ගුරුවරයකු ශිෂ්‍යාවකට කළ ලිංගික බලපෑමකින් යාපනයේ පාසලක් වැසේ

158

යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක ගුරුවරයකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් දුර දිග යෑම නිසා එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම පාසල 8 වෙනිදා ද යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

අදාළ ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගේ ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව දුරකථන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබේ.

මේ පිළිබඳව සිසුවිය විසින් දෙමව්පියන්ට තොරතුරු ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට තිබේ. සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින් සිද්ධියට මුහුණ දුන් ගුරුවරයාව ආරක්ෂා කරගෙන තිබේ.

ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියලුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දමා ඇත. එම පාසලට අලුතින් විදුහල්පතිවරයකු පත් කොට පාසල පවත්වා ගෙන යෑමට උත්සහ කොට ඇතත් 8 වැනිදාද පාසල සුපුරුදු ලෙස ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

මේ නිසා යාපනයේ අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment