වික්‍රමසිංහයන්ගේ කොග්ගල තාක්ෂණ විශ්වවිද්‍යාලය

328

මාර්ටින් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (ජූලි 23) හරියටම වසර 47 කි. එදා මෙදා තුර ඔහුගෙන් සිංහල සාහිත්‍යයට හා රටට සිදු වූ සේවය පුවත්පත් ලිපි සිය ගණනකින් හා පොත්පත් දුසිම් ගණනකින් ප්‍රකාශයට පත් වී තිබේ. එහෙත් වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවූ තැන්ද ඔහුගේ භූමිකාවේ ඇත. මේ කියන්නට යන්නේ එවැන්නකි.

● ධීවර ගම

වික්‍රමසිංහ ඇති දැඩි වූයේ කොග්ගල මලලගම නම් ග්‍රාමයේය. මලලගම අක්කර දහයක පමණ වපසරියකින් යුත් ධීවර ගමකි. අක්කර 450 කින් යුත් කොග්ගල, ගම් නවයකින් සැදුණේ වූ අතර ඉන් එක් ගමකි, මලලගම. එය පිහිටන්නේ කොග්ගල – හබරාදූව වෙරළ තීරයෙන් මඳක් රට ඇතුළට වන්නට ය. ධීවර ගමක් නිසා එගමේ පිරිමි බඩ රස්සාවට ගියේ කොග්ගල මුහුදු තීරයටය. කොග්ගල ඔයේද ඔවුන් ධීවර කටයුතුවල නිරත වූයේ පිරිසක් ගොඩ ගොවිතැන ද කරමිනි. වික්‍රමසිංහ බාල වියේදී කොග්ගල ඔයටත් කොග්ගල මුහුදු තීරයටත් ගියේය. ගොස් ඒ අවට ගූඪ පරිසරයත් අසංඛෙයිය සංඛ්‍යාත ජල ජීවී ප්‍රජාවත් නිරීක්ෂණය කළේය. විනෝදයට මාළු ඇල්ලීමේ ද මේ අතර නිතර වූයේය. එම අපූරු අත්දැකීම් ‘මඩොල් දූව’, ‘අපේ ගම’ ආදී කෘතිවලටත් ඔහුගේ කෙටිකතාවලටත් ප්‍රවිෂ්ට වී ඇත. තවද එම අත්දැකීම් කොග්ගල ධීවර කර්මාන්තය පිළිබඳ ඔහුගේ අවබෝධය ද පුළුල් කළේය. වෙසෙසින් ධීවරයනට ඵලදායක ලෙස ධීවර කර්මාන්තයේ නිරත විය හැක්කේ කෙසේද යන දැනුම ඔහු තුළ ඇති කළේය. පසුකාලීනව පොතපත කියවා සහ රටරටවල සංචාරය කරමින් ලැබූ අවබෝධය වික්‍රමසිංහ දකුණේ ධීවර කර්මාන්තය අලළා අලුතින් සිතන්නට පෙළඹවීය. එහිදී ඔහුට පෙනී ගියේ දකුණේ ධීවරයාට හුදු සාම්ප්‍රදායික ක්‍රමෝපායන්ගෙන් හා ධීවර අත්දැකීම්වලින් පමණක් උපරිම මාළු අස්වැන්නක් නොලැබිය හැකි බවය. එවැන්නක් ලැබීමට ඔවුනට ධීවර කර්මාන්තයේලා ලෝකය ලබා ඇති විශේෂඥ දැනුම යම්තාක් දුරකට අවශ්‍ය බවය. එවැනි දැනුමක් ලැබුණහොත් ධීවරයාට වැඩි මාළු අස්වැන්නක් ලැබෙන සේම රටේ ආර්ථිකයට ද විශාල ශක්තියක් වන බව ඔහුට පසක් විය. ඒ අනුව වික්‍රමසිංහ මහතා 1970 වසරේ දෙහිවල තිසර ප්‍රකාශකයන් මගින් පිටු දහයක පොත් පිංචක් පළ කරමින් අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් කොග්ගල තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවිය යුතු බවය.

● තාක්ෂණ සරසවියක් (Technical University)

A University to Serve the Rural People මැයෙන් ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන එම යෝජනාව ඇතුළත් දිගු විවරණයෙන් ඔහු කියා සිටියේ ධීවර කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහාම එවැන්නක් ඉදිකළ යුතු බව නොවේ, ධීවර කර්මාන්තය සේම නූතන දැනුම නැතිවම බැරි කෘෂි, වැවිලි හා සෙසු දේශීය කර්මාන්තත් සියල්ල වෙනුවෙන් විශේෂඥ දැනුම ලබාදෙන එවැනි ආයතනයක් පිහිටුවිය යුතු බවය. ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා විසින් සංස්කරණය කරනු ලදුව සරස ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් වූ On Religion, Society and Politics නම් කෘතියේ දැන් ඔහුගේ එම ලිපිය සංග්‍රහ වී තිබෙන නමුත් අභාග්‍යයකට ගත වූ සමයේ කිසිදු රජයක් එම යෝජනාව කෙරේ අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත. සැබැවින්ම එය කියවන විට පැහැදිලි වන්නේ වික්‍රමසිංහ මහතා සාහිත්‍යකරුවකු ලෙස සිය කාර්යභාරය මැනවින් ඉටු කරද්දී මෙරට සමාජ, ආර්ථික හා දේශපාලන හදගැස්ම කෙරේ ඔහු කෙතරම් සංවේදී වූවාද සහ ප්‍රජා සංවර්ධනය උදෙසා ඔහුට කළ හැකි දේ කිරීමට කෙතරම් උත්සුක වූවාද යන්නය. ඉදින් අපි ඔහුගේ මෙම වටිනා යෝජනාවේ හරය විමසා බලමු.

ඔහු සිය විවරණය ආරම්භ කරන්නේ මෙලෙසිනි:

“මීට වසර විස්සකට පමණ පෙර යොවුන් දරු දැරියන්ගේ සිත් පැහැරගත් මගේ එක් ජනප්‍රිය නවකතාවක් එස්.එස්.සී. විභාගය සඳහා නිර්දේශ විය. එය 18 වතාවක් මුද්‍රණය විය. එහෙත් ඇතැම් උගත් බෞද්ධ භික්ෂූහු හා සදාචාරවාදීහු එය ශිෂ්‍යයන්ට සුදුසු නොවන පොතක් යැයි හුවාදක්වන්නට වූහ. ඔවුන් විරෝධය පෑවේ ගමේ ධීවරයන් බිලීපිති හා විසිදැල්වලින් මාළු අල්ලන සැටි පොතේ සවිස්තරාත්මක හා සිතින් මවාගත හැකි ලෙස විස්තර කිරීමටය. එම විස්තර බෞද්ධ සිසුන් නොකියවිය යුතු යැයි ඔවුහු විශ්වාස කළහ.”

මින් පසු වික්‍රමසිංහ මහතා ධීවර කර්මාන්තය පිළිබඳ තේමාවට එයි:

“ලංකාවේ දකුණු පළාතේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ මගේ දැනුමට අනුව එහි හොඳටම වැඩිදියුණු කිරීමට හැකි කර්මාන්ත දෙකක් තිබේ. ඒ, ධීවර කර්මාන්තයත් හොඳ ප්‍රමිතියේ අරක්කු නිෂ්පාදනයත්ය. එහෙත් සිය අපිස් වතින් අනුබල ලැබූ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා බුද්ධාගමින් නොව භික්ෂූන්ගේ තවුස් වතින් වහල ලැබූ අනුන් කරන හැම දේම වැරදි ලෙස දකින ඇතැම් ගිහි සදාචාරවාදීහු මේ කර්මාන්ත දෙක පාගා දැමීමට ලොල් කරති.”

එහෙත් රටේ ආර්ථිකය නඟා සිටුවීමට නම් මේ කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු යැයි රචකයා සිය ලිපියෙන් තර්ක කරයි. සිය තර්කය සනාථ කිරීමට ඔහු ලෝකයෙන්ද උදාහරණ ගනී. කියුබාවේ ධීවර කර්මාන්තයේ ස්වභාවය පිළිබඳ එහි එන තතු විත්ති ඊට කදිම නිදසුනකි:

● කියුබානු නිදසුන

“1968 වසරේ මම කියුබාවේ සති තුනක කාලයක් ගත කළෙමි. කියුබාව යනු වෘක්ෂලතාදියෙන් හා දේශගුණයෙන් ලංකාවට සන්සන්දනය කළ හැකි දිවයිනකි. 1959 වසරේ කියුබානු විප්ලවයෙන් පසු එරට මහත් උද්යෝගයෙන් සංවර්ධනය කළ කර්මාන්ත දෙකක් ඇත. එනම් ධීවර කර්මාන්තයත් සත්ව ගොවිපළ කර්මාන්තයත්. ඇමෙරිකාවට පලාගිය ඇතැම් පොහොසතුන්ගේ මහාමන්දිර වැනි නිවාස එහි විශ්වවිද්‍යාල පන්නයේ පශු හෝ කෘෂි විද්‍යාල බවටත් තාක්ෂණ විද්‍යාල හා එම පාසල් බවටත් පරිවර්තනය කර ඇත්තේ ධීවර වැනි කර්මාන්ත සඳහා තරුණයන් පුහුණු කිරීමටය.”

“විප්ලවයට පෙර කියුබාවේ පැවතියේ ලංකාවේ මෙන්ම ප්‍රාථමික ධීවර ආම්පන්නවලින් සන්නද්ධ හබල් ඔරුය. ඈත දියඹට ගොස් දැල් එලා මසුන් මැරීමට එඩිතර වූ කියුබානු ධීවරයා මුහුදුබඩ දිස්ත්‍රික්කවල ජීවත් වූයේ ඉතා දුක්ඛිත අඩියකය.

“එහෙත් කියුබානු මහජන රජය වසර අටකින් ධීවර ක්ෂේත්‍රය එරට සීනි කර්මාන්තයටත් සත්ව ගොවිපළ කර්මාන්තයටත් දෙවැනි වන විශාලම කර්මාන්තයක් ලෙස නඟාසිටුවූයේය. 1970 දී අගමැති (ෆිදෙල්) කැස්ත්‍රෝ විශාල මහජන රැලියක් අමතමින් එහි ධීවර කර්මාන්තය වසරකට ඩොලර් මිලියන 20 ක විදේශ විනිමයක් උපයන බව ප්‍රකාශ කළේය.

“කියුබාව ධීවර කර්මාන්තය සංවර්ධනය කළේ ප්‍රධාන වශයෙන් සෝවියට් ආධාර මතය. ඔවුහු සෝවියට් දේශයෙන් ටොන් 500 ට්‍රෝලර් යාත්‍රා හා ජපානයෙන් දිගු දුර ආලෝක විහිදුම් උපකරණ (Long-line lighters) මිලදී ගත්හ. අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ධීවර ආයතනය (National Fishing Institute) ඒකාබද්ධව ධීවර තාක්ෂණ පාසල් ඇරඹීය. උසස් ධීවර පාසල්වලට (Superior School of Fishing) යැවීමට පෙර තරුණයෝ එහි නාවිකයන් හා ඉංජිනේරුවන් ලෙස පුහුණු කෙරෙති.”

කියුබාව 1963 න් පසු සෝවියට් දේශයද සමග එක් වී දියඹේ මසුන් මැරීම පිළිබඳ පර්යේෂණ හා විමර්ශන ඇරඹියේය. එහිදී ඔවුනට සහාය වූයේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේත් පෝලන්තයේත් උතුරු කොරියාවේත් සෙසු රටවලත් විද්‍යා හා තාක්ෂණ විශේෂඥයන් බව වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි. තවද ඩොලර් මිලියන 30 ක සෝවියට් මූල්‍යාධාර මත හවානා නුවර විශාල, නවීන මත්ස්‍ය සංකීර්ණයක් ඉදිකර ඇති බවද ඔහු සඳහන් කරයි. එහෙත් අභාග්‍යයකට මෙරට ධීවර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය අරබයා ප්‍රමාණවත් යමක් සිදු වී නැතැයි ඔහු කියා සිටී. කොග්ගල මෙවැනි විශ්වවිද්‍යාල මට්ටමේ ආයතනයක් ඇරඹීම උචිත යැයි ඔහු යෝජනා කරන්නේ මේ කරුණු සලකා බලාය.

● අපූරු තෝතැන්නක්

“කොග්ගල යනු මහ සයුරත් සුන්දර දූපත් රැසකින් සැදි සුවිසල් විලක් වැනි කොග්ගල ඔයත් අතර පිහිටි බිම් තීරයකි. එය ධීවරයන් සහ ධීවර, සමුද්‍ර ජීවවිද්‍යා හා සමුද්‍ර ප්‍රවාහන කටයුතුවල නියුතු වන අනෙකුත් පිරිස් පුහුණු කිරීමට තාක්ෂණ ආයතනයක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කදිම තැනකි. තවද කොග්ගල ඔයේ මිරිදිය මසුන් හා මිරිදියේ හැදෙන කරදිය මසුන් වගා කිරීමට හැකියාව ඇත.”

ඔහු මෙසේද කියයි:

“මේ බිම් තීරුවේ වෙරළබඩට වන්නට නොදියුණු මට්ටමේ, බෝට්ටු ගාල් කෙරෙන බිම් කඩවල් දෙකක් ඇත. ගාලු වරායටත් ධීවර වරායවල් කිහිපයකටත් ළංව පැවතීම අමතර වාසියකි. මෙහෙයින් තාක්ෂණික විශ්වවිද්‍යාලයකට මෙය කියාපු තැනකි.”

මෙසේ තම යෝජනාව ඉදිරිපත් කරන වික්‍රමසිංහ මහතා සිය විචාරයෙන් තවත් පෙදෙසක් ආලෝකවත් කරයි. එනම් දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා යටතට පත් වුණු කොග්ගල ප්‍රභූ නිවාසවලට එහි පදිංචි සුදු හමුදා නිලධාරීන් නිදහසින් පසු රට හැර ගිය පසු කුමක් වීද යන්නයි. සැබැවින්ම එය ශෝචනීය ඉරණමකි. එම ඉරණම අත්වීමට පෙර තත්ත්වයත් පසු තත්ත්වයත් වික්‍රමසිංහ මහතා මෙසේ සසඳයි:

● ප්‍රභූ ගෙවලට අත්වූ ඉරණම

වික්‍රමසිංහයන්ගේ කොග්ගල තාක්ෂණ විශ්වවිද්‍යාලය

“බ්‍රිතාන්‍ය හමුදා කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් ඉවත්ව ගිය වහා දිසාපතිවරයාගෙන් අවසරපත්‍රයක් ගෙන මම තව දෙදෙනෙකුත් සමග මෙම පෙදෙසට ගියෙමි. එවිට එය සිත්කලු ක්ෂුද්‍ර ආකෘතික නගරයක් (Miniature City) විය. එහි පාරවල් එංගලන්තයේ වීදිවල නම් දැරූ පුවරු රැගත් ඒවාය. එහි ඔය වටා ගිය පාරකි. එය වානේ ලයිට් කණුවල ඉහළ වක ගැසුණු තුඩුවලින් එල්ලෙන ලාම්පු සහිත විදුලි බුබුලුවලින් ආලෝකවත් විය. ගඟබඩ කුඩා කඳුගැටයක තිබුණේ ටයිල් කළ නාන කාමර, වතුර බැස යන කාණු හා සියලු නවීන පහසුකම්වලින් යුත් විසල් ගෘහයකි. රුපියල් ලක්ෂ ගණනක වටිනාකමක් දැරිය හැකි විශාල, සුන්දර සිනමාශාලාවක්ද එහි විය. හමුදා බලධාරීන්ගේ නියෝග මත කඩිමුඩියේ කොග්ගල අත්හැරදමා යෑමට සිදු වූ මධ්‍යම පන්තිකයන්ගේ ගේදොර පසු අය (සුදු හමුදා නිලධාරීන්) පාවිච්චි කළේ මැනවින් නඩත්තු කරමිනි.

“රාජකීය ගුවන් හමුදාව ගුවන් හමුදා කඳවුරත් එහි නිවාස සංකීර්ණයත් ලංකාවේ පළමු පශ්චාත් – යුද රජයට බාරදීමෙන් පසු මේ ඇතැම් ගෘහයන් විවිධ පිරිස් සොච්චම් මුදලකට මිලට ගත්හ. බොහෝ විට ඒවා මිලදී ගත්තේ එවක බලයේ සිටි රජයට සහයෝගය දැක්වූ කණ්ඩායමකි. කෙසේ හෝ ඒ මිලට ගත්තෝ ඒ නිවාසවල ටයිල් කැටත් වහලේ දැවත් උළුවහු හා ජනෙල් දොරවලුත් ඉවත් කර දැමූහ. ඔවුන් ඒ දැව, උළුවහු , ජනෙල් , දොරවල් විකුණා රුපියල් දෙතුන්දාහක ලාභයක් ලබන්නට ඇත. කුඩා රුපියල් දාස් ගාණක ලාභයක් වෙනුවෙන් මුදලට ගිජු අතළොස්සකගෙන් මෙම විනාශයට ගොදුරු වූ ගේදොරවල වැළපෙන බිත්ති තවමත් කොග්ගල නැඟී සිටිනු දක්නා ලැබේ.

“පසු කාලයක මම අභාවප්‍රාප්ත ජේ.ඩී.ඒ. පෙරේරා මහතාත් හේවුඩ් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කලා ශිෂ්‍යයන් කිහිප දෙනෙකුත් එක්ව කොග්ගල බැලීමට ගියෙමි. බැලු බැලූ අත ඇසට හසු වූ සොඳුරු භූමි දර්ශනවලින් මවිතයට පත් ජේ.ඩී.ඒ. පෙරේරා මහතා මෙසේ කීවේය: ‘මේක පුදුම තැනක්. හැම පැත්තෙම තියෙන්නෙ කලාකාරයෙක් ගේ හදවත පුරවන දර්ශනයි ස්ථානයි.’ මෙහිදී ඔහුගේ සිසුහු දියසායම් සිතුවම් කිහිපයක් අඳින්නට වූහ.

“මින් මාස ගණනක් ඇවෑමෙන් යළි කොග්ගල බලා ගිය මා විස්මයට පත් වූයේ අර කුඩා කඳුගැටය මුදුනේ හුදු කොංක්‍රීට් සමතලයක් පමණක් දැකීමෙනි. එය ගුවන් හා සයුරු ගුවන් යානා කඳවුරේ අණ දෙන නිලධාරියා ගේ කලින් පැවති ‘මන්දිරයේ’ බිම්මහලයි. ගොඩනැඟිල්ලට අත් වූ ඉරණම පිළිබඳව මට කරුණු කාරණා ස්වල්පයක් අනාවරණය කර ගැනීමට හැකි විය. මුලින්ම නිවස වෙන්දේසියකට නතු වී තිබේ. එහිදී යම් කණ්ඩායමක් විසින් කුලියට ගනු ලැබූ ටෙන්ඩර්කරුවා රුපියල් දාහක පමණ මුදලකට මුළු නිවසම මිලට ගෙන ඇත. එම මුදල් කෑදර කණ්ඩායම නිවසේ ටයිල්, දැව වහල, නානකාමර කට්ටල, ජනෙල්, දොරවල් හා ඔපදැමූ ටයිල් කැට ආදිය ගලවා දැමූහ. පසුව ගෘහයේ බිත්ති බිඳ දමා අලුත් ගඩොල්කැට ඉවත් කර දැමූහ. ප්‍රතාපවත් නිවසක් වනසා දමා ඔවුන් රුපියල් දහදොළොස් දාහක ලාභයක් ලබන්නට ඇත.

“සුවිසල් සිනමා ශාලාව ද භාවිතයෙන් මඟහැර ජරාවාස වීමට ඉඩ හැර තිබිණි. එහි පසු කොටස පමණක් සී.ඩබ්ලිව්.ඊ. කාර්යාල කාමර හා ගබඩා සඳහා පාවිච්චියට ගෙන ඇත.”

මෙම විත්ති කථනයෙන් පසු වික්‍රමසිංහ මහතා යළි සිය මුඛ්‍ය තේමාවට එයි.

● කර්මාන්තමය පර්යේෂණ (Industrial Research)

“පුද්ගලයන් අතළොස්සකගේ හා පළමු නිදහස් ලංකා රජයේ දියාරු ආකල්පවල ආත්මාර්ථකාමී සූරාකෑම කෙළවර සිදු වූයේ ඉතා පහසුවෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පත් කළ හැකිව තිබූ කොග්ගල ක්ෂුද්‍ර ආකෘතික නගරය විනාශයට පත් වීමය. අපේ උසස් අධ්‍යාපන පද්ධතියේ වඩාත්ම මඟහැරදැමූ පෙදෙස කර්මාන්තමය පර්යේෂණයි. අපේ තාක්ෂණවේදීන් හා විද්‍යාඥයන් තමන්ගේ පර්යේෂණ කරන්නේ විදේශ ආයතනවලය. ඔවුන් එහිදී ඉදිරිපත් කරන දේ දේශීය අවශ්‍යතාවලට කිසි සබඳතාවක් නැත. එහෙත් ඊට ඔවුහු වැරදිකාරයෝ නොවෙති.”

වික්‍රමසිංහ මහතා අතීත ඛේදවාචකයන්වලින් ආපස්සට ගිය කෙනෙක් නොවේ. අතීතය තිබියේවා, මේ මොහොතේ කළ යුතු දේ ඔහු අනතුරුව පහදා දෙයි:

“අතීතයේ අප රජයන් සිසුන්ගේ හැකියාවන් මැන බැලීමට කළේ ඔවුන් පිටරටවලින් උපාධි ලබාගෙන ඒමේ යටත්විජිත සම්ප්‍රදාය අනුකාරක ලෙස ඉදිරියට ගෙන යෑමය. දැන් අප අපේ තරුණයන්ට සිය ශක්තිය හා හැකියාව තමන්ගේම පරිසරයක් තුළ ප්‍රශ්න විසඳා ගැනීමට යොමු කිරීමේ කාලය උදා වී ඇත. අවශ්‍යතාවක් ඇත්නම් ඔවුන් අප රට ආකාරයේම සමාජ – ආර්ථික වටපිටාවක් හා ගැටලු පවතින රටවලට යවන්න. උදාහරණයකට, සීනි හා සත්ව ගොවිපළ කර්මාන්තවල තාක්ෂණික දැනුම ලබාගැනීමට අපට අපේ සිසුන් දේශගුණයෙන් හා වෘක්ෂලතාදියෙන් ලංකාවට සමාන කියුබාවට යැවිය හැකිය. කියුබාවේ අධ්‍යාපන අමාත්‍යවරයා මා සමග පැවසුවේ ඔවුන් ලංකාවේ සිසුන්ට නොමිලේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සූදානම් බවයි.”

වික්‍රමසිංහ මහතාගේ ඇතැම් විවරණ ඉතා නිර්භයය. සාහිත්‍යකරුවකු ලෙස හේ සිටින තැනද අබමල් රේණුවක් නොතකන්නේ වේ. ඔහු ලිපියේ එක් තැනක සඳහන් කරන්නේ රටකට භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පමණක් විශ්වවිද්‍යාල පැවතීමෙන් හානියක් වන බවය:

● ඵලක් නැති සරසවි

“භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍ය අධ්‍යයනයටත් ලංකාව හා ඉන්දියානු ඉතිහාසය හෝ ආර්ථික විද්‍යාවේ මූලික දැනුම ලබාදීමටත් විශ්වවිද්‍යාල වඩ වඩා ඇරඹීම අනාගත පරම්පරාවන්හි අර්බුද ඇති කිරීමට හා ඔවුන් දුර්මුඛ කිරීමට හේතුකාරක වනු ඇත. දැන් සිදු වන ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව වේගවත් කිරීමට නම් අපේ තරුණ තරුණියන් නවීන විද්‍යාව හා තාක්ෂණය දේශීය පරිසර තත්ත්ව තුළ යොදාගෙන ධීවර, කෘෂි හා වැවිලි කර්මාන්තයන්හි දියුණුව උදෙසා පුහුණු කර යොමු කරන විශ්වවිද්‍යාල තව තව අපට වුවමනාය.

“දකුණේ කොග්ගල එවැනි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ඉතා අනගි බිම්කඩකි. එහි එක් පසෙකින් ඇති ඈතට පැතිර ගිය කොග්ගල ඔයත් අනෙක් පසින් ඇති මහ සයුරත් ධීවර කර්මාන්තයේ ශක්‍යතා මොනවාදැයි නිබඳ සිහිකැඳවන්නේ වේ. මහ මුහුද හා ඍජුව එක්වන පිවිසුමක් ඇති කොග්ගල ඔය ලංකාවේ විශාලතම ස්වාභාවික ඔය විය හැකිය. සමුද්‍ර හා මිරිදිය ජීවවිද්‍යාවේ පර්යේෂණ සඳහා එය අපූරු අවස්ථා පාදාදෙනු ඇත.”

● ශ්‍රීනිකේතනයක්ද?

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මනසේ උද්භව වූ මෙම ගැමි ජන අභිවෘද්ධිය සඳහා වූ විශ්වවිද්‍යාල සංකල්පය විමසීමේදී සිහි වන වෙනත් එවැනි විශ්වවිද්‍යාලයක් තිබේ. ඒ, අප අසල්වැසි ඉන්දියාවේ මහ කිවිවර රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශ්‍රීනිකේතනය (Sriniketan) ය.

තාගෝර් කවියා ශ්‍රීනිකේතනය අරඹන්නේ 1922 වසරේය. එනම් ශාන්ති නිකේතනය (Santiniketan) අරඹා වසර විසිඑකකට පසුය. ශාන්ති නිකේතනය අරඹනු ලැබුණේ පාසල් යන වයසේ දරුවන්ගේ මනස් පාඩම්වලින් පුරවන බටහිර අනුකාරක හා සාම්ප්‍රදායික අධ්‍යාපන සංකල්පයට විකල්පයක් වශයෙනි. නොහොත් පැරණි භාරතයේ විද්‍යා ආශ්‍රම වූ තක්ෂිලා වැනි පාඨශාලා සිහිගන්වන ගස් යට උගැන්වීමේ (Forest School) රටාව ආදර්ශ කර ගනිමිනි. එහෙත් ශාන්ති නිකේතනය තුළ වැඩිහිටි ප්‍රජාවට, ගැමියනට අධ්‍යාපනය ලැබීමට ඉඩ අවකාශ නොලැබිණි.

තාගෝර් ශ්‍රීනිකේතනය අරඹනුයේ මේ අරමුණු කරගෙනය. ගැමි ප්‍රජාවේ අභිවෘද්ධිය සලකාගෙනය. වික්‍රමසිංහ මහතා යෝජනා කළ තාක්ෂණ විශ්වවිද්‍යාලය ශ්‍රීනිකේතනයට තරමක් වෙනස්ය. නිදසුනකට ශ්‍රීනිකේතනයේ අධ්‍යාපනය ලැබීමට වයස් භේදයක් හෝ විශේෂ අධ්‍යාපන සුදුසුකමක් නොමැත. උදේ හරක් බලන ගොපල්ලාට වුව කිරි දෙවීම ගැන වෘත්තීය පුහුණුවක් ලැබීමට හරක් ටික තණපිටියේ ගාල් කර යා හැකිය. තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන්ට සිය පුහුණුව ලැබීමට කිසියම් සුදුසුකම් රැසක් වුවමනාය. ඊට සුදුසු වයස ලෙස වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ තරුණ වයසය.

මෙවැනි යම් යම් වෙනස්කම් ඇතත් ඔහුගේ අදහස සෑහෙන දුරට තාගෝර් සංකල්පයට සමානය. දෙදෙනා ගේම පොදු අරමුණ වූයේ ගැමි ප්‍රජාව බලගන්වා රටේ සංවර්ධනයට ඉවහල් කර ගැනීම නිසාය. සැබැවින්ම මුලදී ශාන්ති නිකේතන සංකල්පයට එරෙහි වූ මහත්මා ගාන්ධි ද සිය පසු වයසේ තාගෝර් හා අත්වැල් බැඳගත්තේ ඔහු ශාන්ති නිකේතනය සේම මේ ශ්‍රී නිකේතනයද දෑසින් නැරඹීමෙන් පසුය. කෙසේ වෙතත් අභාග්‍යයට කරුණ නිකේතනය යථාර්ථයක් වුවත් කොග්ගල ප්‍රාඥයාගේ සංකල්පය යථාර්ථයක් කරලීමට අපේ කිසිවකු ක්‍රියා නොකිරීමය. එහෙත් දැන් වුව කොග්ගල එවැන්නක් ඇරඹීමට ප්‍රමාද නැත.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment