කෝටි 8ක කොකේන් ගිල්ල චීන කතුන් ගුවන්තොටේදී අල්ලයි

85

රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුළි වශයෙන් සකස්කර ගිල දමා පැමිණි චීන ජාතික කාන්තාවන් දෙදෙනකු පසුගිය 20 දා උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

40 හැවිරිදි සහ 42 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාවන් දෙදෙනා මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය උපත් පාලන කොපු තුළ බහා, තවදුරටත් කාන්දුවීමක් සිදු වුවහොත් එය වැළැක්වීම සදහා සෙලෝටේප් යොදා, ග්‍රෑම් 15 ක් පමණ බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුළි සකස් කර, එක් අයකු මෙම ගුළි 75 බැගින් ගිල දමා පැමිණ ඇති බව, කටුනායක ගුවන් තොටුපළ රේගු පරිලෝකන යන්ත්‍රය (ීජ්බ) වෙත වාර්තා වී තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මුලින්ම සියරාලියෝන් වලින් ගමන් ආරම්භ කර තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පැමිණ තිබේ . ඉන්පසුව එතැන් සිට පසුගිය 20 දා උදෑසන 06.00 ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන්යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම 2024 වසර තුළ කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් තුන්වන අවස්ථාව මෙය බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් ගිල දමා පැමිණි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ග්‍රෑම් 500 ක් පමණ බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 40 ක් පමණ පිටතට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි

මෙසේ අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාවන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

ඔවුන් මේ පිළිබඳ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර මෙම කාන්තාවන් දෙදෙනා ගිල දමා පැමිණි ඉතිරි කොකේන් මත්ද්‍රව්‍ය ගුළි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටියි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment