මතීෂ ගැන දෝනි ගේ ඇගයීම

452

ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා (06 වැනිදා) පැවැති අයිපීඑල් තරගයේදී ලකුණු 15 කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වූයේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මතීෂ ගේ අයිපීඑල් ක්‍රිකට් තරග බිමේ විශිෂ්ටතම පන්දු යැවීම ලෙසින් ද එම දක්ෂතාව වාර්තා වේ. මතීෂ මෙම තරගයේ දී ප්‍රතිවාදීන්ට එකදු හතරේ පහරක් හෝ හයේ පහරක් ලබා නොදුන් අතර ඔහු හමුවේ නෙහාල් වදේරා, අර්ශාඩ් ඛාන් සහ ටි්‍රට්සන් ස්ටබ්ස් දැවී ගියේය. මතීෂ මේ වන විට තරගාවලිය තුළ දී කඩුළු දහයක් දවා ගෙන තිබෙන අතර තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි පැවසුවේ මතීෂව පරිස්සම් කරගෙන ඔහුගෙන් වැඩ ගත යුතු බවයි.

එහිදී චෙන්නායි නායකයා මෙසේ ද පැවසීය.

“ඔහු රතු පන්දුවේ (ටෙස්ට්) ක්‍රිකට් ක්‍රීඩා නොකළ යුතුයි. එක් දින තරගවල ද අයිසීසී හි ප්‍රධාන තරග සඳහා පමණක් ඔහු ගේ සේවය යොදා ගැනීම වඩා සුදුසුයි. ඔබ දකිනවා ඇති ඔහු වඩා සුදුසු කුමකටද කියලා. ඔහු කණ්ඩායමට අවශ්‍යම වෙලාවේ ඒ දේ කණ්ඩායම වෙනුවෙන් ලබා දෙයි. මං හිතන්නේ ඔහු ශ්‍රී ලංකාවට වටින සම්පතක් වේවි”

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයෙන් ජයග්‍රහණය කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වීමට සමත් වූයේය. තරග 11 ක් තුළ ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 13 ක් ලබා ගෙන ඇති අතර පෙරමුණේ පසුවන ගුජරාට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් හිමි කරගෙන ඇත.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 139 ක් රැස් කළ අතර චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment