රසිකා මුහන්දිරම් නම් වන කිවිඳියගේ “ගැහැනු හිටියෙම හිනා වී ගෙන” කාව්‍ය සංග්‍රහය කියවන ඕනෑම සංවේදී පාඨකයකු තුළ ඇතිවන්නේ විස්මයකි. විශ්වනාථයන් කී සේ සිත පුරවන විස්මයම චමත්කාරය නම් වුවත් මෙහිදී එම අරුත අතික්‍රමණය කරමින් සූක්ෂමතාවයෙන් පිරුණු චින්තනයෙන් යුතුව තමන්ද අයත් වන ගැහැනිය දෙස ගැහැනියක ලෙස ගැහැනු ඇසින් බැලීමත්, ගැහැනිය පිළිබඳ ගතානුගතික ආචීර්ණ කල්පික මතවාදයන් නොසලකා හරිමින් හුදු විරෝධාකල්ප ජනනය වන පටු සීමාවක සිරනොවී තමන්ගේම වූ ඇසකින් ගැහැනිය සංස්පර්ශයට ලක් කිරීමත් රසිකා මුහන්දිරම්ගේ කවියේ සටහන්ව ඇති අනන්‍ය සාධාරණ සුවිශේෂී ගුණාංගය වේ.

එය දෘෂ්ටිමය වශයෙන් හුදු ජනප්‍රිය ස්ත්‍රීවාදී කෝවක සිර නොකොට තමන්ටම ආවේණික වූ බහුවිධාර්ථවත් දෘෂ්ටියකින් ස්ත්‍රී රුවගුණ සෝ තැවුල් සන්තාප ඈ සියල්ල අවලෝකනය කිරීමකි.

එ නිසා මෙය කලකට පසු පද්‍ය සංග්‍රහයක් කියවා අපූර්ව රසාස්වාදයක් ලැබූ විරල දුර්ලභ අවස්ථාවක් සේ දකිමි. කිවිඳිය තුළ නිසර්ගයෙන්ම පිහිටා ඇති කාව්‍ය ප්‍රතිභාව නැතිනම් කවිකම මින් සූචනය වන්නේ අපූර්ව කාව්‍ය රස දනවමිනි. සැබවින්ම එය රසෝඝයක්සේ හැඳින්වීම සාධාරණය.

සමස්ත කාව්‍යයේම මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ “ඔබ යෙහෙළිය ඇය ගැහැනිය” කාව්‍ය සංග්‍රහයේ දී මෙන්ම වෛෂයික ලෝකය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ මහා පොළොවේ දිවි ගෙවන සුඛදුක්ඛාදී සියලු සංවේදනා දරා ගනිමින් සිටින ගැහැනියයි. එම ගැහැනිය ඇගේ කවි සිතේ රූපණය වන්නේ සරල ශෝකාර්ථය ඉක්මවා ගිය උත්ප්‍රාසාත්මක අර්ථයකිනි.

“දහ අට ලබන අවුරුද්දට
මාස හතරයි බඩට
කසාද සහතික නැතුවට
දරුවො හැදෙනවා ගෑනු දරුවන්ට
ඇත්තටම දරුවෝ
දරුවගෙ තාත්තා කවුරුද”

(නර්ස් නෝනා ඇසූ ප්‍රශ්නය)

නර්ස් නෝනාගේ මුවින් පිටවන්නේ සමස්ත සමාජයම එක හඬින් අසන සම්මත ප්‍රශ්නයයි. දහ අට වියේ පසුවන මැයගේ සිවුමසක් වූ කුසේ සිටින කලලමය දරුවාගේ පියා කවුද යන්නයි. දැරිය පවසන්නී සමස්ත සමාජයම නිරුවත් කරන පිළිතුරකි. සියලු පුරුෂයෝ ඇගේ පිළිතුරේ මුල මැද අග රැඳී සිටිති. සම්මත සමාජයේ ප්‍රශ්නයක් දැරියගේ පිළිතුරක් තුළ දෘෂ්ටිගතවන්නේ කිවිඳිය සතු සෝපාහාසාත්මක සමාජ කියැවීමයි.

“සුජාතා මොකද කිරිපිඬු දුම්රස
උම්බලකඩ කෑල්ලක් තිබ්බ නම්
රසයි සම්බලට.”

(හිමියනි බණ නොවේ දැන් ඕනෑ අපට)

මෙහි නිමිත්ත වන්නේ සුජාතාවගේ කිරිපිඬු දානය නම් වන බුදු සිරිත හා බැඳුණු ප්‍රවෘත්තියයි. එහෙත් පද්‍ය පන්තිය නිර්මාණය වන්නේ විහාරවාසී භික්ෂුවකු හා සුජාතා නම් වන දිළිඳු ගැමි ගැහැනියක අතර සිදුවන සංවාදයක ස්වරූපයෙනි. දිළිඳු ඇය පුදන කිරිබත දුම්රසය. සම්බලයට උම්බලකඩ කැබැල්ලක් හෝ නැත. වෑංජන ලෙස ඇත්තේ ගහල අලකොළ මාළුවකි. මේ නීරස දානය ගැන භික්ෂුව නගන මැසිවිල්ල තුළ ඇති උත්ප්‍රාසය අති ප්‍රබලය. භික්ෂුව පිළිබඳව නැගෙන උපහාස හාස්‍යය ද සුජාතා මගින් ප්‍රකාශිත දහසකුත් දුක්පීඩා වළඳන ගැහැනිය පිළිබඳ යථාර්ථයද එකම පැදි පෙළ තුළ ගොනු කර ඇති ආකාරය අපූර්ව නිර්මාණශීලී බුහුටිතාවකි.

“පියසිරි සිරකරුවෙකි
එබැවින් පියසිරිද මිනිසෙකි…”
සිරකරුවෝද මිනිසුන්ය.

මෙය ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන සුලබ පාඨය මතු පිටින් සිහිගන්වයි. එහෙත් මෙහි එන පියසිරි සිරකරුවකු වන්නේ කොහෙදීද? පන්සලේදීය. පාසලේදීය. නිවසේදීය. පන්සලේදී උපාසකයකු වන පියසිරි පසඟ පිහිටුවා වඳින රාධිකාගේ අඟපසඟ සිතින් මනී. පාසලේදී ගුරුවරයකු වන හෙතෙම සාහිත්‍ය පාඩමේදී ජානකීගේ උකුල වටපළු මනී. සම්මත සදාචාරයේ කඩතුරාවට වැසුණු පිරිමි සිත අනාවරණය කරමින් ඔවුන්ගේ ජාගර චිත්තය විදාරණය කරන්නේ පෙර කී උත්ප්‍රාසයෙනි. කිවිඳියගේ වෛෂයික ලෝකයේදී සොබා දහමට අලුත් වස්තූන් හා ප්‍රාණීන් අලුත්ම උත්පත්තියක් ලබන ආකාරයද අපූරුය. ඒවාට ලබාදෙන ජීවය හා අරුත විස්මයක්ම දනවයි.

“තෙත බරිත වලාවක්
සළු මුදයි නැතුව ලජ්ජාවක්
ගතවුණේ මොහොතක්
පොළොවෙ තිබුණා
හාද සලකුණු දහසක්”
– වැස්ස

මෙහි වැස්ස නම් වන භෞතික ක්‍රියාවලියට ලබාදෙන නව අරුත ඔස්සේ මතු කරන ශෘංගාර රසය චමත්කාර ජනකය. තෙත බරිත වූ වලාවෙන් නැගෙන වැස්ස නිර්ලජ්ජීව සළු මුදා හැරීමකි. වැසි බිඳු පොළොවට පතිතවීම හාදු සලකුණු දහසක් පොළොවේ සටහන්වීමකි. ස්ත්‍රී පුරුෂ අනුරාගය වැස්ස නම් වන සුපුරුදු සොබාදහමේ ක්‍රියාවලිය හා මුසු කරන ආකාරය ශෘංගාර රසය නව මානයකින් පෙන්වන්නකි.

“කරල කන්ඩෙම්, හඳ උඹ මං වගේද, නඩු අවනඩු, ප්‍රේමය දැක්කෙම තුත්තිරි ගස්වල ආදි පද්‍යවලද මේ අයුරින්ම සොබා දහමට ලබා දෙන අපූර්ව ජීවය හා අරුත රස භරිතය.

සමාජ පීඩනය විසින් ගැහැනියට උරුම කර දෙනු ලබන පාපකාරී ජීවිතය කිවිඳිය හසු කර ගෙන ඇත්තේ හුදු විරෝධාකල්ප දෘෂ්ටියකට සීමා කිරීමකින් තොරවය. ඇගේ කවිමග පුරා හුයක් සේ ඇදී යන්නේ සෝපහාස දෘෂ්ටිය සමාජ කම්පනය හා ඒකාත්මික කරමිනි.

“හක්කෙ මුතු හංග ගත්තු
ඉහළ කුල දළ ඇත්තු
තුන්පත් දෙනිවල හේ කරපු
සුවච කීකරු සත්තු
පැයේ කුලියට රැයේ මල් නෙළනවා
කාලිසං කමිසවල ජීවිතය හංගපු
මඳ කිපුණු බෝ සත්තු”

  • දඹානේ කැකුළියක් හෝටල් කාමරයකදී කතා කරපු හැටි.

මෙය බැලූ බැල්මට හෝටල් කාමරයකට විකිණෙන ගැමි කෙල්ලකගේ ඛේදවාචකයක් සේ කෙනෙකුට දැනෙන්නට ඉඩ තිබේ. එහෙත් කිවිඳිය මේ කෙල්ල දඹානේ කැකුළියක කිරීම තුළින් මේ සමාජ ඛේදවාචකය සාමාන්‍ය ගම ඉක්මවා පැතිරුණු වස්සානයක් බව ඉඟි කරන්නීය. වනයේ වෙසෙන ඉහළ කුල දළ ඇතුන්, තුන්පත් රෑන්, මඳ කිපුණු බෝ සතුන් යනාදි කාව්‍යෝක්තින් කාම සේවනයට හෝටල්වලට ඇදෙන මහත්වරුන් සඳහා යොදාගන්නේ උත්ප්‍රාසය දනවන ලෙසිනි.

“මම මුරුංගස්යායේ කුසුමලතාය” නම් පද්‍ය පන්තියේ මතු පිටින් සිටින්නී කසිප්පු විකුණන ගැහැනියකි. එහෙත් කවියේ ඇතුළාන්තයේ සිටින්නී පුරුෂ පීඩනයේ ගල ග්‍රහණයට හසුව ජීවිතය සමග පොර බදන පුරුෂ ධෛර්යයෙන් හෙබි ගැහැනියකි. “බාරිවුවත් නාලාගිරිගෙ” මේ කාව්‍යෝක්තිය තුළ ඇති සන්දිග්ථාර්ථය අතිශය ප්‍රබලය. පැදි පෙළ පුරා ඇත්තේ නොමනා වෘත්තියක යෙදෙන ගැහැනියක ගේ ජීවත්වීමේ රූක්ෂ අරගලයයි. එහි ගැබ් වන දුක්ඛ දෝමනස්සය කවිය තුළින් ගලා එන සිහිල් දියත්තක් සේ පාඨක හදට දැනේ.

“අපරාදෙ අම්මේ අලුත් යට සාය” නම් පැදි පෙළ ද අපූර්වත්වයෙන් පිරුණකි. දියණිය අම්මාට කියන්නේ යට සායක කතාවකි. ගිය මාසේ පඩියෙන් ගත්, බාල පොප්ලින්වලින් මැසූ, ඉනට ඉලාස්ටික් පටිය සහිත යටසායක් ගැනය. මේ බාල යටසාය ඇයට ඉතා අගනේය. එමෙන්ම යටසාය යන යෙදුම සංකේතාර්ථවත්ය. කිරි කපන දියණියගේ ජීවිත ඛේදවාචකය මතු කරන්නේ රබර් ගස්, කැකිල්ල පඳුරු යට කරගෙන දැවැන්ත ලෙස වැඩී ඇති ආකාරය මගිනි. විසල් කඳ සහිතව උමතුවෙන් මෙන් සෘජුව ඇති මහා රබර් තුරු ද වෙව්ලමින් ගලා ගොස් හිල් පොල් කටුවලට කිරි එකතු වන තුරුණු රබර් තුරුද සහිත මේ පරිසරය ඇය මුහුණ දෙන පීඩනය පිළිබඳ පුළුල් සංකේතාර්ථයක් මතු කරයි. ඇය දකින ඉහිරුණු කිරි බිංදුව හා වටිනා යටසාය අපවිත්‍රවීම මෙතෙක් ඇය කී කතාවේ පුළුල්ම සමාජ අරුත් පිළිබිඹුවයි. මින් ප්‍රකටවන්නේද කිවිඳියගේ පද්‍ය සතු සංදිග්ථාර්ථවත් බවය.

මෙබඳු පද්‍ය හුදු ආවේගශීලි විරෝධාකල්ප බවට පත්නොකර සමාජ පීඩනය පිළිබඳව පාඨක හද තිගැස්මකට, සසලබවකට පත් කරන ආකාරය සුවිශේෂිතය.

රසිකාගේ කවිය සතු නාට්‍යමය ආකෘතිය ද විශේෂිතය. එය විටෙක ප්‍රස්තුතයට අයත් චරිත හා සම්බන්ධ වේ. තවත් විටෙක කථකයකු හා සම්බන්ධ වේ. “යසෝදරාගෙයි මගෙයි ඇනිවසරිය” පැදි පෙළේ යසෝදරා පිළිබඳව උත්තම පුරුෂ කථනයෙන් පවසන්නේ ඇගේ සැමියාය. “අපරාදේ අම්මේ අලුත් යටසාය” ගැන අම්මාට කියන්නී දියණිය ය. එහෙත් අම්මා චරිතයක් සේ මතු නොවේ. මේ ආදි වශයෙන් බොහෝ පද්‍ය පන්තිවල එන නාට්‍යමය ආකෘතිය කවියට අපූරු ජීවයක් ලබාදෙයි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙම කෘතියේ හැඳින්වීමේදී සඳහන් කරන ආකාරයට කවිය තුළ සිටින කිවිඳිය නිර්භීතය. එඩිතරය. සමාජ තහංචි නොතකන්නීය. ඇයට මේ සමාජය කාව්‍ය අත්දැකීම් සඳහාම වූ කෝෂ්ඨාගාරයකි. මෙම විෂම සමාජයේ වෙසෙන ගැහැනිය දැන හඳුනාගැනීමේ සූක්ෂමතාව ඇය සතුය. මෙම පද්‍ය සරණිය ජීවයෙන් පිරුණු අපූර්ව නිර්මාණ සංග්‍රහයක් වන්නේ එබැවිනි.

ප්‍රීති බණ්ඩාර ධනපාල

advertistmentadvertistment
advertistmentadvertistment