදුවීම් පෙළක් ලෙසින් නොව, හැඟීම් දහරා ශෛලියකින් නිර්මාණය වූ හෙයිනි. එකී ශෛලීන් හැදෑරිය යුතු ශෛලීන් වන්නේ ඒ රසාත්මකභාවය අප සිත් ආලෝලනය කරන හෙයිනි. හුදෙක් ජීවිත විවරණය මිස ‘කතාන්දර කීමක්’ සිදුකරන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. ජී. බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර ආදී අපේ පුරෝගාමී ලේඛකයන් ද ඒ ආභාසය ලද බව සඳහන් ය.

මා ඉහතින් සඳහන් කළ ශෛලියේ ඇතැම් ලක්ෂණ අප රටේ සම්මානිත ලේඛකයෙකු වන අනුර බී. සෙනෙවිරත්නයන්ගේ ‘ගහකටත් වරිපනම් අංකයක්’ නම් කෘතිය තුළින් ද දක්නට ලැබීම මා දුටු විශේෂ ලක්ෂණයකි. ඔහු කිසියම් සිද්ධියක් ඔස්සේ එකී චරිත ලවා කිසියම් මානසික හැඟීම් දහරාවක් විකාශනය කරන්නට යුහුසුළු වන අවස්ථා බොහොමයක් මෙහි අපට හමුවේ.

කෙටිකතා දොළහකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහයේ එන ‘අභයදානය’ කෙටිකතාව පරිසරයට ගහකොළට ආදරය කරන ඕනෑ ම කෙනකුගේ හදගැස්ම සියුම් ලෙස තීව්‍ර කරවන්නකි. ගසක් යනු මනුෂ්‍ය ජීවිතයක් වග ඒත්තු ගන්වන ඔහුගේ සූක්ෂම කතා ව්‍යූහය සැබැවින් ම අපූරු ය. පාඨකයා තුළ නිදා සිටින සොබාදහමට ඇති ආදරය ඔහු කුළුගන්වා ඇත්තේ ඉතා සූක්ෂමව ය.

මනුෂ්‍යත්වයේ ඇති දුර්වලකමක් ගැන සදය උපහාසයෙන් යුතු කතාවකි, ‘වෙසක් කූඩුව’. තමාට නොසරිලන අප්‍රමාණික මාත්සර්යය ප්‍රායෝගික ජීවිතයට නොගැළපෙන බව ඒත්තු ගැන්වීම සඳහා ඔහු යොදා ඇති උපක්‍රමය වෙත ඔබේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමි. අනුන් හා තරගයක යෙදෙන්නට නිර්මාණය කරන ලද පමණට වඩා විශාල වෙසක් කූඩුව නිවසේ උළුවස්සෙන් පිටතට ගත නොහැකි වීමට තරම් විශාල වීම සංකේතවත් කරන්නේ මිනිසා තුළ ඇති නොහොබිනා මාත්සර්යය නොවේ ද?

‘දිවි නසාගැනීම’ කෙටිකතාව පාඨකයා අපූරු කල්පනා ලොවක ගිල්වන්නට සමත් නවතම දෘෂ්ටිකෝණයකින් නිර්මාණය වූවකි. ‘පණිවුඩය’ කෙටිකතාව තුළින් ඔහු කියා පාන්නේ ද, ඉතාමත් සියුම් උපහාසාත්මක පණිවුඩයකි. ගෙදර සිටින මෙහෙකාර දැරිය මානසික හා කායික හිංසනයට ලක්කරන එකී ගෘහමූලිකාව සමාජගත ළමාරක්ෂක කටයුතු සඳහා සැදී පැහැදී කටයුතු කිරීම බෙහෙවින් හාස්‍යජනක ය. ‘බුදු පිළිමය’ කෙටි කතාව අනුර මනාව පිරිපහදු කළ හැඟීම් දහරාවක් කැටිකරගෙන නිමවා ඇත්තේ ජාතිවාදයේ පුහු බව විදහා පාන්නට ය.

‘අනවසර මධුසමය’ අලුතින් යමක් අපට මෙනෙහි කරවන්නට උත්සාහ කළ සූක්ෂම නිර්මාණයකි. බොහෝ දෙනෙකුට නොසිතෙන, බොහෝ දෙනෙකු නොසිතන විවාහක යුවලකගේ කුටුම්භ ප්‍රශ්නයක් රසාලිප්ත ව ඉදිරිපත් කර ඇත්තේ ඉතා සියුම් වේදයිතයන්ගෙන් පාඨක මනස සසල කරවන ආකාරයෙන් ය.

‘සඳලි’ කෙටිකතාව පොදු මිනිසුන්ගේ තවත් දුර්වලතාවක් සියුම් ලෙස විස්තර කරන කෙටිකතාවකි.

එසේ ම, ‘සත්‍යක්‍රියාව’ සහ ‘ගහකටත් වරිපනම් අංකයක්’ කෙටිකතා ද අනුර සුපුරුදු සදය උපහාසය සේ ම මානව දයාව ද තුලනය කරමින් ගෙතූ අපූරු කතා ද්විත්වයකි.

මේ කෙටිකතා සංග්‍රහයේ එන ‘මස්කඩ සේවකයාගේ සිහිනය’ මා වඩාත් සිත් ගත් නිර්මාණය යි. එය පුදුමාකාර මනෝ චිත්‍රයක් පාඨකයාගේ සිත තුළ චිත්‍රණය කරන්නට සමත් නිර්මාණයකි. සදය උපහාසය ඉතා තියුණු ලෙස සහ සංසන්දනාත්මක ව්‍යුහයකින් සේම මනා පාලනයකින් යුක්තව පාත්‍ර වර්ගයා කෙරෙහි අනුකම්පාව ජනනය කරවමින් ඇඳෙන ඒ සිතුවම් රටාව සැබැවින් ම අපූරු ය. එය රස වි‘ද ග්‍රහණය කරගැනීම බුද්ධිමත් පාඨකයාට ම භාර කරමි.

අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා සමස්තයක් ලෙස එක් අභියෝගයක් ජයගෙන ඇති අයුරු මෙහි එන බොහෝ කෙටිකතා තුළින් විද්‍යමාන වේ. එනම්, කෙටිකතාවල චරිත විශ්වාසනීය ලෙස හැසිරවීම තුළින් තාත්විකත්වය ඉක්මවා නොයෑමට යොදා ගන්නා අති සියුම් උපක්‍රමයන් උපයෝගී කරගැනීම ය. ඉදිරියේ දී ද අපේ සිංහල කෙටිකතාවේ පෝෂණය සහ උන්නතිය උදෙසා අනුර වැනි කෙටිකතාකරුවන්ගේ ඉදිරිපත් වීම සහ ප්‍රවේශය වැදගත් බව ද වෙසෙසින් සිහිපත් කළ යුතු ය. එසේ ම, මෙතැනින් නොනැවතී මේ මග ම තවත් ඉදිරියට යා යුතු බව ද සටහන් කරන්නෙ හෘදයංගම සුභපැතුම් ද සමඟ ය.

● යමුනා මාලනී පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment