මංමුළාවැල්!

ආයෙත් මට නපුරු හීන පේන්න පටන් අරන්. මං හිතුවේ අලුත් අවුරුද්ද ලැබුවාම ඔක්කොම අපල උපද්‍රව දූරීභූත වෙලා යාවි කියල. ඒත් ඒක එහෙම වෙන්නෙ නැති හැඩයි. ඊයේ මට පෙනුණෙ හීනෙකින්වත් මං නොහිතපු හීනයක්. විශ්වාස කරන්න, මං හීනෙන් දැක්කා මෛත්‍රී බෝධි සත්ත්වයෝ කැලණියට වැඩම කරලා ඉන්නවා. කැලණියටම මේ දේවල් වෙන්නෙ මොකද කියලත් මට හිතුණා. ඒත් මං ඒක අමතක කරලා මේ බෝධි සත්ත්වයෝ දිහා අනිමිසලෝචනයෙන් බලා සිටියා. මගෙ හිතේ තිබුණෙ බෝධි සත්ත්වයෝ පඬුපාට සිවුරක් පොරොවාගෙන බෝධි වෘක්ෂ මූලයක් යට සමාධි මුද්‍රාවෙන් වැඩ ඉන්න රූපයක්. ඒත් මේ බෝධි සත්ත්වයෝ හිටියේ බාගෙට අත් නවපු සුදු අත්දිග කමිසයක් සහ මොඩ් එකට මහපු සුදු කලිසමක් ඇඳගෙන මිදුලේ ඇවිද ඇවිද. ඇත්ත වශයෙන් කිව්වොත් බෝධි සත්ත්වයෝ කැලණියට වැඩම කළෙත් ලිමෝසීන් රථයකින්. රථයෙන් බැහැපු ගමන් බෝධි සත්ත්වයෝ මෙහෙම කතාවක් කළා:

“මං තමයි අවලෝකිතේෂ්වර! මං මෙහෙට ආවේ ලංකාවේ මිනිස්සුන්ට නිවන් දොරටුව ඇරලා දෙන්න. මොකද ලංකාවේ මිනිස්සු මිථ්‍යාදෘෂ්ටික වෙලා, නන්නත්තාර වෙලා ඉන්න හැටි මං දැක්කා.”

බෝධි සත්ත්වයෝ මං බෝධි සත්ත්වයෙක් කියල කියන සිරිතක් නෑ. ඒ හින්දාද මන්දා කැලණි විහාර මළුවේ මල් විකුණපු කොල්ලෙක් මොහුගෙන් ඇහුවා

“තමුන්නැහැ කොහේ ඉඳලාද මේ ආවේ? මොකක්ද තමුන්නැහැගේ රස්සාව?” කියල. කොල්ලාගෙ කතාවට බෝධි සත්ත්වයන්ට තරහ ගියා:

“මට තමුන්නැහැ කියල නම් කථා කරන්න ලෑස්ති වෙන්න එපා. මං ආව තැන මං කියන්නම්. මං හිටියේ ඊජිප්තුවේ රාජකීය නිල නිවාසයේ. මගෙ රස්සාව වුණේ රජ්ජුරුවන්ගෙ බල්ලා නාවන එක. හැබැයි මං බලු වැඩ කළෙත් නෑ. බල්ලා නාවන ගමන් මං බණ භාවනායි කළේ. විශේෂයෙන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ඉගෙනගත්තා. අන්න එතකොට තමයි මට නිවන් දොරටුව පේන්න වුණේ.”

මේ කතාවට කොල්ලා කට ඇරලා උත්තර දෙන්න ලෑස්ති වුණත් පන්සල් භූමියේ හිටපු උපාසකම්මලා ඒකට ඉඩ දුන්නෙ නෑ. ඔවුන් කොල්ලාගේ බෙල්ලෙන් අල්ලලා කැලණි ගඟට තල්ලු කරලා දැම්මා. ඊට පස්සෙ ඔවුන් අවලෝකිතේෂ්වරගේ පාද මූලය ස්පර්ෂ කරමින් වැඳ නමස්කාර කළා. ඇතැමුන් ඔහුගේ පාද ලෙවකකා ඔහු පිළිගත්තා. මේ අතර එතන හිටපු සිල් මෑණි කෙනෙක් දුවගෙන ඇවිත් ලේන්සුකඩ බිම එළා මතු බුදු වන මේ අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයන් වහන්සේට වැඳ වැටෙමින් නමස්කාර කරන්න වුණා. සියල්ල දිගහැරෙන විලාසය දැක්කාම මටත් අග මුල අමතක වුණා. මාත් දුවලා ගිහින් බෝධි සත්ත්වයාගේ කකල් දෙක ලෙවකාලා වැන්දා. කකුල් ලෙවකන්න මට අමාරු වුණේ නෑ. මං කවදත් කළේ කකුල් ලෙවකන එක. හුඟක්ම ලෙවකෑවේ දේශපාලනඥයන්ගේ සහ සල්ලිකාරයන්ගේ. කැම්පස් එකේ ඉගෙනගන්න ලෙවකෑවේ විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරුන්ගේ. ඒ කාලෙ සමහරු මට සෙරෙප්පු සුපා කියලත් කිව්වා. ඒත් මං සෙරෙප්පු සුපා නෙවෙයි. පුතාණෝගෙන් අහලා බලන්න බොරු නම්. කොහොමහරි මොන හේතුවකටහරි අවලෝකිතේෂ්වරගේ කකුල් ලෙවකකා ඉන්දැද්දි මට ඇහැරුණා.

ඇහැරුණාට පස්සෙ ඔළුව විකාර වෙලා වගේ මට දැනුණා. හිස කැක්කුමකුත් ඇල්ලුවා. ඇස් රිදෙන්න ගත්තා. කිසිම විකල්පයක් තිබුණෙ නෑ. ආයෙත් මං නිදාගත්තා. ඒ නින්දත් විවෘත වුණේ හීනෙකට. මේ හීනෙන් මං ගියේ අවලෝකිතේෂ්වර ළඟට නෙවෙයි, බුදු වෙන්න හදන තව කෙනෙක් ගාවට. ඔහු තමන් හඳුන්නලා ඔහු තවම බුදු වෙලා නෑ. ඔහු වැඩ හිටියේත් උමංදාව කියල අමුතුම තැනක. මට මහෞෂධ පණ්ඩිතයො හම්බුණේ නෑ. වේදේහ රජ්ජුරුවෝවත් කේවට්ටයාවත් හම්බුණේ නෑ. මහෞෂධ, වේදේහ, කේවට්ට යන ඔක්කොටම හරියන්න ඔහු විතරක් සිංහාසනයක ඉඳගෙන ධර්ම දේශනාවක් කරන්න වුණා. ඒ දේශනාව අවසානයේ පාරට වැඩියා. එතනදි අපූරු දෙයක් වුණා. උපාසකම්මලා රොත්තක් ඔහුගේ කකුල් ඉම්බා. කකුල් ලෙවකෑවා. කොණ්ඩා ලිහලා ඔහුට පාගගෙන යන්න දුන්නා. ඒවා දැක්කාම මාත් ඔවුන් කරපු දේම කළා. මට කොණ්ඩයක් නැති හින්දා කකුල් විතරක් ලෙවකෑවා.

මගෙ හුඟක්ම හිතට ඇල්ලුවේ ඔහුගේ ධර්ම දේශනාව. දේශනාවේ කියපු එකක් මට මතකයි:

“දන්නවාද ඔය තමුන්නාන්සේලා වඳින දළදා වහන්සේ මොකක්ද කියල. ඒක ඌරු දතක්. ඊළඟට ඔය ධාතු කිය කියා වඳින්නෙ මොනවාටද? සිප්පු කටුවලට. දැන් සුරාමේරය නරකයි කියනවා. ඇයි අපි රා බොන්න හොඳ නැද්ද? මං හිතාගෙන ඉන්නෙ ළඟදීම මෙතන රා පෙරන්න. සමහර විට කසිප්පු වුණත් පෙරන්න පුළුවන්. ගංජා නම් මං වවන්නෙ නෑ. කවුරුවත් කරන ඒවා මං කරන්නෙ නෑ.”

මෙතැනින් මං චුත වුණේ අසපුවකට. මං දන්න අසපුවක් නෑ. ඒත් මං මේ දැකපු හීනෙ තිබුණෙ අසපුවක්. අසපුවක් කිව්වාට ඒක කුවේරගේ ආලකමන්දාව වගේ. බුදු පිළිම විතරක් නෙවෙයි, අංගුලිමාලගේ පිළිම රැසකුත් එතන අඹලා තිබුණා. ඒ පිළිමවලට මිනිස්සු පොර කකා වඳිනවා දළදා වහන්සේ වැඳ නමස්කාර කරනවා වගේ. ඇත්තටම ඒ පිළිම හුඟක් සමීප ඇත්තම ඇත්ත රූපවලට. ඒවායේ අත්දඬුවල මයිල් පවා තියෙනවා. දිලිසෙන මැණික් වගේ හැම පිළිමයක්ම, වහලක්ම, සීලිමක්ම, ටයිල් කැටයක්ම දිලිසෙනවා. මේ පිළිම, මැඳුරු අස්සෙ මට තව තැනක් හම්බුණා. ඒක පොත් කඩයක්. ඒත් එහෙම සුපිරි පොත් මුද්‍රණ තාක්ෂණයක් ලංකාවේ කොහෙවත් මං දැකලා තිබුණෙ නෑ. පොතපත දහස් ගාණක් එහි තිබුණෙ බුදුන් වහන්සේගේ හැම ධර්ම කරුණක්ම විස්තර කරලා. මං ඒ එක එක පොතක් අරන් බැලුවා කවුද ලේඛකයා කියල. අන්න එතකොට මාව සහළවලා ගියා. ඒ හැම පොතක්ම ලියලා තිබුණෙ එකම එක මනුස්සයෙක්! මට හිතුණා මේ නම් මනුස්ස වේශයෙන් ඉන්න දෙවියෙක් මිසක් ඇත්ත ලේඛකයෙක් නෙවෙයි කියල. මොකද එච්චර පොත් කන්දරාවක්, එච්චර ධර්ම කරුණු කන්දරාවක් දෙවියෙකුට ඇරෙන්න වෙන කාටවත් ලියන්න බෑ.

මට ඕන වුණා කවුද අසපුවේ ලොකු තැන කියල බලන්න. ලොකු තැන බලන්න අසපු මන්දිරේ තට්ටු ගාණක් පීරුවා. අන්තිමේ ලොකු තැන හම්බුණේ මැණික් පුටුවක එරමිණියා ගොතාගෙන ඉන්දැද්දි. තද දුඹුරු පැහැ සිවුරක් ඇඳ සිටි ඔහු තවත් මහණ තැන් රැසක් පිරිවරාගෙන භජන් ගී ගායනා කරනවා. භජන් ගීත ඔවුන්ගේ රූපවාහිනි නාලිකාවේ විකාශනයත් වෙනවා. මට ලොකු තැනගෙන් අහන්න හුඟක් දේ තිබුණා. කොහොමද මෙච්චර රට අමාරු කාලෙක ලක්දිව පුරා අසපු නඩත්තු කරන්නේ? කොහොමද පොත් දාස් ගණන් ලිය ලියා, ධර්ම දේශනාත් චැනල්වලයි අරවලයි මේවලයි කර කර ඉන්නෙ? ඔය වගේ ප්‍රශ්න. ඒත් හෝරා ගණනක් එතන බලාගෙන හිටියත් ලොකු තැන නෙවෙයි එළියට ආවේ. අන්තිමේ මාත් නොදැනී මං නින්දෙන් ඇහැරුණා.

වියවුල් මනස උහුලන් ඉන්න බැරි හින්දා මං පාරට බැස්සා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ ජාතික ඇඳුම ඇඳගත් පිරිසක් රැගත් බස් එකක් පාරෙ නවත්තලා තියෙනවා මට පෙනුණා. බස් එක නවත්තලා තියෙන්නෙ බස් එකේ කිහිප දෙනකුට මුත්‍රා අඩස්සියක් හැදුණු හින්දා. මුත්‍රා අඩස්සිය ඉවර කරපු එක් කෙනෙක්ගෙන් ඇහුවා මං කොහෙද මේ යන්නෙ කියල. “අපි වරායට යනවා!” එයා කිව්වා. වරාය බලන්න යනවාදැයි අහද්දි එයා ඔලොක්කුට කිව්වෙ මේක: “නෑ. අපි පොඩි පාටියකට යනවා නැවකට!” මට ඔහු කියපු දේ තේරුණේ නෑ. තේරුම් ගන්න උත්සාහ ගත්තෙත් නෑ. එතකොට බස් එකත් පිටත් වෙලා.

මං පාර අයිනේ කොට්ටන් ගහ මුල වාඩි වුණා. දෙයියනේ! පාරේ ඊළඟට දුනු දෙයින් ක්ෂණයෙන් මාව බිරන්තට්ටු වුණා. මං හීනෙන් දැකපු කට්ටිය මෙන්න පාරෙ වඩිනවා! විශ්වාස කරන්න බැරි තරම්. ඉස්සරින්ම අවලෝකිතේශ්වර. අවලෝකිතේෂ්වර පිරිවරක් එක්ක ගමන් කළේ. මාව පහු කරද්දි මිනිහා ළඟින් මට සිගරට් ගඳකුත් ආවා නහයට. ඒත් ඒ ගඳ වැඩි වෙලා තිබුණෙ නෑ. මෙන්න සමන්ත භද්‍ර රත්තරන් කුඩයක් යට පාරෙ වඩිනවා. බණකට හරි පිරිතකට හරි වඩිනවා ඇති කියල මට හිතුණා. ඒත් ඔහු ගියේ අපේ ගේ පල්ලෙහා කිතුල් අරඹ දිහාට. අන්තිමේ පාරෙ වඩින්න වුණේ අසපුවේ ලොකු තැන. බොහොම සිල්වත් බැරෑරුම් විධියට පාද තිය තියා ගිය ඒ තැන අපේ ගමේ ඇති මහමෙව්නාවට හැරෙනවා මට පෙනුණා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment