රංගනය!

අපේ වෙල අද්දර සුදත් රෝහණ මහත්තයා ටෙලියක් කරනවා. මට හිතුණා බලන්න යන්න. මං බලලා නෑ කවදාවත් අධ්‍යක්ෂවරයෙක් ටෙලිනාට්‍ය කරනවා. අධ්‍යක්ෂකලා නැති ටෙලිනාට්‍ය අද හැම තැනම තියෙන්නෙ. කුතුහලය දරන්න බැරි හින්දා මං ගියා වෙල අද්දරට රඟපානවා බලන්න. ටික වෙලාවයි ගියේ. සුදත් මහත්තයා මං ළඟට ආවා. “බැරිද ඔබ තුමාට පොඩි රඟපෑමක් කරන්න?” එතුමා ඇහුවා මගෙන්. මං උඩ බිම බැලුවා. කවදාවත් මට රඟපෑමේ ආරාධනයක් ලැබිලා නෑ. ආරාධනා නොකර ඕන තරම් රඟපාලා තියෙනවා මං. මුලින්ම රඟපෑවේ ගෑනු ළමයෙක් යාළු කරගනිද්දි. ඊට පස්සෙ කසාද බඳිද්දි. විවාහ මංගල උත්සවයෙ කරපු රඟපෑම රූපවාහිනියට දැම්මා නම් සම්මාන ලැබෙනවා සිකුරුයි.

“මං රඟපාලා නෑ. ඒත් උත්සාහ කරන්න පුළුවන්,” මං කිව්වා සුදත් මහත්තයාට. “මේක ටිකක් සීරියස් වැඩක්. අපට ඕන කරනවා දේශපාලනඥයෙක්ගේ රඟපෑමක්.” සුදත් මහත්තයා කියා සිටියා. මාව ගැස්සුණා ටිකක්. මං දේශපාලකයො රඟපානවා දැකලා නෑ. දේශපාලනඥයන්ට රඟපාන්න පුළුවන්ද? රඟපාන දේශපාලනඥයො ඉන්දියාවේ ඉන්න පුළුවන්. අපේ නෑ. “මොන චරිතෙද මට තියෙන්නෙ?” අන්තිමේ මං ඇහුවා. “අපට චරිත කීපයක් ඕන කරනවා. මට තමුන්නාන්සෙ දිහා බැලුවාම හිතුණා ඒ චරිත ඔක්කොම තමුන්නාන්සෙට කරන්න පුළුවන් කියල,” අධ්‍යක්ෂතුමා පැහැදිලි කළා. මං කල්පනාවට වැටෙද්දි ඔහු මෙහෙම කිව්වා:

“අපි ඉස්සෙල්ලා ජනාධිපතිතුමාගේ චරිතය කරමු.”

මාව සීතල වුණා ඒක ඇහුවාම. රඟපෑම වැරදුණොත් මොන ඉරණමකට මුහුණ පාන්න වෙයිද කියල මට හිතුණා. මට මතක් වුණේ බටලන්ද. “බය වෙන්න එපා. මේක අයිටීඑන් එකේ යන නාට්‍යයක්.” සුදත් මැතිතුමා බය අරින්න හැදුවා මගෙ. “කමක් නෑ. උත්සාහ කරන්නම්කො,” මං උත්තර දුන්නෙ රඟපාලා ඉවර වුණාම පොඩි ගතමනාවකුත් ලැබෙයි කියල හිතලා.

අපි ගියා ටෙලිය කරන සෙටින් එක දිහාටග. අන්න එතනදි අජිත් රෝහණ මහත්තයා පිටපත කියෙව්වා! සමාවෙන්න! සුදත් රෝහණ මහත්තයා. කියවලා කිව්වා කැමරාව දිහා බලන් එයා කියපු ටික කියන්න කියල. ඒත් කියන්න කලින් මං පිටපත ඉල්ලාගෙන බැලුවා. ඒක බලද්දි දෙලෝ රත් වුණා මගෙ. ඒත් මං කියෝපු ටික කිව්වා. මෙන්න කියපු ටික කැමරාවට:

“මිත්‍රවරුනි, ඕන කෙනෙක් ඕන සන්ධානයක් හදාපු දෙන්. සන්ධාන එන තරමට හොඳයි. මොකද එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නෙ. ඒත් මතක තියාගන්න. මොන ඡන්දෙ තියන්නත් භාණ්ඩාගාරෙ ශක්තිමත් වෙන්න ඕන. අපේ රට බංකොළොත් වෙන එකෙන් මං රට මුදා ගත්තත් ඡන්දෙ තියල ආයෙත් බංකොළොත් කරන්න රට මං කැමති නෑ. තමුන්නාන්සේලා කැමතිද ඒකට?”

සුදත් මහත්තයා හිනා වුණ. හිනා වෙලා මාව වේශ නිරූපණයට යැව්වා. එතනින් මං එළියට ආවේ ජනාධිපති වෙලා. මෙන්න ඉතිං ජනාධිපතිතුමා නියම ෂොට් එකේ කථා කරනවා:

“දැන් අපි අයිඑම්එෆ් එකේ දෙවැනි වාරිකය ගන්න වැඩ කරගෙන යනවා. ඒක ගන්න බෑ අපි හැම දෙනාගෙම සහයෝගය නැතුව. ඒත් මේ ගොල්ලො ඡන්දෙ ඉල්ලනවා. ඡන්දෙ ඕනෙ නම් තියන්නම්. හැබැයි ඊට කලින් අපි විසඳුමක් දෙමු උතුරු නැඟෙනහිරට. අපි පොලිස් බලතල පැත්තක තියලා ඉතුරු ටික ඒ අයට දෙමු. පස්සෙ බැරියැ පොලිස් බලතල, හමුදා බලතල, ත්‍රස්තවාදී බලතල ඔක්කොම දෙන්න.”

අධ්‍යක්ෂවරයා ප්‍රීතිමත් මුහුණක් පෙන්වද්දි මං කතාව නතර කළා. ඒ එක්කම එතුමා කිව්වා මෙහෙම: “වචන විතරක් නෙවෙයි, රඟපෑමත් තියෙන්න ඕන.”

ඇත්ත. කථා කිරීම නෙවෙයි රූපණය කියන්නෙ. රූපණය කියන්නෙ විෂයක්. ඒක ඉගෙනගන්න ඕන. යන්නකො අනෝජා වීරසිංහගෙ රූපණ පන්තියට. උගුර බල්ලො කෑවත් රූපණය ඉගෙනගන්න පුළුවන්.

“අපට අනුර සහෝදරයාගේ රඟපෑමක් ඕන කරනවා දැන්.” ඒ, සුදත් රෝහණගේ ඊළඟ නිර්දේශය. ඉතිං කලින් වගේම වටයක් ගියා මං. මෙන්න දැන් අනුර සහෝදරයා ඇවිත්. ඒත් සහෝදරයාගේ කතාව ජනාධිපතිවරණයට කලින් කරපු එකක්ද පස්සෙ කරපු එකක්ද කියල ගැටලුවක් තිබුණා මට”

“කවදාවත් හිතුවාද මේ රට විනාශ කරපු පාලකයො, මෙච්චර ජන ගඟකින් මාව උස්සලා තියනවා ඇස් දෙකෙන් දකියි කියල? මං එකක් කියන්නම්. අපි මුක්කු ගහන්නෙ නෑ කවදාවත් ඉස්සරහට. මුක්කු ගහපු කාලෙ ඉවරයි. මුක්කු නෙවෙයි අපි යක්කු බොලව්! නෑ. අපි ඕන වෙලාවක යක්කු වෙන්න පුළුවන්. අරගලකාරයො වෙන්න පුළුවන්. ත්‍රස්තවාදියො වෙන්න පුළුවන්. හැබැයි මොක වුණත් අපි සිල්ලරට ජීවිත දෙන්නෙ නෑ. අපි යන හැම තැනම යන්නෙ ආරක්ෂකයො එක්ක. අපි නරක මිනිස්සු හොඳේ!”

මං කථා කරගෙන යද්දි සුදත් රෝහණ තුමා කට්… කට්… ගෑවා. “කථාව තිබුණාට මදි. කෝ අභිනය?” මොරගෑවා එතුමා. මං දර්ශන තලයෙන් ඈත් වෙලා අනුර සහෝ ගැන චිත්ත රූපයක් මවාගන්න උත්සාහ කළා. ඒත් මට ආවේ එකම රූපයයි. පැත්තක් බලාගෙන, කිණ්ඩි හිනාවක් දාන පිංතූරය. මට රඟපාන්න තේරෙන්නෙ නෑ කියල කියන්න හිතුණත් මං දන්න අනුර සහෝගේ රූපය ඉදිරිපත් කළා සුදත් මහත්තයාට:

“අපේ සැලුන් දොරක් නෑ. ඒත් අපේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් අපි බලන්නෙ නෑ එන මිනිහා පාස්කු ප්‍රහාරෙට සම්බන්ධද, නෙළුම් පොහොට්ටු විකුණපු කෙනෙක්ද, තිස්සකුට්ටි කෙනෙක්ද කවුද කින්ද මන්ද කියල. ඒත් මතක තියාගන්න, අපි අපේ ආණ්ඩුවේ ඇමැතිධුර දෙන්නෙ නම් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට විතරයි.”

අනුර සහෝදරයාගේ කතාව නතර වුණේ නෑ එතනින්. ඒත් මට කතාව ටිකක් නතර කරන්න සිද්ධ වුණා ෆොන්සේකා සහෝදරයා, නෑ, ජෙනරාල්තුමා එතනට ආව හින්දා. ඉතිං ආයෙත් මං රැඟුවා”

“ඇත්ත වශයෙන් සහෝදරවරුනි, අද රට කාබාසිනියා වෙලා තියෙන්නෙ. ඒක ගොඩගැනීමේ භාරධුර වගකීම අපට පැවරිලා තියෙන්නෙ. අපට එතනදි හුඟක් දේ පිටරටවල් එක්ක එකතු වෙලා කරන්න තියෙනවා. අමුල් වගේ, ලයිකා මොබයිල් වගේ ආයෝජකයො එතනදි අපට හුඟක් ඕන වෙනවා. දැන් පොත්වල මිල වැඩියි. මිල වැඩි වෙන්න එක හේතුවක් රට ආපස්සට යවන, කිසි ප්‍රගතිශීලීකමක් නැති පොත් ලියන්න, පළ කරන්න ලේඛකයො, ප්‍රකාශකයො බලන හින්දා. මේක නැති කරන්න මං අපේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍ය ධුරය අමරකීර්ති මහාචාර්යතුමාට භාර දෙනවා. අපේ ආණ්ඩුව දිවුරුම් දුන් දාට පහුවදා ඉඳලාම කාටවත් ඕන ඕන විධියේ පොත් පළ කරන්න බෑ. ඒකට අපි අපේ මහාචාර්යතුමාගේ නිර්දේශය මත විශේෂ අනුමත කිරීමේ මණ්ඩලයක් පිහිටුවනවා. එතකොට කෙනෙක් පොතක් පළ කරන්න ඕන ඒ මණ්ඩලෙන් අවසර අරගෙන.”

සහෝගේ රූපණය ඉවර වෙද්දි තෙහෙට්ටු දැනුණා මට. මං දර්ශන තලයෙන් ඉවතට යන්න බලද්දි මෙන්න සුදත් මහත්තයා ආපහු ඇවිත්. “මීළඟ රෝල් එක ඉවර කළා නම් ඔක්කොම ඉවරයි මෙතනින්!” ඔහුගේ ස්වරය බැරෑරුම්. ඉතිරි ලියද්දත් වපුරලා කෑම කන එක හොඳයි කියල හිතුණා මට. මං මුහුණ දුන්නා ඊළඟ අභියෝගයට.

“මේ චරිතෙ හුඟක් දෙනා කරනවා යූටියුබ්වල. ඒත් මං බලාපොරොත්තු වෙන ආටිස්ටික් ගතිය ඇවිත් නෑ,” අධ්‍යක්ෂ සුදත් කියා සිටියා. “හරි. දැන් අපට තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ භූමිකාව!”

මං වචනයක් දෙඩුවේ නැහැ. දේශපාලනය අහනවා වගේම දේශපාලනය රඟපෑමත් අජූතයි කියල හිතුණා මට. අන්තිමේ මං ජනතාවගේ ජනප්‍රියම දේශපාලනඥයා වුණා. ඒත් වාචික අභිනයට එන්න කලින් මට ආංගික අභිනයකුත් කරන්න තිබුණා. කවුදෝ පොඩි එකෙක් දර්ශන තලයට ගෙනත් තිබුණු නිසා ඌව උස්සලා, කිස් එකක් දීලා, පපුවට හයියෙන් ගහගෙන මං වාචික අභිනයට ආවා”

“දැන් මේ රටේ හුඟක් දෙනාට මිත්‍රවරුනි, අතීතය මතක නෑ. අපි යුද ජයග්‍රහණය ලබන්න කලින් හිටපු විදිය මතක නෑ. මතක නැති වෙලා විතරක් නෙවෙයි, අපිම දුන්නු වයිෆයි – ලැප්ටොප්වලින්, මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානවලින් දැනුම අරගෙන අපටම ගහනවා. අපි ඒකට මොනවත් කියන්නෙ නෑ. ඒත් මේ තරුණ දරුවොන්ගෙන් ඉල්ලා හිටිනවා පොඩ්ඩක් එදා අපේ මිනිස්සු ගත කරපු කාලෙ හොයලා බලන්න කියල. ඒ වගේම මං අහනවා අපේ අම්මලාගෙන්, කෝ ලූනු තියෙනවාද, කැරට් ගන්න පුළුවන්ද කඩෙන්, මාළු ලාභද අද කියල.”

තෙහෙට්ටුවෙන් හිටි නිසාද මන්දා මට ටිකක් පිටපත පැටලුණා මෙතනදි. ඉතිං මං පිට ගියා ටිකක්”

“අපි මාධ්‍ය ආයතන දේශපාලනීකරණය කළේ නෑ හාමුදුරුවනේ. දේශපාලනීකරණය නොකරපු හින්දා තමයි අපි කලාකාරයන්ව සභාපතිලා, අධ්‍යක්ෂකලා කරලා අයිටීඑන් එකට, රූපවාහිනියට, ගුවන්විදුලියට දැම්මෙ. ඒගොල්ලො තමන්ගෙ නාට්‍ය ඒ චැනල්වලට දැම්මා කියල කියනවා. ඒත් මොකෝ? අපි දැම්මෙ හොඳ නාට්‍ය. හොඳ දේ අපි කළේ. මතක තියාගන්න, මං නාකි නෑ. මං ආයෙත් එනවා. ඇවිත් ඒ ශ්‍රේෂ්ඨ කලාකාරයන්ට රාජ්‍ය මාධ්‍ය භාර දීලා උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරනවා!”

මට කට්…. කට්…. ගානවා ඇහුණෙ කොතැනින්ද කියල මං දන්නෑ. ඒත් සුදත් රෝහණ මහත්තයා කොහෙන්දෝ පාත් වෙලා හයියෙන් කෑගහනවා ඇහුණා: “පිස්සු දොඩවනවාද ඕයි! පිටපත කියවනවා!”

මං ආපහු ගෙදර දිහාට හැරුණෙ සුදත් මහත්තයා ප්‍රකෝප මුහුණක් දල්වාගෙන ඉද්දි. ඒ මුහුණ හින්දාම මං රඟපෑව එකට ගාස්තුවක් ඉල්ලුවෙත් නෑ.

“ගාස්තු දෙන්න තමුසෙ නළුවෙක්ද ඕයි! නළුවො තමයි තමුසෙ ඔය ගෙනාපු චරිත නම්!”

මට ඒ වචන ඇහුණෙ කාගෙන්ද මන්දා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment