තිවංක කතාව සිංහල නවකතා

එරික් ඉලයප්ආරච්චිගේ අලුත්ම නවකතාව තිවංක කතාව, මෑත සිංහල නවකතා අතර කරුණු කිහිපයක් නිසා සුවිශේෂී ස්ථානයක් ගන්නා නිර්මාණයකි. එහි අන්තර්ගතයේ ඇති නැවුම් බව, එය ආකෘතිගත කරනා ආකාරය හා එමගින් පළ කරන දෘෂ්ටිමය සංකීර්ණත්වය ගැන විශේෂයෙන් සඳහන් කිරීම අවශ්‍යය. නවකතාවේ නාමයෙහිම එන තිවංක යන පදය සමග අප මනසට නැගෙන්නේ බෞද්ධ වාස්තු විද්‍යාව හා සම්බන්ධිත තිවංක පිළිමගෙය පිළිබඳ සිතුවමකි. මේ නවකතාව ද වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමක් ලෙස සිතාමතා සැලසුම් කර, ඊට උචිත අලංකරණයන් යොදමින් නිමාකර ඇති බවත්, ඒ ඔස්සේ වාස්තු විද්‍යාඥයාගේ ජීවන දැක්ම ප්‍රකට කරන්නා සේ නවකතාකරුගේ ජීවන දැක්ම ප්‍රකට කරන බවත් කීම සාධාරණය.

නවකතාව අරඹන මුල් වැකි දෙක තුනකින්ම ප්‍රබල ලෙස චිත්‍රණය කරන්නේ මෙහි අන්තර්ගතය සාරාංශ කිරීමක් සේය. මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ ආරංචිය මරදානට ලැබුණේ ලෝක යුද්ධ කාලයේ ටවර් හෝල් නාට්‍ය දර්ශන පටන්ගන්නා කණිසමට නැඟුණු හමුදා බතරොයි හඬක් ලෙසිනි. මෙතෙක් අජරාමර රටක් කියා සිතා සිටි දෙය තාවකාලික දෙයක් වීම අදහන්නේ කෙසේ ද? ව්‍යාකූලත්වයට පත්වුණු කොළඹ මිනිස්සු ගල් ගැසුණහ. නවකතාවට තේමා වන්නේ මේ ගල්ගැසුණු මිනිසුන්ගේ කතාව සේ බැලූ බැල්මට පෙනුනත්, එසේ වූයේ ඇයි යන්න සොයා යන විමර්ශකයෙකු ද ඒ අතරින් අපට පෙනෙයි. නූතන සිංහල නාට්‍ය කලාවේ ආරම්භක නාට්‍යාගාරයක් වූ ටවර්හෝල් හි නාට්‍ය රඟ දැක්වෙන කණිසමේ නැඟුණු හමුදා බතරොයි හඬ තිගැස්මක් ඇති කරද්දී, එහි ප්‍රේක්ෂකයා ශේක්ෂ්පියර් කියා තිබූ මුළු ලොවම රඟහලක් බවත්, අප එහි නළුවන් බවත් සිතුවා දැයි නොදනී. එහෙත් බංකොලොත් වීමෙන් පසු ඇති වූ අරගලයේ නළු නිළියන් වීමට බොහෝ අය එක් වූහ. අරගලයේ ප්‍රධාන චරිතයක් නොවූ, එහෙත් එහි බලපෑමට ලක් වූ විලියම් නමැති පරණ පොත් වෙළෙන්දා මෙහි අන්තර්ගතය කියාපාන පූරක සේය. එක් අතකට පරණ පොත් වෙළෙන්දා සංකේතාර්ථයකි. ඔහු දැනුම හා රසය හුවමාරු කරන, එහෙත් විවිධ මාදිලියේ මිනිසුන් ඇසුරු කරන, බොහෝ අත්දැකීම් ඇති පීඩිත පංතියේ මිනිසෙකි. ඔහුට ලැබුණු අත්පිටපතක් මගින් මෙහි අන්තර්ගතය හා බැඳි හේතුඵල විදාරණය සඳහා ඉඟි සැපයෙයි. මුල් කවයෙන් අරගල සමයේ කොළඹ ව්‍යාකූල පරිසරය හා එය ජන ජීවිතයට ඇති කළ බලපෑම දීර්ඝ ලෙස විමසන රචකයා එය නිම කරන්නේ විලියම්ට ලැබුණු අත්පිටපතේ ඇති කතා හරය සාරාංශ කරමිනි. එය ලංකාද්වීපයේ කලක් ගත කළ ගරුඬාචාර්ය හෙවත් ගුරුළුගෝමි නම් මහ පඬිවරයෙකු සොයා කායකණ්ඩ නම් ඥානවන්ත පණ්ඩකයකු ශ්‍රී විජය දේශය කරා ගිය රසවත් කතන්දරයක් විය (171). මෙයින් පෙනෙන්නේ විලියම්ගේ සිට කායකණ්ඩ චරිතය වෙත නාභිගතවීම ඉතා සුමට සුසංයෝගයක් වූ බවයි.

පොතෙන් අඩක් පමණ වන මුල් කවයේ ප්‍රධාන චරිතය විලියම් වුවත්, ඊට අදාළ සිදුවීම් මාලාව අරගලය නිසා කොළඹ නාගරික ප්‍රජාව මුහුණ දුන් අත්දැකීම් හා බැඳෙයි. අරගල භූමියට යන පාරක් වැටී තිබුණේ විලියම්ගේ පොත් කඩේ ඉදිරියෙන් බැවින් ඒ සිදුවීම් සමග විලියම්ගේ සම්බන්ධය අනායාසයෙන් බැඳෙයි. මෙතනට යන එන අයගෙන් ඉදිරියේදීත් විකාශය වන චරිත කිහිපයක් වුවත්, මගදී අතහැරෙන චරිත වුව තේමාව ඉදිරියට ගෙන යෑමට උපකාරී වන අයුරු අපට හඳුනාගත හැකිය. මෙබඳු නොසන්සුන් වාතාවරණයක ඇතැම් චරිත සිය භූමිකාව ඉටුකර අනතුරුව වියැකී යෑම අරුමයක් නොවේ.

දෙවන කවයේ දී විලියම් කියවූ අත් පිටපත අපිදු කියවමු. එවිට අප විලියම්ගේ මැදිහත්වීමෙන් තොරවය කතාව කියවන්නේ. විලියම්ගේ කතාව අමතක කොට කායකණ්ඩගේ වීර චාරිකාව අපි කියවමු. එය ආරම්භ වන්නේ පළමු කවයේ ආරම්භය සේ දේශපාලන සමාජ ව්‍යාකූල වාතාවරණයකය. එය ‘ලංකාද්වීපය උඩුයටිකුරු වෙමින් පවතින වකවානුවකි’ (179). මේ දෙවන රාජේන්ද්‍ර චෝල විසින් ලංකාව පාලනය කළ කාලයේ කායකණ්ඩ මුහුණ දුන් අත්දැකීමකි. ඔහු කපිලාර් නමැති ප්‍රතිමා කලා ශිල්පියා හමුවන්නේ රාජ නියෝගයක් නිසාය. එහිදී කායකණ්ඩට හමුවන කපිලාර්ගේ, අභිරූපි බිරිඳ අලක්ෂන්දරාණි යවන ස්ත්‍රියකි. ඔවුන්ගේ ඇසුර කායකණ්ඩ ප්‍රබෝධමත් කරයි. කලාකරුවෙකු වුවත් කපිලාර් ව්‍යාදියකින් පෙළෙයි. එය අරාජකත්වයේ ප්‍රතිවිපාකයකියි කායකණ්ඩ විශ්වාස කරයි. එමෙන්ම කායකණ්ඩ ඇසුරේ තම නිර්මාණ ප්‍රභාව පුබුදුවා ගත හැකි යැයි ද කපිලාර් විශ්වාස කරයි. එමෙන්ම කායකණ්ඩ ‘රෝහණයෙන් මතුවන සතුරා විසින් තමා වෙත එවන ලද අඳුනක් විය හැකි බව අමතක කරන්නට ද කපිලාර්ට දුෂ්කරය. ‘(196) ප්‍රතිවිරෝධතා තිබියදීත් ළඟාකර ගැනීම මේ නවකතාව පුරා දැකිය හැකි අන්තර් චරිත සබඳතාවල පොදු ලක්ෂණයකි. කෙසේ වුව ‘කලා ප්‍රභූවක ඇසුරේ දිවි ගෙවන්නට ලැබුණු අවස්ථාව ගැන කායකණ්ඩ සතුටු විය. (204) කායකණ්ඩ ඇසුරේ කපිලාර් සුවය ලද බැවින් හා ඔහුගේ අභිප්‍රාය දේශපාලනික නොවන බව ඔප්පු කිරීමෙන් පසු කායකණ්ඩට තම ගුරුදෙවි ගරුඬාචාර්ය වෙත යන්නට අවසර ලැබේ. මෙය අර්බුදකාරී යුගවලදී හැම විට කලාකරුවාට මුහුණ දීමට සිදුවන ගැටලුවය. ගරුඬාචාරින් හමුවට ගිය නාවුක ගමන ද, අනතුරුව කළ විවිධ ගමන් ද දුෂ්කරතාවලින් පිරුණකි. මේ දිඟු ගමනේ දී කායකණ්ඩ වටහා ගත්තේ තමා ලංකාද්වීපය හැර දා සැබවින් පැමිණියේ දිවි බේරාගන්නා ගමනක් බවයි. රෝහණය හා පොළොන්නරුව අතර නොබෝ කලකින් ඇති වන මහා යුද්ධයෙන් හා ඒ සමග පැතිරෙන යුද උන්මාදයෙන් තමා නැසී යනු ඇත. එවැනි ගිනිගන්නා ලොවකට තමාගෙන් ඇති ඵල කිම? ගරුඬාචාර සෙවීමේ වුවමනාව, ඒ විපත දකිමින් යොදාගත් භවාංග චිත්ත නිමිත්තක් පමණි (251). එහෙත් ඔහු වැළපුණේ ‘තම දුකට වඩා ලංකාද්වීපය ගැන ඇතිකර ගත් මහා දුකකිනි (252). එය කලාකරුවන්, උගතුන් හා බුද්ධිමතුන් තුළ මතු වන චින්තනය නොවේ ද?

කායකණ්ඩ ශ්‍රී විජය රාජ්‍යයේ දිවි ගෙවන්නේ බහු ජාතික, බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයකය. මේ කාලයේ ලංකාද්වීපය යුද කැරලිවලින් ගහන විය . එය තිවංක පිළිමයක් නම් එක කවයක් පමණක් යාන්තමෙන් ඉතිරි වුණු අවාසනාවන්ත දේශයකි. මේ පිළිබඳ කායකණ්ඩ කනගාටු වුවත්, ඔහුගේ ජීවිතය සේම දෘෂ්ටිය ද අන්තවාදී නොවේ. තමා ද යාවජීව සාමාජිකයෙකු ලෙස ඇතුළත් කර ගන්නා ලද විශ්වාන්තර සර්වාර්ථවාදී ගුරුකුලය, රහස් කවයේ ස්වර්ණපුර ජාතික අන්තවාදයට හා ස්වර්ගවාදයට අනුගත නොවී ගොඩනඟන සාමූහික ඉතිහාසයේ විශ්මය දෙස කායකණ්ඩ බලා සිටියේ තමාගේ ශ්‍රී විජය ගමන අර්ථශුන්‍ය නොවීම ගැන ඇති වුණු නොමඳ සතුටකිනි (279). ඔහු ලංකාද්වීපයේ ඉතිහාසය දෙස අලුතින් බලන්නට පෙළඹුණේය. අලුත් චරිත ලංකාද්වීපයේ ඉතිහාස අම්බරයට නැඟුණි. බුද්ධිපාල භික්ෂුව කියූ පරිදි භුමි මතයට වහල් නොවී මුහුදු මතය පිළිගත් බව පෙනෙයි. පොත්ගුල සමීපයේ ඇති බෞද්ධ විහාරයක, හින්දු දේවාලයක, අරාබි පල්ලියක, සිරියන් ක්‍රිස්තියානි දේව මන්දිරයක ඝණ්ටා හා යාතිකා හඬ එකිනෙක හා මුසු වෙමින් එක පෙළට නිකුත් විය (301). ගරුඬාචාර හමුවන අවස්ථාව වන විටත් ඔහුගේ චින්තනය මුහුදු මතයට නැඹුරු වී තිබුණි. ගරුඬාචාරගේ මුහුණ, කට, සිරුර, ගමන හා වස්ත්‍ර විසින් පළ කරන ලද්දේ ස්ථවිරගේ සමුද්‍ර මතය තහවුරු කරන අන්දමේ දේවල්ය (303). ඔවූහු යවනය ගමනාන්තය කරගත් අනතුරුදායක ගමනට එක් වෙති. කායකණ්ඩ ගමනට සූදානම් වූයේ නැවක් හා වියපත් ජීවිත හතරක් පරදුවට තබා යන ඒ ගමන ශ්‍රී විජය මෙන්ම ලංකාද්වීපය වෙනුවෙන් ද යායුතු ගමනක් බව සිතමිනි (304). ආගමික භක්තිකයා ද, ශාස්ත්‍රඥයා ද, කලාකරුවා ද ආදී සැමදෙනා තුළ විවිධ අරමුණු වුවත් සත්‍යය සොයාගැනීමට නම් ලෝකය ගවේෂණය කළ යුතු බව මෙයින් ඉඟි කරනවා සේය. එය ඊට පෙර සාකච්ඡා මගින් ද එය මතුකර තිබූ මෙය සත්‍යය පිළිබඳ බුද්ධිවාදී හා අනුභූතිවාදී ප්‍රවේශ අතර පාලමක් තැනීමට ඉමානුවෙල් කාන්ට් ගත් මග සිහිකරන්නකි. දෙවන කවය නිම වන්නේ මේ අවදානම් ගමනට වන සූදානමෙන් මිස එහි ප්‍රතිඵල දක්වා කතාව හමාර කිරීමකින් නොවේ. තෙවන කවය යළි පාඨකයා වර්තමානයට ගෙන ආවද මෙහි අලුත් කතා නායකයෙක් අපට මුණගැසෙයි. ඔහු ද අරගලයට යම් සබඳතාවක් දැක්වූ කායකණ්ඩ කතාවේ අත්පිටපත, සමිත අබේපාල නමින් ප්‍රකාශයට පත්කළ දයාපාල ගම්ලත් නමැති නීතිඥයා ය. තුන්වන කවයේ දී අපට පළමු කවයේ කතානායකයා සාක්ෂිකරුවකු මෙන් සුළු භූමිකාවක් නිරූපණය කරයි. දයාපාල දකුණු පළාතේ සාමාන්‍ය පවුලක උපත ලබා දැන් කැලණියේ පදිංචිව සිටින අවිවාහක නීතිඥයෙකි. ඔහු අරගලකරුවන් වෙනුවෙන් මානව හිමිකම් නඩුවලට පෙනී සිටි අයෙකු වුවත් මේ අත්පිටපත ප්‍රකාශයට පත් කිරීම නිසා විවිධ විවේචනවලට ද ලක් වූවෙකි. සැබෑ කර්තෘවරුන් අමු අමුවේ ඝාතනය කොට බොරු අවතාර කතුවරයෙකු මතුවීම යන විවේචනය එයින් ප්‍රබල එකකි. ඔහු මානසික ව්‍යාකූලත්වයට පත් වන්නේ මේ විවේචන නිසාම නොවේ. ඉතා දුක සේ තමා ඇතුළු පවුලක් නඩත්තු කළ තම පියාද සිහිවීමෙනි. දැනට ජීවතුන් අතර නැති දයාපාලගේ පියා – ජයසේන, සෙනරත් පරණවිතානයන් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ, සෙල් ලිපි ස්පර්ශ ලාංඡන ගැනීමට උපකාරී වූ සුළු සේවකයෙකි. මෙය ද සංකේතාර්ථ දක්වන චරිතයකි. සෙල් ලිපි නිසා එතෙක් වූ සම්මත ඉතිහාසය අලුතින් ලිවීමට සිදු වේ. නවකාතාවේ සමුදයාර්ථය ද එය ම නොවේ ද? ඊට පෙර විවිධ කම්කරු වෘත්තීන් හි නියැළී ඇති ජයසේන කාර්යක්ෂම අවංක සේවකයෙක් විය. තම පියා ද පෙනී සිටින පරණවිතානයන් ඇතුළු කෞතුකාගාර නිලධාරීන්ගේ සමූහ ඡායාරූපය දකින දයාපාල තුළ හටගත්තේ අරගලයට කෙළින්ම දායක වී ලබන ලද කුරිරු සතුටකින් යුතුවය (333). ඔහු තමා සතු වූ අත්පිටපත මුද්‍රණාලයෙන් අතුරුදන්වීම ගැන මුද්‍රණකරුට එරෙහිව නඩු පැවරුවේ එය ඔහුට වැදගත් ලේඛනයක් වූ බැවිනි. එක් අතකට චරිත වශයෙන් කලින් හැඳින්වීමක් නැති චරිත එකට මුණගස්වා, ගට්ඨනය කොට එකිනෙකා හඳුනාගන්නා ආඛ්‍යාන තුනක් මගින් සත්‍යය අනාවරණය කිරීමට කතුවරයා ගත් මාර්ගය නැවුම්ය. සමහර විට මෙය ග්‍රීක ත්‍රිනාටක ආකෘතිය ද, ඊටත් වඩා බෞද්ධ ජාතක කතා ආකෘතිය ද සිහියට නංවයි. වර්තමාන කතාව, අතීත කතාව හා පුර්වාපර සන්ධි ගැළපීම ජාතක කතාවල පැහැදිලි ආකෘතිය වේ. මේ නවකතාවේ ඉහත ආකෘතිය අඩු වැඩි වශයෙන් හඳුනාගත හැකිය. එහෙත් මෙහි කිසිදු තැනක පූර්ව චරිත, වර්තමාන චරිතවල පූර්ව ආත්ම ලෙස හඳුන්වා නොදෙයි.

වර්තමානය, අතීතය හා ඒ දෙක එකට බඳින කතා ආඛ්‍යාන තුනක් තිවංක කතාවට ඇතුළත් වේ. පොදුවේ මේ ආඛ්‍යාන තුනෙහි ම යොදා ඇති භාෂාව ප්‍රබලය. එහෙත් ඒ ඒ යුගවල සුවිශේෂී බව අඟවන භාෂා රටාවක් යොදා තිබීම අගනේය. දෙවන කවයේ භාෂාව සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ආකෘතියෙන් ලද ආභාසය නිදසුන් ලෙස දැක්විය හැකිය. මුළු නවකතාව පුරා දක්නට ඇති කතුවරයාගේ කවීත්වය හා බහුශ්‍රැතභාවය පාඨකයාගේ විමංසන බුද්ධිය හා සෞන්දර්ය ඥානය එක විට ඔසවා තබන සුලු වේ. මෙහි දෙවන කවයේ ප්‍රකාශ වන දාර්ශනික සංකල්ප පුනරුක්තියෙන් භාවිත කිරීම අවශ්‍ය ද යන ගැටලුව හා එහි තෙවන කවයේ සිදුවීම් මාලාවට එම මතවාදය ඍජුව සම්බන්ධ නොවී, දයාපාලගේ සංශය උත්කර්ෂයට නැඟීම කෙතෙක් දුරට යෝග්‍ය ද යන්න ගැන තව දුරටත් සිතා බැලීම සාධාරණ ය. කෙසේ වුවත් තිවංක කතාව පාඨකයා, ලෝකය දෙස මෙන් ම තමා දෙස ආපසු හැරී බලන්නට පොලඹවන නවකතාවක් බව කීම සාධාරණ ය.

● සුගත් වටගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment